අම්මට ගර්භ වලිප්පුව හැදෙයිද?
අතීතයේ දරුවෙක් බිහි කළ මවක් ගැන අසන විට අසන්නට ලැබෙන රෝගයක් ද වෙයි. එය යම් භූත දෝෂයක බලපෑමක් නිසා සිදුවන්නේ යැයි පැරැන්නෝ විශ්වාස කළහ. එහෙත් මෙය රෝග තත්ත්වයකි. අධි රුධිර පීඩනය හා සම්බන්ධ රෝගයකි. එනම් ගර්භ වලිප්පුවයි.
මෙම රෝගය සෑදෙන්නේ රුධිර පීඩනය අධික ලෙස වැඩිවීමෙනි. මේ නිසා අද ගර්භිණීබව හඳුනාගත් දා පටන් සායනවලට පැමිණෙන මවුවරුන්ගේ රුධිර පීඩනය මැන බැලීම සෑම සායන දිනකම කරති.
ගර්භ වලිප්පුව හැදෙන්නෙ කොහොමද?
මෙම වලිප්පු තත්ත්වය දරු ප්‍රසූතියට පෙර හෝ එම අවස්ථාවේදී හෝ ප්‍රසූතියෙන් පසුව වුවද ඇති විය හැකිය. එහෙත් බොහෝ විට ඇතිවන්නේ ප්‍රසූතියට පෙරය.
ගර්භ වලිප්පුවට ප්‍රධානම හේතුව අධි රුධිර පීඩනය අධික ලෙස ඇතිවීමෙන් මොළයට ඇතිවන බලපෑමයි. මෙය ෆිට් එකකි.
මේ නිසා අද සායනවලට එන මවුවරුන් පළමුව සායනයට පැමිණි දිනයේ පටන් රුධිර පීඩනය මැන බැලීම ඉතාම අවශ්‍යය. ඒ රුධිර පීඩනය වැඩිවීම මෙම රෝගයට මෙන්ම දරුවාගේ වර්ධනය බාලවීම වැනි බොහෝ දේ සඳහා බලපාන නිසාය.
රුධිර පීඩනය වැඩි වුණොත්
ගර්භිණී කාලයේ රුධිර පීඩනය වැඩිවන කාන්තාවන්ට එය පාලනය කිරීම සඳහා ඖෂධ ලබා දෙයි. එය නොකඩවා වෛද්‍ය උපදෙස් මත අඩු වැඩි කරමින් ගත යුතුයි.
රෝග ලක්ෂණ
මවගේ රුධිර පීඩනය වැඩි වන බවට හඳුනාගත හැකි ලක්ෂණ වේ.
අධික ලෙස දෙපා ඉදිමීම
ගර්භිණී කාලයේ දෙපා ඉදිමීම බොහෝ විට දක්නට ලැබුණත් අධික ලෙස ඉදිමීම රුධිර පීඩනයේ වැඩිවීමේ ප්‍රධාන ලක්ෂණයකි.
● අත් සහ මුහුණ ඉදිමෙයි. මුහුණ ඉදිමෙයි නම් බොහෝ විට රුධිර පීඩනය වැඩිබවට හඳුනා ගනී.
● නිතර ඇතිවන හිස කැක්කුම
● පෙනීම බොඳවීම
පෙනීම බොඳවීමට හේතු වන්නේ මොළයේ යම් ඉදිමීමක් නිසාය. සමහර කාන්තාවන්ට නිතර දෑස්වලින් කණාමැදිරි එළියක් මෙන් දක්නට ලැබේ.
මේ සමග සමහර කාන්තාවන් ගේ උදරයේ දකුණු පස වේදනාවක් ඇති වේ. එය අක්මාවේ යම් බලපෑමක් නිසාය. රුධිර පීඩනය වැඩි කාන්තාවන්ට මෙවැනි ගැටලු ඇති වුවහොත් මූත්‍ර පරීක්ෂණ කරයි. එහිදී මූත්‍ර සමග ඇල්බියුමින් පහවන්නේදැයි බලයි. එසේ වන්නේ නම් වකුගඩුවලටත් යම් බලපෑමක් සිදුව ඇතැයි නිගමනය කරයි. එවැනි කාන්තාවන්ගේ වකුගඩුද පරීක්ෂා කරයි.
එසේම හිස කැක්කුම, දෑස්වල අපැහැදිලිබව සමග රුධිර පීඩනය වැඩි නම් දරුවා කලින් බිහි කිරීමට අවශ්‍ය අවදානම් මවක් ලෙස වෛද්‍යවරු නිරීක්ෂණය කරති. මෙවැනි සංකූලතා තිබේ නම් රුධිර පට්ටිකා අඩුවේ ද යන්නත් පරීක්ෂා කරයි. එසේ වීමෙන් ශරීර අභ්‍යන්තර රුධිර වහනයක් තිබේද යන්නත් බලයි. එසේ පරීක්ෂා කර අවදානම වැඩි නම් මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා දරුවා ඉක්මනින් බිහි කරවීමට පියවර ගනී.
ඉහත ගැටලු තිබෙන විට දරුවා ඉක්මනින් බිහි කරවීමට පියවර ගන්නේ ගර්භ වලිප්පුව වැනි ගැටලු මෙන්ම දරුවාගේ ජීවිතයටත් හානි සිදුවිය හැකි නිසාය. කෙසේ වුවද මෙහිදී වැඩිපුරම බලන්නේ මවගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටය.
බබා ගන්න අවස්ථාවේ රුධිර පීඩනය වැඩි නම්
රුධිර පීඩනය ඉතාම වැඩි තත්ත්වයකදී මවට ඖෂධ දී රුධිර පීඩනය පාලනය කර දරුවා බිහි කරයි. එය සිසේරියන් සැත්කමින් හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් සිදුකිරීමට වෛද්‍යවරයා සැලකිලිමත් වේ.
බබාට ඇතිවන සංකූලතා
මුල් අවදියේ පටන් රුධිර පීඩනය වැඩි මවගේ දරුවන්ට ඇතිවන සංකූලතා මෙසේය.
● වැඩීම බාලවෙයි
● බර අඩු කුඩා දරුවෙක් උපත ලබයි
● ගර්භ තරලය ද අඩුයි
මවගේ වයස බලපානවද?
මවගේ වයස බලපාන්නේ නැත. පළමු දරු උපතට මෙම ගැටලු ඇති විය හැකිය.
නැවත හැදෙනවද?
ගර්භ වලිප්පුව, රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස වැඩිවීම බොහෝ විට දක්නට ලැබෙන්නේ පළමු දරුවා ගැබ්ගෙන සිටින විටදීය. දෙවැනි, තෙවැනි දරුවෙකු බිහි කිරීමට සිටින මවකට මෙම ගැටලු ඇතිවන්නේ ස්වාමිපුරුෂයා වෙනස් වූ විට දී පමණි.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment