හෙම්බිරිස්සා කැස්සට බෙහෙත් නොගත්තම බොන්කයිටිස්

 

ශ්වාසනාළ ආසාදන පිළිබඳ කොවිඩ් රෝගය පැතිර යාමත් සමග බොහෝ දෙනා සැලකිලිමත් වෙති. සාමාන්‍යයෙන් සෙම කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුලබව දක්නට ලැබෙන රෝගයකි. එහෙත් මෙම රෝගයෙන් පසු වෙනත් පෙණහලු රෝග සෑදෙන අවස්ථාද තිබේ. 


පසුගිය කාලයේ පැතිර ගිය කොවිඩ් ආසාදනය මෙන්ම ඒ හා සමාන සෙම ආසාදන නිතර වාර්තා විය. මේවායෙන් වැඩි ප්‍රමාණයක් පෙණහලු ආසාදනය කරන රෝග වේ. ඒ අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා කැස්සෙන් පසු පෙණහලු ආසාදනය කරන බ්‍රොන්කයිටිස් රෝගයත් එවැනි ආසාදනයකි. මෙය සාමාන්‍යයෙන් සුලබ තත්ත්වයකි.


අද ලොකු කුඩා ඕනෑම කෙනකුට සෙම්ප්‍රතිශ්‍යා කැස්ස ඇති විට එය බරපතළ තත්ත්වයක්දැයි බොහෝ විට සිතති. බ්‍රොන්කයිටිස් රෝගයත් එවැනිම තත්ත්වයකි. මෙම රෝගය කොවිඩ් මෙන් භයානක නැතත් නිසි ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ගැටලු සහගත විය හැකිය.


සෙම්ප්‍රතිශ්‍යා කැස්ස තදින් තිබී වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස නොගන්නා අයට මෙම රෝගයේ සංකූලතා ඇති විය හැකිය.


Q රෝග ලක්ෂණ මොනවාද?

උපදෙස් :- 
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ 
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
දර්ශන් ද සිල්වා 

 


* කහින විට පපුවේ වේදනාවක් ඇති වේ.
* කැස්ස සමග රුධිරය පිට වීමට පටන් ගනී.
* හුස්ම ගන්නා විට පපුවෙන් ශබ්දයක් පිටවෙයි.
* සමහර රෝගීන්ගේ දිව තොල් නිල් පැහැ ගනී.
ඉහත ලක්ෂණ බොහෝ විට ශ්වාසනාළ ප්‍රදාහයේදී ඇති වෙන ලක්ෂණ ය. මෙවැනි ලක්ෂණ පහළ වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ගතයුතුමය.
බ්‍රොන්කයිටිස් රෝගයේදී රෝගියාට සෙම කැස්ස තිබී ඖෂධ ප්‍රතිකාර ගත් විට එය වියළි කැස්ස බවට පත් වේ. ඉන්පසු සුව වේ. එහෙත් සමහරුන්ට කැස්ස ඇති වී එහිදී පිටවෙන සෙම කහපාට වේ. එම කහපාට සෙම ක්‍රමයෙන් ළා කොළ පාටටත් පිටවීමට පටන් ගනී. එසේම ශ්වසන වේගයද වැඩි වේ. මේ අවස්ථාවේදී රෝගියා හුස්ම ගන්නා විට ඇදුම මෙන් රාං රූං ශබ්දයක් පිටවීමට පටන් ගනී. එවිට හුස්ම ගැනීමත් අපහසු වේ. මෙම තත්ත්වයේදී රෝගීන්ට ආහාර අප්‍රිය ගතියක් ඇති වේ. රස නොදැනී යයි. සමහරුන්ට කැස්ස සමග වමනයද පිට වේ.
මෙවැනි තත්ත්වයකදීත් රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් රෝගය උත්සන්න විය හැකිය. එවිට රෝගියාගේ දිව තොල් නිල් පැහැ ගනී.


Q  රෝගයට හේතු මොනවාද? 
බ්‍රොන්කයිටිස් සෑදෙන්නේ වයිරසයක් හෝ බැක්ටීරියාවක් හේතුවෙනි. රෝගී තත්ත්වය හේතුවෙන් රෝගියාගේ ශ්වාසනාළ ඇතුළත පටලය ඉදිමෙයි. එවිට ශ්වාසනාළ සිදුර සිහින් වී හුස්ම ගැනීම අපහසු වේ.

 


Q  ප්‍රතිකාර තිබෙනවාද?  
මෙම රෝගයට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යමය. එහෙත් ප්‍රතිකාර ලෙස ලබා දෙන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා කැස්සට ලබා දෙන ප්‍රතිකාරමය.

 


Q  කුඩා දරුවන්ටත්  හැදෙනවාද?
මෙම රෝගය කුඩා දරුවන්ටත් සෑදිය හැකිය. රෝගයට හේතුව පෙණහලු තුළ තිබෙන ශ්වාසනාළවල ඇතුළු පැත්තේ පිහිටි පටක තුවාල වීමයි. එවිට ශ්වාසනාළ ආසාදනය වේ.
කුඩා දරුවෙකුට මෙම රෝගයත් සමග උණ සෑදෙයි. උණ සෑදුණු විට එය අඩු කර ගැනීමට පැරසිටමෝල් දරුවාගේ බර අනුව ලබා දිය යුතුයි. පැය හයකට වරක් හැර ඊට පෙර පැරසිටමෝල් නොදිය යුතුයි. පැය හයකට පෙර උණ  සෑදෙන්නේ නම් දරුවා ගේ සිරුර තෙත් කිරීම, විදුලි පංකාවක් දමා තිබීම වැනි දෑ කර එය අඩු කර ගත යුතුය.


දරුවාට හුමාලය ඇල්ලීමට හැකි නම් මවත් සමගම එසේ කළ යුතුයි. නටන වතුර හුමාලය වඩාත් සුදුසුය. එවිට සෙම බුරුල් වී ගලා යයි.
කැස්ස තිබෙන විට එය පිට කිරීමෙන් රෝගය අඩු කර ගත හැකිය. මේ සඳහා කැස්සට නියම කරන සිරප් වර්ගයක් පාවිච්චි කළ හැකිය.  මෙම රෝගයේදී උතුරවා නිවාගත් තරමක උණුසුමට ජලය පානය ඉතාම සුදුසුය. ඒ හැර රෝගියා කැමැති ලෙෂ ප්‍රධාන ආහාර ස්වල්පයක් වශයෙන් හෝ ගත යුතුයි.

 


Q  මේ ගැන සැලකිලිමත් වෙන්න
දරුවාට කැස්ස පිටකරන විට රුධිරය යන්නේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගත යුතුය. මේ හැර හුස්ම ගැනීමේ වේගය අධික වුවහොත් ඒ ගැනද උපදෙස් ගත යුතුය. විශේෂයෙන් හුස්ම ගැනීමේ වේගය මිනිත්තුවකට 50 කට වඩා වැඩි නම් සැලකිලිමත් විය යුතු වේ. එවැනි අවස්ථාවක පමා නොකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වේ.


දරුවාගේ තොල් හා දිව නිල් පැහැ ගෙන තිබේ නම්, දරුවාට හුස්ම ගැනීම අපහසු නම්, නාසය තද වී තිබේ නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගත යුතු වේ.
දරුවාට තදින්ම සෙම තිබේ නම් විජලනය ඇති විය හැකිය. එවැනි තත්ත්වයකදී රෝගියාට සේලයින් ලබා දිය යුතු වේ.

 


Q  පරීක්ෂණ ඕනෑද?
රෝගියාගේ පෙණහලුවල අධික ලෙස සෙම තිබෙන බව වැටහේ නම් උගුරෙන් සෙම ස්වල්පයක් ගෙන පරීක්ෂණ සඳහා යැවිය යුතු වේ. තත්ත්වය බරපතළ නම් එක්ස් කිරණ පරීක්ෂණ සඳහා රෝගියා යොමු කළ යුතුය.
මේ නිසා සෙම්ප්‍රතිශ්‍යා කැස්ස සමග උණ තිබේ නම් රෝගියා වෙතින් ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් පමා නොකර නිසි වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම වැදගත් වේ.

 


ශිරානි ගල්ලෑල්ල


 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment