මී උණ ඇවිදින්

 

‘මී උණ’  පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු වුවත්  කාලයෙන් කාලයට මෙරටින් වාර්තාවන මී උණ රෝගීන්ගේ  ගණන දිනෙන් දින වැඩිවෙමින් තිබේ. මේ වසරේ මුල් මාස හය තුළ පමණක් මී උණ රෝගීන් පන්දහසකට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන ඇත. ඒ අතරින් බහුතරය වයස අවුරුදු 20 – 60 අතර සිටින පිරිමි  පුද්ගලයින්ය. එයිනුත් වැඩි පිරිස ගොවිතැන් කටයුතුවල යෙදෙන පිරිස්ය. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව සියයකට අධිකය.වැස්ස සහ ගංවතුර තත්ත්වය මෙම රෝගය පැතිරීමට වඩාත්  බලපා තිබේ.  

  • මොනවගේ රෝගයක්ද?                                 

මී උණ සුව කළ හැකි රෝගියකි. එහෙත් ප්‍රතිකාර සඳහා කල් ගත වුවහොත් වකුගඩු, පෙණහැලි, අක්මාව, හෘදය වැනි අවයව අකර්මණ්‍ය කිරිමට තරම් බරපතළ තත්ත්වයට පත් වේ. මී උණ මාරාන්තික වියහැකිබව පවසන්නේ එබැවිනි.

  • හැදෙන්නෙ කොහොමද?                                            

මී උණ රෝගයට හේතු වන බැක්ටීරියාව (Leptospira Interrroguns) ජීවත්වන්නේ  මීයන්, ගවයින් වැනි  ක්ෂීරපායී සතුන්ගේ  මූත්‍ර පද්ධතියේ ය. ඔවුන් ජලය පානයට ජලය සහිත ප්‍රදේශවලට පැමිණි විට ඔවුන්ගේ මූත්‍ර එම ජලයට එක් වේ. පුද්ගලයෙක් එම ජලයට බැස්ස විට ඔහුගේ දෙපාවල  සීරීම්, තුවාල හෝ වෙනත් ආසාදනයක් තිබුණොත් ඒ  හරහා  මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වේ. එමෙන්ම එම ජලයෙන් මුහුණ සේදූ විට කෙළ, සොටු දියර සමග බැක්ටීරියාව සිරුරට ඇතුළු විය හැකිය.

  • රෝග ලක්ෂණ                                                   

සාමාන්‍යයෙන්  බැක්ටීරියාව ශරීරගත වී දින 5-14 ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතු වේ. මෙම කාල පරාසය දින 2-30 දක්වා වුවද වෙනස් විය හැකිය.

  • වෙව්ලා හැදෙන තද උණ
  • මස්පිඩුවල තදබල වේදනාවක් ඇතිවීම              (කෙණ්ඩා සහ කොන්දේ පහළ ප්‍රදේශය)
  • ඇස් තද රතුපැහැවීම සහ දැවිල්ලක් හටගැනීම
  • ඔක්කාරය සහ වමනය
  • දැඩි හිසරදය
  • කෑම අරුචිය
  • අප්‍රාණිකබව
  • මූත්‍ර තද කහ පැහැයක් ගැනීම
  • මූත්‍ර සමග ලේ යාම
  • මූත්‍ර පිටවීම අඩුවීම
  • සමේ පලු මතුවීම
  • මී උණ වැලඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ ඩෙංගු උණ, ඉන්ෆ්ලුවෙන්සාව,  අක්මා ප්‍රදාහය වැනි රෝගවලටද සමාන  වේ.

 

  • අවදානම් අය කවුද?                                                

මී උණ රෝගය වැලඳීමට වැඩිම අවදානමක් තිබෙන්නේ  වෙල් ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයින්ටය. එනම්  ගොවීන්ටය. ඊට අමතරව පතල් කර්මාන්තයේ යෙදෙන අය වගේම කීර කොටුවල වැඩ කරන අයද අවදානම් පිරිසට අයත් වේ. එහෙත් මී උණ අනෙක් පුද්ගලයින්ට සෑදෙන්නේ නැතිවග මෙයින් කියැවෙන්නේ නැත. බැක්ටීරියාව සහිත ජලය ට බසින හෝ එයින් මුහුණ සෝදන දරුවෙකුට වුව  බැක්ටීරියාව ඇතුළු විය හැකිය.

  • ප්‍රමාද නොකර බෙහෙත් ගන්න                           

මී උණ රෝග ලක්ෂණත් අනෙක් උණ වර්ගවලට සමාන බැවින් එක්වරම එය මීඋණ දැයි හඳුනාගත නොහැක. එහෙත් ඔබ උණ සෑදීමට දින කිහිපයකට කලින් දිය කඩිතිවල, වෙලක හෝ වෙනත්  ජලය ඇති ස්ථානයක සැරිසැරවේ නම්,  ගංවතුරට හසුවුණු ස්ථානයකට  ගියේ නම් දින දෙකකට වඩා උණ තිබුණොත් වහාම රෝහලකට යන්න. එමෙන්ම තමන්  දින කිහිපයකට කලින්  ජලය සහිත ස්ථානයකට ගියබව වෛද්‍යවරයාට පැවසීමටද අමතක නොකරන්න.

  • බරපතළ වුණොත්                                        

නිසි ප්‍රත්කාර නොලැබුණොත් මී උණ ඉතා බරපතළ තත්ත්වයට පත් වේ. එහිදී අක්මාව අකර්මණ්‍ය වි ඇත්නම් ඇස් කහපාට වේ. එයින් කියැවෙන්නේ රෝගියා ඉතා බරපතළ තත්ත්වයකට පත්ව ඇතිබවයි. එමෙන්ම අධික රුධිර වහනයද ඇති විය හැකිය. මොළය, අක්මාව, ​ෙපණහැල්ල. හෘදය ආදී අවයවද අකර්මණ්‍ය වේ.

  • රෝගයෙන් වැළකීමට                                   

වගාබිම් සැකසීමේදී හැකි සෑමවිටම අත් හා පා ආවරණ පලඳින්න.  ආරක්ෂිත ඇඳුම් ඇඳීම, දණහිස දක්වා ආවරණය වන පාවහන් පැලඳීම, අත්වැසුම් භාවිතය සිදු කළ හැකිය.
ඔබට සත්ත්ව ගොවිපළක් ඇත්නම් එහි සිටින සතුන්ගේ මල ද්‍රව්‍ය සහ මූත්‍ර වළකට දැමීමට කටයුතු කරන්න. ඒවා පරිසරයේ ඇති දිය පහරවල් හෝ දිය කඩිති වලට එකතු නොකරන්න.
නිවස මීයන්ගෙන් තොරව පිරිසුදුව පවත්වා ගන්න. පරිසරයට අක්‍රමවත් ලෙස කැලි කසළ බැහැර කිරීමෙන් වළකින්න.
කුඹුරු, වගාබිම්, වගුරුබිම්, පතල්, ඇලවේලි, දියකඩිති ආශ්‍රිතව වැඩකිරීමට නියමිත නම් වැඩකිරීම ආරම්භ කිරීමට සතියකට පෙර ආරක්ෂිත ප්‍රතිකාර ලබාගත යුතුය. මේ සඳහා ඩොක්සිසයික්ලින් නැමැති ඖෂධය මිලිග්‍රෑම් 200 ක් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර ලබාගත යුතු අතර එම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩකරන කාලය පුරාවට ගත යුතුවේ. කෙසේ වුවත් මෙම ඖෂධය සති 6කට වඩා එක දිගට ගැනීමෙන් වැළකිය යුතුවේ. මේ පිළිබඳව වැඩිදුර උපදෙස් සහ ඖෂධය   ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් නොමිලේ ලබාගත හැකිය.

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment