බබාගේ නින්ද ගැන අම්මා දන්න දේ නොදන්න දේ

 

 

කිරිකැටියාට නිදිමත වූ විට ඇස් පිරිමදියි. ඈනුම් අරියි. ළඟ සිටින අයට ප්‍රතිචාර නොදක්වයි. ඉවත බලාගනී. යම් නොරුස්නා ස්වභාවයක් පෙන්නුම් කරයි.

 

අලුත් අම්මාට බබාගේ වැඩ කටයුතු බොහොමයක් අලුත් අත්දැකීම් ය. මේ නිසා ඇයට දැනෙන ගැටලු රැසකි. මේ ලිපියෙන් අපි ඒවා එකිනෙක පහදා දෙන්න සූදානම්. පසුගිය කලාපයේ අලුත් අම්මලාට ඇතිවෙන ප්‍රධාන ගැටලුව වන මවුකිරි  ගැන කතා කළා.


අම්මට දරු පැටියා ඉපදිලා වයස මාසයක් ගතවන විට දැනෙන්නේ ලොකු කාලයක් ගත වුණා කියලා. දැන් පැටියා ටිකක් ලොකුයි. අම්මගෙ කිරි උරා බොන ගමන් නින්දට වැටෙන පැටියා ඇහැරිලා ඔන්න ආයෙත් කෑගහනවා. අම්මට දැන් ගෙදර වැඩත් වැඩියි. ඒ නිසා සමහරු ඉතා පිරිසුදුවට කිරිටික දොවලා තබන වෙලාවලුත් තියෙනවා. එහෙම දොවලා දෙන විට එක වරකට මසක් වයසැති දරුවෙකුට මිලි ලිටර් 20 ක් ඇති කියලා කීවත් මෙය දරුවාගෙන් දරුවාට වෙනස්. සමහර පැටවුන් වරකට ඊට වඩා බොනවා. සමහරු ඊට අඩුවෙන් බොන අවස්ථාත් තිබෙනවා. එහෙම කියලා අම්මලා කලබල වෙන්න එපා. දරුවා හඬන විට මූත්‍ර, කක්කි කරගෙන නැත්නම් මදුරුවන් මැස්සන් වහලා අඩු නින්දෙන් ඇහැරුනේ නැත්නම් ඔන්න අම්මට කරන්න තියෙන්නේ කිරි ටික දෙන එකයි. එහෙනම් ඒ ගැටලුවත් හරි.


මේ අතරට අම්මලා තවත් බිය වෙන කරුණක් තමයි දරු පැටියා අධිකව නිදා ගැනීම. සමහර අම්මලා දරු පැටියා වැඩියෙන් නිදා ගන්නවා කිව්වත් තවත් මවුවරු කියන්නේ මගේ පැටියා නිදා ගන්නෙම නෑ කියලයි. ඔය ප්‍රශ්න දෙකෙන්ම පෙළෙන අම්මලාට ඒ ගැටලුව විසඳා දෙන්නයි මේ හදන්නේ.


අලුත උපන් දරුවාගේ නිදා ගන්න සාමාන්‍ය රටාව කුමක්දැයි බොහෝ දෙනා දන්නේ නෑ.


සාමාන්‍යයෙන් අලුත උපන් දරුවා වයස මාස තුනක් පමණ යනතුරු නිදා ගැනීමේ රටාවට රාත්‍රියට වැඩියෙන් නිදා ගැනීමත් දහවලට අඩුවෙන් නිදා ගැනීමත් යන සාමාන්‍ය නිදා ගැනීමේ රටාවක් පෙන්නුම් කරන්නේ නෑ. ඇතැම් දරුවෝ වයස අවුරුද්දක් පමණ වනතුරුම රාත්‍රියට හොඳින් නිදා ගැනීමට හුරු වෙන්නේ නෑ. එය ස්වාභාවිකයි.


බොහෝ අලුත උපන් දරුවෝ දිනකට පැය දහසයක් පමණ නිදා ගන්නවා. මෙයට අඩුවෙන් නිදාගන්නා දරුවොත් සිටිනවා. ඔවුන්ට වරකට පානය කළ හැකි කිරි ප්‍රමාණය ටිකයි. ඒ නිසා ඔවුනට ඉක්මනින් කුසගිනි දැනෙනවා. මේ නිසා හොඳින් කුස පිරුණු දරුවෙකු වුවත් ආසන්න වශයෙන් පැය දෙකකින් පමණ අවදි වී කිරි බිමට සැරසෙනවා.

 


නින්ද පැයකටත් වඩා අඩුද? 
වයස මාසයක් පමණ වන විට වරක් කිරි බී පැය තුන ඉක්මවා නිදා ගැනීමට පුළුවනි. කිරි පානය කළ පසු ඉතා ඉක්මනින් එනම් පැයකට වඩා අඩු කාලයකදී නැවත අවදි වී හඬන අවස්ථාත් තිබෙනවා. එසේ වන්නේ නම් පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න.
* අම්මා කිරි දෙන ක්‍රමවේදයේ හෝ දරුවා පියයුර අල්ලා ගන්නා ක්‍රමවේදයේ යම් අඩුපාඩුවක් තිබෙනවාද? ඒ නිසා දරුවාට පෙවෙන කිරි ප්‍රමාණය මදි විය හැකියි.
* කිරි දීමෙන් පසු නිසි ලෙස ‘ගුඩුස්’ ගියේ නැද්ද? එහෙනම් පැටියාගේ උදරයේ අපහසුතාවක් නිසා දරුවා ඉක්මනින් අවදි වූවා විය හැකියි.
* දරුවා ඇඳ සිටින ඇඳුමේ හෝ නැපියේ මල හෝ මූත්‍ර පහවීම නිසා ඇති වෙන අපහසුතාවටත් දරුවා අවදි වෙනවා. මෙය බොහෝ විට සිදුවන්නක්.
* අවට පරිසරයේ ඇති විවිධ ශබ්ද, අධික ආලෝකය, අධික උණුසුම හෝ සීතල නිසාත් දරුවා අවදි වෙනවා. 


වයස මාස තුනෙන් පසු ඇතැම් දරුවෝ යම් වේලාවල්වලදී එක දිගට පැය හතරක් පමණ නිදා ගැනීමට පුළුවනි. එහෙත් එයද සාමාන්‍යයි. ඒ ගැන මව කලබල විය යුතු නැහැ. කුස පිරී ඇඟට සැහැල්ලුව දැනේ නම් පැටියා එසේ නිදා ගන්නවා.

 


නින්දෙන් අවදිවූ දරුවාගේ හැසිරීම
සුව නින්දකින් පසු අවදි වූ දරුවා මුලින්ම නිශ්ශබ්දව සිට පරිසරය නිරීක්ෂණය කරයි. ඉන්පසු තරමක් ක්‍රියාශීලී වේ. එනම් අතපය සොලවයි. තොල් සොලවයි. අත කටේ දමා ගැනීම වැනි දේ සිදු කරයි. එසේම අසල සිටින අයට ප්‍රතිචාර දක්වයි. දරුවාට කිරි පෙවීමට සුදුසුම මේ අවස්ථාවයි. එවිට දරුවා කැමැත්තෙන් කිරි උරා බොයි. එහෙත් මෙම කාලය ඉක්මවා ගියහොත් දරුවාට දැනෙන කුසගින්න නිසා හැඬීමට පටන් ගනී. එවිට නළවා ගැනීම අසීරු වෙන්න පුළුවන්.


මීට පෙර ලිපියේ සඳහන් කළ පරිදි සුවසේ නිදා සිටින දරුවා බලෙන් ඇහැරවා කිරි දීම නම් සුදුසුම නැහැ. එවිට දරුවාට ඇති නිදිමත සහ අපහසුතාව නිසා දරුවා නොසන්සුන් වෙයි. අධිකව හැඬීමටත් ඉඩ තිබෙනවා. කිරි බීමත් ප්‍රතික්ෂේප කළ හැකියි. ඒ නිසා ඉහතින් දැක් වූ කාල පරාසයට වඩා දරුවා නිදා ගන්නේ නම් පමණක් පැටියා අවදි කර කිරි දෙන්න. එයට හේතුව විවිධ රෝග තත්ත්වවලදීත් දරුවෝ වැඩි පැය ගණනක් නිදා ගැනීමට හැකි නිසයි.

 


නිදිමත බව දැනගන්න විදිය 
කිරිකැටි පැටියාට නිදිමත වූ විට ඇස් පිරිමදියි. ඈනුම් අරියි. ළඟ සිටින අයට ප්‍රතිචාර නොදක්වයි. ඉවත බලාගනී. යම් නොරුස්නා ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙසේ දක්නට ලැබේ නම් දරුවා නිදි කර වීම කළ යුතුයි.

 


සෞඛ්‍ය උපදෙස් ගන්න ඕනෑ අවස්ථා
දරු පැටියාගේ සාමාන්‍ය නිදා ගැනීමේ රටාව හදිසියේ වෙනස් වී ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. උදාහරණ ලෙස සඳහන් කළොත් සාමාන්‍යයෙන් පැය දෙකක් නිදා ගන්නා කිරි කැටියා දවස පුරාම පැයෙන් පැයට අවදි වී හඬයි නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. එසේම සාමාන්‍යයෙන් පැය දෙකක් අවදි වන දරු පැටියෙක් හදිසියේම පැය හතරක්ි පහක් නිදා ගනියි නම් සෞඛ්‍ය උපදෙස් ගන්නම ඕනෑ. නින්දෙහි ඇතිවෙන වෙනස්කම් සමග උණ වැනි රෝග ලක්ෂණ ඇති වුණොත් නොපමාව වෛද්‍ය උපදෙස් ගැනීමටත් මතක තබාගන්න. මේ නිසා දරු පැටියාගේ නින්ද ගැන අම්මලා දැනුවත් වීම ඉතාම වැදගත්.

ශිරානි ගල්ලෑල්ල


 

 

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment