රක්තහීනතාවය ඇතිවෙන්නේ අපේම වරදින්ද?
රක්තහීනතාවට ප්‍රධානම හේතුව යකඩ ඌනතාවයි. මේ හැර ජානමය හේතු ද ඊට බලපායි. එය යකඩ අඩුකම හෝ රුධිර සෛල විනාශ වන හේතු නිසා ඇති වන්නකි.
අපේ රටේ පැන නැගී ඇති අධික දරිද්‍රතාවය නිසා රක්තහීනතාව හෙවත් ලේ අඩුකමින් පෙළෙන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. රක්තහීනතාව යනු පෝෂණ ඌනතාව නිසා සෑදෙන තත්ත්වයක් නොවුණද, අද එය වැඩිවීමට පෝෂණ ඌනතාව බෙහෙවින් හේතු වී තිබේ. කෙසේ වුවද කුඩා දරුවන්ගේ රක්තහීනතාවයට හේතු බොහෝය. ඒනිසාම ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් වේ.
රක්තහීනතාවට ප්‍රධානම හේතුව යකඩ ඌනතාවයි. එය දියුණු වන අප වැනි රටවල මෙන්ම දියුණු රටවලත් දක්නට ලැබේ.
මේ හැර ජානමය හේතු ද ඊට බලපායි. එය යකඩ අඩුකම හෝ රුධිර සෛල විනාශ වන හේතු නිසා ඇති වන්නකි.
යකඩ ඌනතාවට ප්‍රධාන හේතු මොනවාද?
උපදෙස්- : කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, අමාලි සී දල්පතාදු |
අපේ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා අද දරුවන්ගේ ආහාරවේලට ප්‍රෝටීනමය ආහාර අඩුය. කාබෝහයිඩ්රේට්, එනම් පිෂ්ටය වැඩිය. බොහෝ දරුවෝ එළවළු තිබුණත් ආහාරයට නොගනී. එය මවුවරුන්ද කරන වරදකි. මවට අවශ්‍ය දරුවාගේ කුස පිරවීම මිස පෝෂණය නොවේ.
අපේ රටේ බොහෝ ප්‍රදේශවල වැවෙන පලා වැනි දේ ආහාරයට එක් කරගන්නා පිරිස අඩුය. එසේම සංස්කෘතික හේතු මත මස් මාළු නොගන්නා අය වැඩිය.
පොඩි මාළු අඩු මිලට ගත හැකිය. එහෙත් අපේ සමාජයේ මාළු විකුණන අය පවා කුඩා දරුවාට විශේෂයෙන් මාළු ටිකක් ආහාරයට එකතු කර දීමට උනන්දු නොවන අවස්ථා කොතෙකුත් වෙයි.
කුඩා දරුවාගේ ආහාරවේලට බිත්තර එකතු කිරීම ඉතාම වැදගත් ය. බිත්තරවල මිල ඉහළ ගියද එය මාළු තරම් මිල අධික නොවේ. ඒ නිසා හැකි පමණ දරුවාට බිත්තර දීම ඉතාම වැදගත් වෙයි.
දිනපතා බිත්තර දීම සුදුසුද?
බිත්තර යනු ප්‍රෝටීන වැඩිම ආහාරයයි. එහි අන් ප්‍රෝටීන ආහාරවලට වඩා මිල ඉතා අඩුය. ඒ නිසා බර අඩු දරුවෙක් සිටී නම් බිත්තර එකක් නොව දෙකක් කෑවත් ගැටලුවක් නැත. එයින් යකඩ, විටමින් ශරීරයට එකතු වෙයි.
යකඩ ඌනතාව ඇතිවෙන හේතු මොනවාද?
අපේ මවුවරු දරුවාට නිසි පෝෂණය ලබා දීමට විශේෂයෙන් සිතති. එහෙත් නොදැනුවත්වම තමන් ගන්නා ආහාර රටාවේ වැරදි නිසා නිසි පෝෂණය නොලැබෙන අවස්ථාත් බෙහෙවින් දක්නට ලැබේ. දරුවාට බිත්තරයක් දී හෝ ප්‍රධාන ආහාරයට මාළු හෝ පීකුදු කෑල්ලක් කවා ඒ සමගම කහට තේ කෝප්පයක් සාදා දෙයි. නැතහොත් කිරි වීදුරුවක් පොවයි. එය ඉතාම වැරදිය. බිත්තර කහමදයෙන්, මාළු කෑල්ලෙන්, පීකුදුු ටිකෙන් දරුවාට ලැබුණු යකඩ ප්‍රමාණය තේ කෝප්පය නිසා ශරීරයට අවශෝෂණය වන්නේ නැත.
තමන් දැඩි අපහසුවෙන් දරුවාට දෙන පෝෂණීය ආහාරය නිසි ලෙස ශරීරයට ලබා දීමට මව සිතට ගත යුතුයි. මේ සඳහා විටමින් ‘සී’ පෙත්තක් හෝ ආහාරයෙන් පසු දීම සුදුසුය. එවිට ආහාරයෙන් ලැබුණු යකඩ අවශෝෂණය වැඩි වේ.
මන්දපෝෂණයට හේතුව ආහාර හිඟකමද?
මන්දපෝෂණයට ප්‍රධාන හේතුව ආහාර හිඟකමයි. ඒ හැර වතු ආශ්රිත බොහෝදෙනා ආහාර සමග කහට තේ බීමට පුරුදුව සිටිති. උදාහරණයක් ලෙසට දරුවාට බිත්තරයක් සමග බත් දී ඒ සමග මවුපියන් වේල පිරිමැසීමට පානය කරන තේ කෝප්පයෙන් තේ කහට දුන්නොත් දරුවාට ආහාරයෙන් ලැබෙන පෝෂණය අහිමි වේ. මෙය වතුකරයේ ජනතාව අතර බහුලව දක්නට ලැබෙන වැරදි පුරුද්දකි. පෝෂණීය ආහාර නොමැතිකමත්, ආහාර අතරට තේ කහට පානයත් පෝෂණීය ඌනතාවට බෙහෙවින් බලපායි.
සාමාන්‍යයෙන් ප්‍රධාන ආහාරය ගැනීමට පැය දෙකකට පෙර හා ආහාර ගත් පසු පැය දෙකකට පසු අවශ්‍ය නම් තේ පානය කළ හැකියි.
යකඩ ඌනතා ඇති දරුවන්ට යකඩ පෙති හෝ සිරප් දෙන්නේ නම් ඒවා ගත් පසු හා ගැනීමට පෙර පැය දෙකක පරතරයක් තබා තේ කහට ගැනීම කළ හැකිය.
කිරි තේ වුවත් එසේ ආහාරයට පෙර හා පසු ගත යුත්තේ පැය කිහිපයකට පසුවය.
ලේ අඩුවෙන්න ප්‍රධාන හේතුව යකඩ අඩුකමද?
ලේ අඩුවීමට ප්‍රධානම හේතුව යකඩ අඩුකම පමණක්ම නොවේ. ප්‍රෝටීන් නොමැති වීමත් බෙහෙවින් බලපායි. අද උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වූ බොහෝ දරුවන් එම තත්ත්වයට පත්ව තිබෙන්නේ අවශ්‍ය ප්‍රෝටීන් නොමැතිකම හේතුවෙනි. එසේ අවශ්‍ය ප්‍රෝටීන්, යකඩ අඩුවීමෙන් රක්තහීනතාව ඇති වේ. මේ හැර කලාතුරකින් ෆෝලික් අම්ලය, විටමින් බී-12 අඩුවීමෙන්ද රක්තහීනතාව ඇති වේ. එහෙත් බහුලව දක්නට ලැබෙන්නේ යකඩ අඩුකම නිසා ඇතිවෙන රක්තහීනතාව යි.
බහුලව රක්තහීනතාවට හේතුවෙන රෝග මොනවාද?
කුඩා දරුවන් අතර බහුලවම රක්තහීනතාවට ගොදුරුවන රෝගයක් නම් තැලසීමියා රෝගයට ගොදුරුවීමයි. මෙම රෝගයට හේතුව රුධිර සෛල බිඳ වැටීමයි. මෙවැනි ජානමය සම්බන්ධකම් පවතින රෝග පරම්පරාවෙන් ඇති වේ.
මේ හැර රුධිර සෛල නිපදවීම උපතින්ම අඩු දරුවෝ සිටිති. මෙයද ජානමය හේතු නිසා ඇතිවෙන තත්ත්වයකි.
කලාතුරකින් ලියුකේමියා රෝගයට ගොදුරු වූ විටද රුධිර සෛල අඩු වේ.
ඒ ගැන ඊළඟ ලිපියෙන් පැහැදිලි කර ගනිමු.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment