Stress නැති කරන Tips

 

Stress නැත්නම් ආතතිය නිතරම අහන්න ලැබෙන වචනයක්.

ඉතිං ඇත්තටම මේ stress කියන තත්වය ඔය කියන තරම් භයානකද..? නැත්නම් අපි හිතන තරම් භයානක නැද්ද..? ගොඩක් වෙලාවට සමාජයේ මේ ගැන තියෙන්නේ හරි අවබෝධයක් නැති කතාබහක්. අපි බලමු ඇත්තටම ඔය කියන තරම් දෙයක් මේක ඇතුලේ තියනවද කියලා.

කසුන් සේනානායක
මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක | මානව කුසලතා සංවර්ධන උපදේශක 

ආතතිය බලපාන්නේ අපේ මනසට විතරක් නෙවෙයි. අපේ ශරීරයේ අවයව වලටත් මේ ඔස්සේ සිද්ධ වෙන බලපෑම සුළු පටු නැහැ. ඒ අනුව අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, නිර්නාල ග්‍රන්ථි සහ හෘදය කියන කොටස් වලට දැඩි බලපෑමක් මේ විසා සිදු වෙන්න පුලුවන්. ඒ වගේම ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම, රුධිර පීඩනය වැඩිවීම වගේ ලක්ෂණත් ආතතියේ දී දැකගන්න පුලුවන්.

සරලව කියනවා නම් ජීවිතේ කියන්නේ ම ආතතියට නැත්නම් ක්ලමථයට මුහුණ දීමේ ක්‍රියාවලියකට. රැකියාව, අධ්‍යාපනය හා විභාග, වෙන්ව සිටීම, රෝග වීම, ආදරවන්තයින්ගේ හැරයාම්, ආදී විවිධ සාධක මීට හේතු වෙන්න පුලුවන්.

ආතතිමය වර්ධනය සඳහා පුද්ගලයා කෙරෙහි බලපාන සාධක කීපයයක් තියනවා.

  • පුද්ගල කුසලතා
  • පරිසරය
  • පෞරුෂ සාධක
  • ළමා කාලයේ අත්දැකීම්

ලෙස ඒවා දක්වන්න පුළුවන්. මෙහිදී දැකගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි ආතතිය සඳහා මුහුණ දීමේ ක්‍රම ශිල්ප සඳහා වූ  අත්දැකීම් අඩු බව පුද්ගලයෙකුට උග්‍ර ආතතිමය තත්ත්වයක් ඇති කිරීමට හේතුවන බව. උදාහරණයක් විදියට  ප්‍රථම ප්‍රේමය කඩාකප්පල් වීමේ දී කලින් ඒවගේ තත්වයකට මුහුණ දීලා නැති නිසා, ඇතිවන ආතතිමය තත්වය උග්‍ර වෙන්න පුලුවන්. 

ගෝලීය වශයෙන් කිසියම් සිද්ධියක් හේතුවෙන් පුද්ගලයාට ඇතිවන ආතතියේ මට්ටම මැනීමේ ක්‍රම තියනවා. ඒ අනුව SLSI ක්ලමත පරිමානය අනුව සිදුවීම් කිහිපයක් සහ ඊට අදාල ආතතියේ තරම ගැන අවබෝධයක් ලබාගන්න පුලුවන්.

සිද්ධිය

ආතතියේ තරම

දූෂණයකට ලක්වීම

100

HIV - positive බව සනාථ වීම

100

දූෂණයක් සිදු කිරීමේ චෝදනාවට ලක් වීම

98

සමීප මිතුරෙකු ගේ අභාවය

97

ලිංගිකව බෝවන රෝගයකට

94

විභාගයෙ අවසාන සතිය

90

පෙම්වතියට දරු ගැබක් පිලිසිඳ ගෙන සිටීම

90

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටීම

85

අධ්‍යාපනික වැඩ ව පමණට වඩා ගොඩගැසීම

82

පෙම්වතියට / පෙම්වතාට වංචා කිරීම

77

 

මනෝවිද්‍යාඥයින්ගේ මතය ජීවිත අර්බුද වඩා දරුණු වීම දරුණු රෝගාබාධ ඇති වීමට බලපාන බවයි. ලියුකේමියාව, පිළිකා සහ හෘදයාබාධ උදාහරණ විදියට දක්වන්න පුලුවන්. ජීවිතේට ඇතිවන ආතතිය ක්‍රමයෙන් වර්ධනය වීම නිසා පුද්ගලයා සතු රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය අඩුවෙලා යන්න පුලුවන්. ඊට අමතරව උග්‍ර භින්නෝන්මාදය, විශාදය, කාංසාව හා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාද ආතතිමය ජීවන අවස්ථාවල සෘජු ප්‍රතිඵලයකි.

ඒ නිසා ආතතිය උග්‍ර වීමට කලින් එම තත්ත්වය කළමනාකරණ කිරීම අතිශය වැදගත්. එහෙනම් ඔක්කොම කලින් ඔබ ආතතියෙන් පෙළෙන බව ඔබ අවබෝධ කරගැනීම වැදගත්.

ආතතියෙන් පෙළෙන බවට සංඥා,

  • හිසරදය
  • කැරකැවිල්ල
  • මස් පිඩු තද වීම
  • මස්පිඩු වේදනාව
  • උදරයේ අපහසුතාවන්
  • පපුවේ වේදනාව
  • වේගවත් හදගැස්ම
  • ලිංගික ගැටලු
  • සුළු දේටත් කේන්ති ගැනීම
  • කලබලකාරී බව
  • නින්ද ඉතා අධික හෝ ඉතා අඩු බව
  • ඉතා අධිකව හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම
  • අසාමාන්‍ය  ලෙස ඇතැම් ස්ථාන සහ පුද්ගලයන් මගහැර සිටීමට උත්සාහ කිරීම

යනාදිය  සුලබ ශාරීරික රෝග ලක්ෂණ ලෙස හදුනාගන්න පුලුවන්.

ආතතියේ සුලබ මානසික ලක්ෂණ ලෙස,

  • අවධානය පවත්වා ගැනීමේ අපහසුතාව.
  • තීරණ ගැනීමේදී ඇතිවන අපහසුතාව.
  • අධික හැඟීම්බර ස්වභාවය.
  • නිරන්තරයෙන් ඇතිවන කනස්සල්ල සහ නිතර අමතක වෙන සුළු ස්වභාවය. 

දැකගන්න පුලුවන්.

 

 

ඉතිං තමන් ආතතියෙන් නම් ආතතිය කළමනාකරණය කරගැනීමට විවිධ ක්‍රමවේද භාවිත කරන්න පුලුවන්.

  • හැකි උපරිමයෙන් ව්‍යායාම සහ ශාරීරික වශයෙන් ක්‍රියාශීලී ජීවන රටාවකට යොමුවෙන්න.
  • අන් අය නොව ඔබ සතුටුවන විසඳුම්වලට මූලිකත්වය ලබාදෙන්න.
  • විශ්වාසනීය සමීපතමයන් /මිතුරන් ට ඔබේ කතාව කියන්න.
  • ඔබටම වෙන්වූ කාලයක් දෛනිකව ගතකරන්න.
  • හැකිතාක් ධනාත්මක ආකල්ප පවත්වා ගන්න.
  • ඇතැම් දෑ අපගේ පාලනයෙන් තොර බව පිලිගැනීමට හුරුවෙන්න.

මේ වගේ ක්‍රම ඔස්සේ ආතතිය කළමනාකරණය කරගන්න පුලුවන්. ඒ ඔස්සේත් සහනයක් නැතිනම් මනෝ උපදේශක වරයෙකු වෙත යොමුවීම වැදගත්. ගොඩක් වෙලාවට ඔයාගේ ප්‍රශ්නය අතිශය පෞද්ගලික නම් හිතවත් කොනක් එකක බෙදාගන්නවට වඩා මනෝ උපදේශකවරයෙකු වෙත යොමුවීම අතිශය ආරක්ෂිතයි.

කොහොම වුණත් අප එකිනෙකාගේ ඔරොත්තු දිය හැකි සීමාවන් විවිධයි. ඒ නිසා කවර වයසක වුණත්, කුමන රැකියාව කළත්, මොන අධ්‍යාපන මට්ටමේ සිටියත්, ස්ත්‍රී පුරුෂ භාවය මොකක් වුණත් අපට පීඩාකාරී මට්ටමින් ආතතිය ඇතිවන්නට ඕනෑම අවස්ථාවක ඉඩකඩ තියනවා. එමෙන්ම කෙනෙකුට ඉතා පහසුවෙන් මුහුණදිය හැකි ගැටලුවක් තවත් කෙනෙකුට ඉතා දරුණු මානසික පීඩාවක් ඇතිකරන්න හේතුවෙන්න පුලුවන්. ඒ නිසා “අයියෝ ඕවත් ප්‍රශ්නද” වගේ ප්‍රකාශ හරහා අතතියෙන් ඉන්න කෙනෙක් විහිලුවට ගැනීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

 

 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment