බය නැතිව මුහුණ දිය හැකි ලැපරොස්කොපි සැත්කම්

 

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට බොහෝ සෞඛ්‍ය පහසුකම් ලැබී තිබේ. අද පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධ හිඟයකින් රට වැසියා පීඩා වින්දද තවමත් අපේ බොහෝ දෙනා ලෙඩ රෝගවලට ප්‍රතිකාර ගන්නේ නොමිලේ රාජයේ රෝහල්වලිනි.


ඖෂධ මෙන්ම බොහෝ ලෙඩ රෝග හඳුනා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර කිරීමටත්, විවිධ පරීක්ෂණ උපකරණ මෙන්ම සැත්කම් තවමත් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ රජයේ රෝහල්වලින් නොමිලේය. මෙම ලෙඩ රෝග හඳුනා ගන්නා මෙන්ම අවශ්‍යතාව සඳහා  සැත්කම් කරන පහසු උපකරණ අතර ‘ලැපරොස්කොපි’ උපකරණය ඉතාම වැදගත්ය.  මෙමගින් රෝගියාට උදර කැක්කුමක්  නොමැතිව රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකිය. එහෙත් තවමත් අපේ රටේ සමහර රෝගීන්ට මෙමගින් කරන සැත්කම් ආදිය පිළිබඳ එතරම් වැටහීමක් නොමැත.

 

උපදෙස්  :
නැගෙනහිර කොළඹ 
මූලික රෝහලේ  නාරි හා ප්‍රසව විශේෂඥ
වෛද්‍ය රසික ද සිල්වා

ලැපරොස්කොපි යන්ත්‍රය මගින් සැත්කමක් කිරීම මෙන්ම ලෙඩ රෝග හඳුනා ගැනීමත් ඉතාම පහසුය. එසේම මෙමගින් උදර කැපුමක් සිදු නොවීම ඉතාම වැදගත්ය.  මෙහිදී කරන්නේ උදරයේ එක සිදුරක් කර එයින් කැමරාවක් ඇතුළු කිරීමය. එම කැමරාවේ රූප රාමු රූපවාහිනී තිරයට ගනී.


ඉන්පසු එම සිදුර ආශ්‍රිතව තවත් කුඩා සිදුරු කිහිපයක් සාදා ඒවායෙන් සැත්කමට අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු කරයි. එනම් උදාහරණ ලෙස කතුරු, අඬු, ඉඳිකටු, නූල් ආදියයි. මේවා ඇතුළු කර රූපවාහිනී තිරය මගින් පරීක්ෂා කරමින් සැත්කම කරයි.

 

කළ හැකි සැත්කම් මොනවාද?
මෙම උපකරණය මගින් එදා  කළ හැකි වූයේ සැත්කම් සීමිත ප්‍රමාණයකි. එහෙත් අද මෙමගින් බොහෝ සැත්කම් කරයි. උදාහරණ ලෙස සඳහන් කළොත්  ඩිම්බ කෝෂ ගෙඩි, ගර්භාශය ඉවත් කිරීම, ගර්භාශ ගෙඩි, ඇපෙන්ඩිකස් සැත්කම, එන්ඩොමෙටි්‍රයෝසිස් සැත්කම, ගර්භාශයේ පැලෝපීය  නාළයෙන් පිට ගැබ් ගැනීම් ඉවත් කිරීම, ගර්භාශයට සැරව ඇතුළු වී ඇති විට ඉවත් කිරීම, මඳ සරුබව ආශ්‍රිත සැත්කම් ඩයි පරීක්ෂාව, ඩිම්බ කෝෂ සිදුරු කිරීම වැනි දෑය.


මේ හැර තවත් කරන රැස්කම් රාශියකි.
● කැස්ස සමග මූත්‍ර පිටවීම වැළැක්වීමට කරන සැත්කම (මෙහිදී යෝනිය උස්සයි.)
● වකුගඩු ආශ්‍රිත සැත්කම් 
මෙමගින් සැත්කම කිරීම බොහෝ වාසි සහගතය එනම්.
● උදරය කැපුමක් නැත.- වේදනාව අඩුය.
● ඉතා ඉක්මනින් රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත් වේ. එනම් ඇවිදීම, සාමාන්‍ය වැඩවල නිරතවීම පහසුය.
● බර එසවීම නොකර සිටින්නැයි සැත්කමින් පසු වෛද්‍ය උපදෙස් ලබාදෙයි. මෙම ක්‍රමයට සැත්කම කිරීමෙන් බර එසවීම නොකර සිටීම අවශ්‍ය නැත.
● ශල්‍ය කර්මයට පසු දිනම රෝගියාට ගෙදර යා හැකියි. සමහර විට එදිනම වුවත් රෝගියාට ගෙදර යා හැකියි.

 

අවාසි මොනවාද? 
ලැපරොස්කොපි උපකරණය රටේ සෑම රෝහලකම නැත.
සමහර ලැපරොස්කොපි උපකරණ ඉතා මිල අධිකය. මෙවැනි උපකරණයක් ක්‍රියා විරහිත වුවහොත් නැවත සැකසීම අපහසුය.
ලැපරොස්කොපි මගින් සැත්කම් කරන ශල්‍ය වෛද්‍යවරුන් සිටින්නේ  සීමිත සංඛ්‍යාවකි. ලැපරස් කොපි මගින් සාමාන්‍ය සැත්කම් කළ හැකි වුවත් සංකීර්ණ  සැත්කමක් එමගින් කිරීමට විශේෂ පුහුණුවක් ලබා තිබිය යුතුය. එවැනි විශේෂ පුහුණු වෛද්‍යවරු සිටින්නේ  සිමිත සංඛ්‍යාවකි. එනිසා සෑම රෝහලකම මෙමගින් සැත්කම් කිරීම අපහසු වී තිබේ.
මෙම සැත්කම සඳහා රෝගියා සිහි නැති කළ යුතුය. හිරිවට්ටා මෙවැනි දෑ කළ නොහැකිය. දැනට නැගෙනහිර කොළඹ රෝහලේ දිනපතා උදය 8.00 සිට මෙමගින් විවිධ සැත්කම් කරනු ලැබේ.

 

පරෙස්සම්වීම අපහසුද?
සාමාන්‍යයෙන් සැත්කමකින් පසු පරෙස්සම්වීම ඉතාම අවශ්‍යය. එහෙත් මෙමගින් සැත්කම කළ පසු සිදුරු කළ තුවාල වියළී යනතෙක්   පිරිසුදුව තබා ගන්නවා හැර විශේෂයෙන් පිරිසුදුව සිටීම අවශ්‍ය නැත. දිනපතා නෑම සිදුරු වියළිව තබා ගැනීම හැර වෙනත් දෑ කිරීමට  නැත.

 

තවත්  දියුණු තාක්ෂණයක්
දියුණු රටවල  සැත්කම් කිරීමට තවත්  මෙවන් දියුණු උපකරණ තිබේ. එනම් ‘රොබෝ ශල්‍යකර්ම’ නමිනි (Robo tie)  මෙය දියුණුම තාක්ෂණික ක්‍රමයකි. අපේ  රටේ තාම එවන් දියුණු ක්‍රම නැත. මෙම ක්‍රමය දියුණු රටවල කරනු ලැබේ.


වෙනස  මොකක්ද? 
මෙමගින් සැත්කමක් කිරීමට වෛද්‍යවරයා රෝගියා අසල සිටීම අවශ්‍ය නැත. වෛද්‍යවරයා වෙනත් තැනක සිට අදාළ සැත්කම කළ හැකිය. මේ සඳහා භාවිතා කරන උපකරණවල නම්‍යශීලීබව ඉතා ඉහළය. එනිසා බරපතළ සැත්කමක් වුවද ඉතා සියුම්ව රෝගියාට අපහසුතා ඇති නොවන ලෙස කළ හැකිය.

ශිරානි ගල්ලෑල්ල


 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment