බබා වැටුණම අම්මත් අඬලා හරියන්නේ නෑ

 

හිසට අනතුරක් නම් මොකද කරන්නේ?

 

කුඩා දරුවෝ නිතර විවිධ අනතුරු කර ගනිති. දරුවා අනතුරක් කරගත් විට එය ලොකුද, පොඩිද කියා දෙවරක් නොසිතිය යුතුය. විශේෂයෙන් කුඩා දරුවෙකුගේ හිසට යම් පහරක් වැදීම බරපතළය. එය වැටීමකින්, වැදීමකින් සිදුවිය හැකිය. 


දුව පැන ඇවිදින කුඩා දරුවා බොහෝ විට ඇඳකින්, පුටුවකින් හෝ ගෝකාට් වැනි එකකින් හෝ ලිස්සා බිම වැටීමට පුළුවන. මෙවැනි හදිසි අනතුරු රෝහල්වලට නිතර වාර්තා වෙයි. කුඩා දරුවෙකු මෙසේ බිම වැටීමෙන් හිසට සුළුවෙන් හෝ අනතුරක් වුවහොත් එයට මවුපියන් බෙහෙවින් බියට පත් වේ. එහෙත් සුළු වැටීමකින් බොහෝ විට හිසට අනතුරක් සිදු නොවේ. ඒ සම්බන්ධ මවුපියන්ට ඇතිවෙන ගැටලු මෙහිදී කතා කරමු.


දරුවෙකුට සුළු වැටීමකින් බරපතළ හානියක් සිදු නොවේ. දරුවා හැඬීමට පුළුවන. ඒ වැදුණු තැන තාවකාලික සුළු වේදනාවක් ඇතිවීම හා සුළු ගෙඩි ගැසීමක් ඇතිවන නිසාය. එය පැය කිහිපයකින් සමනය වී යයි. ඇතැම් විට තද රතු පැහැයට හෝ කළු පැහැයට හුරු පැල්ලමක් ඇති විය හැකිය. මෙසේ වන්නේ සමට යටින් ඇති කුඩා ලේ නහර පිපිරී සමට යටින් ලේ කැටියක් එකතුවීම නිසාය. මෙම ලේ කැටිය එකතු වන්නේ හිස් කබලට පිටතිනි. ඒ නිසා මෙයින් හිස තුළට හානියක් සිදු නොවේ.  සාමාන්‍යයෙන් සතියක් හෝ දෙකක් තුළ මෙම තැළුණු ස්වභාවය සමනය වී සාමාන්‍ය තත්ත්වයට පත් වේ.


බරපතළ අනතුරු මොනවාද?

උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග රාජපක්‍ෂ


දරුවා වැඩි උසකින් බිම වැටීම, ගමන් කරන වාහනයකින් පිටතට විසිවීම, වේගයෙන් ගමන් කරන වාහනයක හිස වැදීම වැනි දෑ බරපතළ අනතුරුය. එවැනි අනතුරකින් හිසට බරපතළ හානි විය හැකිය. මෙවැනි අවස්ථාවකදී හිස්කබල තුළ ලේ ගැලීම් ඇතිවිය හැකිය. එසේම මොළය තෙරපීමට ලක් වීමත්, මොළයේ සෛලවලට හානි සිදුවීමටත් ඉඩ තිබේ. මෙවැනි දෙයක් දරුවාගේ ජීවිතය අවදානමකට පත් කරන බරපතළ තත්ත්වයකි.


කළ යුත්තේ කුමක්ද? අඩි දෙකක් පමණ උස ඇඳකින් හෝ පුටුවකින් දරුවා වැටී ඇත්නම් හෝ බිම ඇවිදින විට ලිස්සා වැටී ඇත්නම් සාමාන්‍යයෙන් හිසට බරපතළ හානි සිදු නොවේ. එහිදී හිස වැදුණු තැන ගෙඩි ගැසීමක් හෝ තැළීමක් ඇත්නම් ඒ මත පිරිසුදු අයිස් කැටයක් තබන්න. 


මෙහිදී අයිස් කැට පොලිතීන් හෝ රෙදි කැබැල්ලක ඔතා සම මත තැබීම වඩාත් සුදුසු වේ. අධික සීතලෙන් යුතු අයිස් කැට කෙළින්ම සම මත තැබීමෙන් සමේ පටකවලට හානි සිදුවිය හැකිය. එනිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් පමණක් ලබා දිය යුතුය. එය වයස අනුව දීම ඉතාම අවශ්‍යය.


රෝහලට යන්න ඕනෑ ඇයි? 
1. අනතුර සිදු වූ අවස්ථාවේ දරුවාට සිහිනැතිවීම
2. සිදු වූ අනතුර ගැන දරුවාට මතකයක් නැති වීම
3. අනතුරට පෙර හෝ පසු සිදුවීම් ගැන දරුවාට මතකයක් නැති වීම
4. අනතුරින් පසු දෙවතාවකට වඩා වමනය යාම
5. නාසයෙන්, කටින් හෝ කනින් රුධිරය පිටවිම නැතහොත් පැහැදිලි දියරයක් පිටවීම
6. දරුවාට අසාමාන්‍ය ලෙස නිදිමත ගතියක් ඇතිවීම
7. හොඳින් සිටි දරුවාට වැටුණු පසු අපස්මාර තත්ත්වයක් ඇතිවීම
8. හිස වැදුණු තැන ඇතුළට එබී ගොස් තිබීම
9. හිස වැදුණු තැනින් ලේ ගලන පැහැදිලි තුවාලයක් තිබීම 


ඉහත රෝග ලක්ෂණ නැතත් වැඩි උසකින් දරුවා වැටුණොත් හෝ වේගයෙන් ගමන් කරන වාහනයකින් සිදුවූ අනතුරකදී පමා නොකර දරුවා රෝහල් ගත කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීිම කළ යුතුයි. වැටුණු උස වැඩි වෙන තරමට සහ හිසට වදින පහරේ වේගය වැඩි වෙන තරමට මොළයට හානි වීමේ අවදානම වැඩි වේ.


අනතුරු වළක්වා ගන්නෙ කොහොමද? 
ඔබගේ නොසැලකිල්ල නිසා දරුවාගේ හිසට අනතුරක් සිදු වුවහොත් ජීවිත කාලයම පසුතැවීමට සිදු වනු ඇත. එම නිසා හැකි සෑම අවස්ථාවකදීම මෙවැනි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය.
දරුවෙක් යතුරු පැදියක රැගෙන යාමේදී දරුවන් සඳහා නිපද වූ ආරක්ෂිත හිස්වැසුමක් (Helmet) පැලඳීම ඉතාම වැදගත්ය. පාපැදි පදින දරුවන් සඳහා ද නිපද වූ ආරක්ෂිත හිස්වැසුම් තිබේ. වාහනයක් තුළ ගමන් කිරීමේදී ආසන පටි පැලඳීම ඉතාම වැදගත්ය. එසේ නොකළොත් අනතුරකදී දරුවා එළියට විසි වී හිසට බරපතළ අනතුරු සිදු විය හැකිය. වාහනයකින් ගමන් කිරීමේදී කවුළුවෙන් හිස පිටතට දැමීමට කිසි විටෙක ඉඩ නොදිය යුතුය. ඉන් දරුවාට මාරාන්තික අනතුරු සිදු විය හැකි ය.

 


ශිරානි ගල්ලෑල්ල


 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment