හිස කෙස් කලු හා දීප්තිමත් කරන ස්වභාවික මල්

ස්වභාවික මල් ලේ පිරිසුදු කරනවා. සමේ පැහැය වඩවනවා.


ලස්සන වෙන්න කවුද අකමැති .වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමදෙනාම  ලස්සන ගැන හිතන්න  පුරුදු වෙලා ඉන්නවා . ලස්සන වෙන්න අවට  වටපිටාවෙන්ම සරලව සත්කාර කරගන්න පුළුවන් නම් කොතරම් වටිනවද? එහෙනම් බලන්නකො ඔබේ අවට ගෙවත්තේ ගුණ රුව දෙකම ලබා ගන්න පුළුවන් මල් වර්ග වැටිලා නිකං ප⁣රවෙලා කුණු වෙලා යනවද කියලා . හැබැයි දැන් කියන මල් වර්ග උපයෝගී කරගෙන ලස්සන වෙන්න වගේම එහි ඇති ඖෂධීය වටිනාකම හරහා නිරෝගිමත් භාවය රඳවා ගන්නත්  ඔබට පුළුවන් .

අවට ගෙවත්ත තුළින් පහසුවෙන් සොයා ගන්න පුළුවන් ඖෂධීය ගුණ යුත් රුව වඩන මල් වර්ග 

පොකුරු වද මල්, නිල් කටරොලු, රෝස මල්, කතුරුමුරුංගා මල්, සමන්පිච්ච, රත් මල්, සේපාලිකා, මානෙල්, නාමල්, බෙලි මල්, 

 

රණවරා මල්

මෙවැනි මල් වර්ග සමහර අවස්ථාවන් වලට සම්පුර්ණ මල, පෙති , රේණු රුව අලංකරණය වැඩි කරන්න යොදා ගන්නවා .


කතුරුමුරුංගා මල් 

නැවුම් මල් රසවත්බවින් යුතු ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම තුළ උගුර කට වන වීම වලක්වනවා මෙන්ම සිරුරේ උෂ්ණබවද නසනවා. එනිසා  නි⁣රෝගීභාවයට හා රුව අලංකරණයට මෙම මල් දායක වෙනවා .


රත් මල් 

රත් මල් කැකුළු තම්බා පානය කිරීමෙන්  සිරුර සිසිල් කරන අතර සිරුරේ රුධිර වහන වලක්වනවා . සමේ රෝග වලදි මෙන්ම සමෙහි රෝග වලක්වා ගැනීමට රත් මල් තම්බා  ඇඟ සේදීම ඉතා හොඳයි .


නෙලුම් මල් 

නෙලුම් මලේ පෙති වලින් සැකසූ පාන , කෂාය සිරුරේ උෂ්ණාධිකභාවයට , රක්ත වහනය නැවතීමට භාවිතා කරනවා. හොඳ මුත්‍ර කාරකයක් . සම සුගන්ධවත් හා පැහැපත් කරනවා .  

නෙලුම් මල් රේණු බටර් හෝ ගිතෙල් සමඟ ආහාරයට ගැනීමද සිරුර සිසිල් කරනවා. නෙලුම් මල් රේණු පිරිසිදු කර ගත් මුහුණ මත අතුරා සිටීමෙන් මුහුණ පැහැපත් වෙනවා.


නාමල් 

සමෙහි පැහැපත් බවට ,සුගන්ධවත් බවට  , සිරුර සිසිල් කිරීමට දායක වෙනවා . නාමල් රේණු ගිතෙල් ,බටර් හෝ කිරි සමඟ පානය  ආමාශ ගත තුවාල සුවයට හා උෂ්ණාධිකභාවය අඩු කරන්න දායක වෙනවා . නාමල් රේණු කබලෙ බැද කුඩුකර මී පැණියෙන් අනා ආහාරයට ගැනීමෙන් රක්ත වහන වලක්වනවා. යටිපතුල් දාහයට නාමල් රේණු එලගිතෙලින් අඹරා ආලේප කරන්න පුළුවන් .


බෙලි මල් 

බෙලි මල් පානය  සිරුර සිහිල්  කරනවා. සම පැහැපත් කරනවා . සිරුරේ දුගඳ නසනවා .


සේපාලිකා මල් 

වියළාගත් සේපාලිකා මල් තම්බා බීමෙන් සිරුර සිසිල් කරනවා . නහර ගත රුධිර ගත මේදය ඉවත් කරන අතර  දියවැඩියාව රෝගය පාලනයට දායක වෙනවා. සේපාලිකා මල් වල තැඹිලි පාට නටු උණුවතුරට දමා හෝ සේපාලිකා මල් මද පවනේ වියළා ගෙන එම වියළි මල් පසුව පානයක් ලෙස සකසා සතියකට දෙවරක්  භාවිතා කලොත් බොහෝ රෝගා වලින් වැලකී නිරෝගිබව උරුම කරගන්න පුළුවන් .


රණවරා මල් 

තේ වෙනුවට පානය කල හැකියි . සම පැහැපත් කරන්නට , පිත් කෝපය නසන්නට හා රුධිරය පිරිසිදු කරන්න විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ශරීරය සිසිල් කිරීමටත්, විඩාව දුරු කිරීමටත්, සෙම් සහ පිත් රෝග නසන්නට ,පණු රෝග වලක්වන්න,  සිරුරේ ඇති වෙන දද, කුෂ්ට ආදියටත් ගුණදායකයි. දියවැඩියා රෝගීන්ට දෙන්නට පුළුවන් වටිනා බෙහෙතක්. පුරුෂයන්ට ශුක්‍රාණු වර්ධනයටත් සුදුසුයි. මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ අමතර කොටස් පිටවීම හා කාන්තාවන් ගේ ඇඟ කෙට්ටු කරවන සුදයාමේ තත්ත්ව වලටද ගුණයි .


කරාබු නැටි 

කරාබුනැටි ඔබ අසා තිබෙන්නේ කුලුබඩුක් ලෙස වුවත් මුඛ දුර්ගන්ධය වලකා  දත් වල අව පැහැය දුරුකරමින් දත් දිරායෑම /අකලට වැටීම /කුහර ඇති වීම  වලකා විදුරුමස්ද ශක්තිමත් කරමින් මුව නැවුම්ව තබා ගන්න උදව් වෙනවා .

දිනපතා උදෑසන හා රාත්‍රි මුඛ සේදුම් දියරයක් සාදා භාවිතා කළ හැකියි . ඒ සදහා කරාබු නැටි තෙල් බිංදු කිහිපයක් ජලය මිලි ලීටර් 30 ක පමණ දියකර එය මුඛයේ මද වේලාවක් රඳවා තබා ගෙන සිට ඉවත් කරන්න .


දහස්පෙති මල් 

දහස්පෙති මල් තම්බා දෙපා වල ගැටගැසුනු නහර ඒවායින් තැවීමෙන් ඒවා ළිහිල් වී දෙපා වලට සුවයක් සලසනවා . දහස්පෙතියා තම්බා හිසකෙස් සේදීම හරහා එය ස්වභාවික  කන්ඩිෂනර් එකක් ලෙස කි‍්‍රයාකරනවා.


සමන්පිච්ච මල් 

සමන්පිච්ච උෂ්ණාධික කම නිසා ඇසෙන් කබ කදුළුගැලීම වලක්වා ගැනීමට භාවිතා කරනවා .පිච්ච මල් තැඹිලි වතුරේ රැයක් පෙගෙන්නට තබා එම වතුරෙන් ඇස් සේදීම වඩාත් යෝග්‍යයි . ඇසේ රත නැති වීමට , ඇස් වල ප්‍රබෝදමත් බවට හිතයි.

සමන්පිච්ච මල් වලින් ලබා ගන්නා තෙල් ද ඇරෝමා ප්‍රතිකාර වලදී , රුව වඩවන ප්‍රතිකාර වලදී භාවිතා වෙනවා .


අශෝක මල්

අශෝක මල් හා නාමල් රේණු ඇගෙහි ගෑමෙන් සම සුගන්ධවත් ⁣වෙනවා.

ඔබ මෙතෙක් අධික වියදමක් දරා ඔබේ රුව ඔප්නංවාගැනීමට යොමු වී සිටියා නම් ඔන්න දැන් සරලවම ස්වභාවිකවම රුව මෙන්ම නිරෝගීභාවය යන දෙකම ස්වභාවික සත්කාර වලින් සදාකාලිකව රඳවා ගන්න හැකි වේවි 



 ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත රක්වාන ආයුර්වේද රෝහල 

සටහන - මහේෂානි මීගහපොල

 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post

Leave a comment