හැම බබාටම විටමින් ඕන නෑ

 

නිරෝගී දරුවන්ට හිතු මනාපයේ විටමින්, සිරප් වර්ග ලබාදීම කිසිසේත්ම නොකළ යුතුයි. විටමින් වැනි පෝෂක අතිරේක වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාදීම ඉතාම වැදගත්.

 

“ඩොක්ටර් අපේ බබාට විටමින් එකක් දෙන්න බැරිද? මගේ යාළුවෝ කීප දෙනෙක්ම එයාලගෙ බබාලට දෙනවා.”

වයස කීයෙ බබාලටද?

මාස ගණන්වල

අඩු බර අඩු මාසෙන් ඉපදුණු අයද?

නෑ........


වෛද්‍යවරයෙක් හමුවීමට පැමිණි මවක් කී සත්‍ය කතාවක් මේ, 


මේක සත්‍ය කතාවක්. අපේ අම්මල දරුව ඉපදුණු දා ඉඳන් හිතන්නේ අරයගෙ බබාට වඩා මගෙ බබා ලොකු  මහත් කරල බෝල බබෙක් කරන්නෙ කොහොමද  කියලයි. මේ නිසා මවුකිරි දෙන කාලේ පටන් විටමින් ඉල්ලන මවුවරු සිටිනවා.  ඇත්තටම විටමින් දෙන්න ඕනෑද? විටමින් දෙන්නෙ කොයි වගේ බබාලටද? ඒ ගැනයි මේ.


අම්ම බබා කුසේ දරාගෙන සති 37ක් වීමට පෙර දරු පැටියා ඉපදුණොත් ඒ දරුවා අඩු මාසෙන් උපන් දරුවෙක්. ඒ වගේම උපත් බර කිලෝ ග්‍රෑම් 2.5ට වඩා අඩු බරෙන් දරුවා උපත ලැබුවොත්  ඒ දරු පැටියා අඩු උපත් බර දරුවෙක්. මේ කාණ්ඩ දෙකටම අයත් දරුවන්ට සමාන්‍යයෙන් වසර දෙකක් දක්වා විටමින් නියම කරන අවස්ථා තියෙනවා. එවිට විටමින් සහ යකඩද, පෝෂණ අතිරේකයක් ලෙස දෙනවා. සාමාන්‍යයෙන් දරුවා උපත ලැබූ රෝහලේ සායනයට දරුවා සහභාගී වූ විට මෙම විටමින් ලබාදෙනවා.


ඉහත සඳහන් කළ කාණ්ඩ දෙකේ දරුවන්ට පෝෂණ අතිරේක වර්ග තුනක්ම ලැබෙනවා. ඒ අතරින් මල්ටි විටමින් සහ යකඩ දරුවාගේ මුඛයට දමන්නේ බිංදු විශේෂයක් ලෙසයි.


මාස හයට අඩු දරුවන්ට දිනකට මිලි ලීටර් 0.3ක් ලෙසත්. මාස හයෙන් පසු දරුවෙකුට දිනකට මිලි ලීටර් 0.6ක් ලෙසත් මෙම වර්ග දෙක ලබාදෙනවා. මේ හැර තුන්වැනි වර්ගය නම් ෆෝලික් අම්ලය අඩංගු  කුඩා පෙත්තක්. මෙම පෙත්තෙන් කාලක් හෝ භාගයක් පමණක් සතියකට වරක් දරුවාට ලබාදෙන්න නියම කරනවා. එය සතියකට වරක් මව්කිරි ස්වල්පයක් සමග මිශ්‍ර කර දරුවාට පෙවිය යුතුයි.


දරුවාට යකඩ බිංදු ලබාදෙන විට මල තද දුඹුරු පාට වෙනවා. ඊට බිය විය යුතු නෑ. එය සාමාන්‍යයි.

 


විටමින් A අධි මාත්‍රාව දෙන හැටි 

උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග රාජපක්‍ෂ


විටමින් A අධිමාත්‍රාව මාස හය, හත සිට  අවුරුදු පහ දක්වා දරුවන්ට මාස හයකට වරක් ලබා දෙනවා. එසේ දෙන්නේ අද සමාජය තුළ පවතින විටමින් A ඌනතාව තුරන් කිරීමටයි. විටමින් A යනු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි පැවැත්මටත් සම ඇතුළු පටකවල නිසි වර්ධනයටත් ඇස් පෙනීම හොඳින් පැවතීමටත් අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්.


 විටමින් A ඌනතාවය නිසා දරුවන් අක්ෂි රෝගවලටත් විවිධ බෝවන රෝගවලටත් පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්.


මෙහිදී  මවුපියන් දැනගත  යුතු වැදගත් කරුණක් වන්නේ මෙම විටමින් A අධිමාත්‍රාව ලබා දෙන දරුවන්ට  විටමින්  A අඩංගු වෙනත් විටමින් සිරප්  වර්ග  ලබා නොදිය යුතු බවයි. ඉහත සඳහන් කළ අඩු මාසෙන් සහ අඩු බර සහිතව ඉපදුණු දරුවන්ට වසර දෙකක් දක්වා සායනයෙන් විටමින් බිංදු ලබාදෙන්නේ නම් ඔවුන්ට විටමින් A අධි මාත්‍රාව ලබා දිය යුත්තේ වසර දෙකෙන් පසුවය. අවශ්‍ය ප්‍රමාණයට වඩා විටමින් A ශරීර ගත වුවහොත් එයින් හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකිය. එනිසා ඒ ගැන දැනුවත්ව සිටීම ඉතාම වැදගත්ය. 


කුඩා දරුවන්ගේ හිසෙහි ඉදිරිපස ඇති ‘තෙල්වළ’ ගැන අපි මීට පෙර ලිපියකින් කතා කළා ඔබට මතක ඇති. විටමින් A අධි මාත්‍රාව ලබාදුන් පසු කලාතුරකින් ඇතැම් දරුවන්ගේ මෙම තෙල්වළ නම් කොටස ඉහළට නෙරා එයි. සාමාන්‍යයෙන් එසේ වුවත් ඊට කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. එය ඉබේම පහව යන තත්ත්වයක්. එහෙත් තෙල්වළ එසේ ඉහළට නෙරා යන වෙනත් රෝගී තත්ත්ව පවතින නිසා මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ගැනීම අත්‍යවශ්‍යයි.

 


සායනයෙන් දෙන ක්ෂුද්‍ර පෝෂක පැකට්ටුව
දරුවන්ගේ පෝෂණ ඌනතා මඟහැරීම සඳහා ළමා සායනවලදී විටමින්, යකඩ, සින්ක් ආදී පෝෂක කිහිපයක්  අඩංගු කුඩා පැකට්ටුවක් නොමිලේ ලබාදෙනවා. එසේ ලබා දෙන්නේ වයස මාස 6-12-18 වයස්වල දරුවන්ටයි.
දිනකට එම එක පැකට්ටුව බැගින් දරුවාගේ ආහාරයට එකතු කළ යුතුයි.  ඒ පැකට් දරුවාට ගන ආහාර පටන් ගත් පසු දිනකට එක් පැකට්ටුව බැගින් එම සකසන ආහාරයට එකතු කරන්න ඕනෑ. ඒ සඳහා මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණයට මෙම පැකට් ලබා දෙනවා.

 


සකසන හැටි
පැකට්ටුව කඩා එහි තිබෙන කුඩු සියල්ලට ම දරුවාගේ ගන හෝ අර්ධ ගන ආහාරයට එකතු කර හොඳින් මිශ්‍ර කළ යුතුයි. ඉන්පසු විනාඩි දහයක් පහළොවක්  ඇතුළත එම ආහාරය දරුවාට කැවිය යුතුයි. පෝෂකය මිශ්‍ර කළ පසු වැඩි වේලාවක් එළියේ තැබුවොත් එහි වර්ණය වෙනස් වෙනවා. එසේ වූ විට දරුවා එය අප්පිරියා කරන්න පුළුවන්. එහි අඩංගු පෝෂක කුඩු ජලයේ දියවෙන්නේ නෑ. ඒ නිසා කිසිම විටෙක ඒවා පමණක් ජලයේ දිය කර ලබා නොදිය  යුතුයි. ඉහත සඳහන් පරිදි අඩු මාසෙන් හෝ අඩුබර සහිතව උපදින දරුවන්ට මෙම පෝෂක කුඩු පැකට්ටුව ලබාදෙන කාලය තුළ අමතර විටමින් සහ යකඩ බිංදු ලබාදීම නැවැත්විය යුතුයි.
නිරෝගී දරුවන්ට හිතූ මනාපයේ විටමින්, සිරප් වර්ග ලබාදීම කිසිසේත්ම නොකළ යුතුයි. විටමින් වැනි පෝෂක අතිරේක වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාදීම ඉතාම වැදගත්. 

ශිරානි ගල්ලෑල්ල 


 

 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment