රෝහලෙන් යන්න කලින් බබාගේ කකුලෙන් ලේ ගන්නේ ඇයි?

 

චූටි බබා ඉපදිලා තවම පැය 24 ක් ගෙවුණා පමණයි. හෙට බබත් අරන් අලුත් අම්මාට ගෙදර යන්න පුළුවන්. බබා වාට්ටුවට ගෙනාවාට පස්සේ අම්මාට පුංචි පුංචි වැඩ ගොඩක් තියෙනවා.


ඒ අතරට චූටි පැටියාගේ රෝස පාට පාද දෙකේ මාපට ඇඟිල්ලෙන් ලේ බිංදු කීපයක් ගත්තා. චූටි බුබුළු වගේ පෙනෙන රෝස පැහැති ඇඟිල්ලෙන් ලේ ගන්න කොට අම්මාගේ ඇස් දෙකට කඳුළක් නැඟුණා.


අනේ ඇයි මේ...


හෙදි නිලධාරිනිය ඒ ලේ බිංදු යම් විශේෂ කඩදාසියක් මතට දමා ගත්තා. මේ කුමන පරීක්ෂාවකට ගත්තාද? අම්මාට හිතුණා. 


මේ පරීක්ෂණය මීට වසර ගණනාවකට පෙර සිට අපේ රටේ අලුත උපන් සියලුම දරුවන්ට සිදු කරන රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණයක්. අලුත උපන් දරුවාට තයිරොක්සින් ඌනතාව නැමැති රෝග තත්ත්වය ඇත්දැයි හඳුනා ගැනීම මෙහි අරමුණයි.

 


මොකක්ද මේ තයිරොක්සින් ඌනතාව

උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග රාජපක්‍ෂ


සෑම පුද්ගලයෙකුගේම බෙල්ලේ ඉදිරිපස සමනලයෙකුගේ හැඩයකින් යුතු ග්‍රන්ථියක් තිබෙනවා. මෙය තයිරොයිඩ් ග්‍රන්ථිය නමින් හඳුන්වනවා. මේ ග්‍රන්ථියෙන් තයිරොක්සින් නම් හෝමෝනය ශ්‍රාවය කරනවා. මෙම හෝමෝනය දරුවෙකුගේ නිසි ශාරීරික වර්ධනයටත්, බුද්ධි වර්ධනයටත් අත්‍යවශ්‍යයි.


එහෙත් කලාතුරකින් ඇතැම් දරුවන් උපදින විට උපතේදීම මෙම තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇතැම් අසාමාන්‍යතා දක්නට ලැබෙනවා. ඔවුන්ගේ තයිරොක්සින් හෝමෝනය නිපදවෙන්නේ නැහැ. නැත්නම් නිපදවෙන ප්‍රමාණය ශරීරයේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නැහැ. ඇතැම් පුංචි පැටවුන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය උපතින්ම පිහිටන්නේ නැහැ. තයිරොක්සින් හෝමෝනය අඩුවීම හෝ නොමැති වුවහොත් එය උපන් දරුවාගේ මුළු ජීවිතයටම විශාල ගැටලු ඇති විය හැකියි.

 


තයිරොයිඩ් ඌනතාවයේ ලක්ෂණ
තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන දරුවන් දැඩි අලස ගතියකින් යුක්ත වෙනවා. ඔවුන් අසාමාන්‍ය විදියට දවසේ වැඩි කාලයක් නිදා ගන්නවා. ඔවුන්ට පරිසරය ගැන අවට සිටින අය ගැන උනන්දුවක් ඇත්තේම නෑ. බොහෝ විට මේ දරුවන් කිරි බීමටවත් උනන්දුවක් පෙන්වන්නේ නැහැ.


මේ දරුවන්ට මලබද්ධය ඇතිවෙනවා. මේ දරුවන් දින ගණන් මලපහ නොකර සිටීමත් මෙහි එක රෝග ලක්ෂණයක්. ඇතැම් විට මෙම දරුවන්ගේ දිව කටට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. මේ නිසා මෙම දරුවන් නිතරම දිව එළියට දමාගෙන සිටින ගතියක් පෙන්නුම් කරනවා. මේ නිසා එවැනි දරුවන් හුස්ම ගන්නා විට සහ කිරි බීමේදී යම් ශබ්දයක් පිටවීමට පටන් ගන්නවා.


මෙම දරුවන් පරීක්ෂා කරන විට ඔවුන්ගේ හිසේ ‘තෙල් වළ’ නම් කොටස  (මීට ඉහත ලිපියකින් ඒ ගැන අපි පැහැදිලි කළා) සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලබවක් බොහෝ විට දක්නට ලැබෙනවා. එමෙන්ම ඔවුන්ගේ මුහුණෙහි යම් යම් වෙනස්කම් වෛද්‍යවරුන්ට හඳුනා ගන්න පුළුවන්.

 


ගැටලු මොනවාද?
තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන දරුවෙකුගේ වැදගත්ම ලක්ෂණයක් නම් කුසලතා වර්ධනයේ සෑම අදියරක්ම ප්‍රමාදවීමයි. එනම්, මව දෙස බලා සිනාසීම, හිස කෙළින් තබා ගැනීම, පෙරළීම හා නියම කාලයට සිදුවිය යුතු එවැනි අනෙකුත් දේවල්ද සැලකිය යුතු ලෙස ප්‍රමාදවීම වැනි දෑ දැකිය හැකියි.  

 


රෝග හඳුනාගන්නේ කොහොමද?  
දරුවා උපන් පසු ලබාගන්නා ඉහත සඳහන් කළ ලේ බිංදු මගින් ශරීරයේ TSH ලෙස හඳුන්වන හෝමෝනය පරීක්ෂා කරනු ලබනවා. තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන දරුවාගේ සාමාන්‍යයෙන් මෙම TSH හෝමෝන මට්ටම ඉහළ යනවා. එවැනි වෙනසක් හඳුනා ගත් විට අදාළ රසායනාගාරයෙන් අදාළ රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මවුපියන්ට එය වහාම දැනුම් දෙනවා. එවිට වහාම චූටි පැටියා ළඟම ඇති රෝහලේ ළමා රෝග විශේෂඥ සායනය වෙත රැගෙන යන්න ඕනෑ. එහිදී මෙය වඩාත් සැකහැර දැන ගැනීමට ඉහත සඳහන් කළ TSH සහ ඔ4 යන හෝමෝන පරීක්ෂණ සිදු කරනු ලබනවා. දරුවාට තයිරොක්සින් ඌනතාවයක් ඇති බව සැකහැර තහවුරු වුවහොත් තයිරොක්සින් ඖෂධය ලබාදෙනවා.


TSH හෝමෝනය ඇතැම් විට සාමාන්‍ය දරුවන්ගේත් සුළු වශයෙන් ඉහළ යන්න පුළුවන්. එසේ සාමාන්‍ය ප්‍රතිඵලයක් ලැබුණු විට දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීම ඉතාම වැදගත්. ඒ ඉහත සඳහන් ගැටලු තිබේදැයි සැක හැර ගත හැකි නිසයි.

 


තයිරොක්සින් දෙන්නේ කොහොමද?
තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන දරුවාට තයිරොක්සින් ඖෂධය දිනපතා ලබා දෙන්න ඕනෑ. එය ඉතාම අවශ්‍යයි. මෙය දියරයක් ලෙස ලබාගත නොහැකියි. මෙය දෙන්නේ පෙති ලෙස පමණයි. එවිට දරුවාට අවශ්‍ය ප්‍රමාණයට මාත්‍රාව කුඩු කර මවුකිරි ස්වල්පයකට කලවම් කර පෙවිය යුතුයි. මෙය සාමාන්‍යයෙන් දවසට එක් වරක් පමණක් උදෑසන කාලයේදී ලබා දීමට සිදුවෙනවා. දරුවාට උදෑසන පළමු කිරි වේල ලබා දීමට පෙර හිස් බඩට මෙම ඖෂධය ලබා දිය හැකි නම් වඩාත්ම හොඳයි.


තයිරොක්සින් ඌනතාවක් ඇති දරුවන්ට තයිරොක්සීන් ඖෂධය නිසි ලෙස ලබා දෙන්නේ නම් දරුවාගේ ශාරීරික හා මානසික වර්ධනය සාමාන්‍ය ලෙස සිදුවන බව පැවසිය හැකියි. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමත්, හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමත් ඉතාම වැදගත්. දරුවා ඉපදීමේදීම ඉහත සඳහන් රුධිර පරීක්ෂණය සිදු කරන්නේ රෝග ලක්ෂණ ප්‍රකට නොවන දරුවන්ගේ පවා කල් තබා රෝගය හඳුනා ගැනීමටයි.

ශිරානි ගල්ලෑල්ල


 

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment