අලුත්ම හදවත් රෝගය SCADLE

ලෝකයේ මේ වනවිට පර්ෙය්ෂණ සිදුකර හඳුනාගෙන තිබෙන විවි රෝග වර්ග ගණන විසිදහසකට ආසන්නය. ඒ අතර පිළිකා, ජානමය, ඉතා දුර්ලභ, ඉතා සුලභ ආදී විවිධ රෝග වර්ග තිබේ. එමෙන්ම ලොව මිනිසුන් මුහුණදෙන රෝගයක් සොයා ගැනීම සේම ඊට ප්‍රතිකාර සොයා ගැනීමද මිනිස් වර්ගයාගේම යහපතට හේතුවක් වේ. මෙරට දස දහස් ගණන් මිනිසුන්ගේ  හදවත් සුවපත් කරනා විශේෂඥ වෛද්‍යවරයෙකුද එවන් යහපත් කාර්යයක් වෙනුවෙන් ලොවෙන් අභිමන් ලබමින් සිටින්නේය. ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ජ්‍යෙෂ්‍ඨ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාය.

මේ ඔහු සහ ඔහු සොයාගත්  රෝගය පිළිබඳව ලියැවෙන සටහනකි.
රෝග සොයා ගැනීමේ ලෝක වෛද්‍ය විද්‍යා  ඉතිහාසයේ මීට වසර 37කට පෙර එනම් 1987 වසරේදී අපේ රටේ  වෛද්‍යවරයෙකුගේ නමක් ලියැවිණි. පළමු වතාවට ලියැවුණු ඒ නම  ඒ මහාචාර්ය නිමල් සේනානායකයන්ගේ ය. ඒ ඔහු විසින් සොයාගන්නා ලද Intermediate Syndrome  නම් ස්නායු රෝගය නිසාවෙනි. දෙවැනි වරටත් ලෝකය මෙරට වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍යවරුන්ගේ දක්ෂතා ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසින්  සොයාගන්නා ලද SCADLE  (Spontaneous Coronary Artery Dissection with Leukoencepholopathy) නම් හෘද රෝගය හේතුවෙනි.
එම රෝගයට SCADLE යන නම තබා ඇත්තේද වෛද්‍යවරයා විසිනි.

  • අවිස්සාවේල්ලෙන් කොළඹට පැමිණි රෝගියා

‘‘මේ අසාමාන්‍ය හෘද රෝගී තත්ත්වය තිබුණු රෝගියා අපට හමුවෙන්නෙ මීට වසර තුනකට පමණ පෙර. ඇය අවිස්සාවේල්ල මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර එවූ වයස අවුරුදු  37 ක පමණ තරුණ කාන්තාවක්. ඇය පරීක්ෂා කිරීමේදී අපට වැටහුණා මෙම රෝගී තත්ත්වය වෙනස් බව. නමුත් අපි ඇයට කළ හැකි සියලු ප්‍රතිකාර කළා. අද  වනවිට ඇය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටිනවා. එම රෝගයේ වෙනස්බව නිසාම මම ඒ ගැන දිගින් දිගටම පර්ෙය්ෂණ කළා.’’

  • හැදෙන්නේ කොහොමද?

‘‘SCADLE රෝගය පරම්පරාවෙන් එන රෝගයක්. එනම් මෙයට ජානමය බලපෑමක් තිබෙනවා. මවුපියන්ගෙන් කෙනෙකුට හෝ තිබුණොත් නිසැකවම දරුවෙකුට මේ රෝගය  වැලඳෙන්න පුළුවන්. මෙය  හාර්ට් ඇටෑක් එකක් විදියට වගේම අංශභාගය විදියටත් එන්න පුළුවන්. ඉරුවාරදය හෙවත් මිග්‍රේන් විදියටත් එන්න අවස්ථාව තිබෙනවා. අපිට හමුවුණේ හාර්ට් ඇටෑක් එකක්  විදියට මෙම රෝගය හැදුණු කාන්තාවක් වුවත් ඇයත් සමග කතා කිරීමේදී පැහැදිලි වුණා ඊට පෙර අවස්ථා දෙකකදීම ඇයට අංශභාගය වැලඳී සුව වී තිබෙනබව. එමෙන්ම එම පවුලේ කිහිපදෙනෙකුටම මෙම තත්ත්වය බලපා තිබුණා. මෙම රෝගයේදී හැදෙන අංශභාගය දීර්ඝකාලීනව තියෙන්නේ නැහැ. සිරුරේ අංශයක් පණ නැති වී දවසෙන් දෙකෙන් සුවවෙන්නත් පුළුවන්.
මෙම තත්ත්වය ඇතිවන්නේ ජාන විකෘතියක් නිසයි. එම ජාන වීකාතිය නිසා ඔවුන්ගේ හෘද බිත්ති ඉතා දුර්වලයි.  මේ දුර්වල බිත්ති ඉක්මනින් පැළීමට ලක්වෙන්න පුළුවන්.’’
සිදුවෙන්නේ මොකක්ද?
‘‘සාමාන්‍යයෙන්  හාර්ට් ඇටෑක් එකක් ඇතිවන්නේ කොලෙස්ටරෝල්  ගැටිත්තක් සැදී එය විශාල වී පුපුරා යාමෙනුයි. එහෙත්
SCADLE  රෝගයේදී සිදුවන්නේ හෘදයේ කිරීටක ධමනිය පැළීමට ලක්වීමයි. හෘද බිත්තිය පැ‍ළෙනවා කීවත් නිවැරදියි. එය සිදුවන්නේ  රුධිර නාළය ඇතුළෙන්. එවිට එම පැල්ම හරහා රුධිරය රුධිර නාළයේ බිත්තියට ගමන් කරනවා.  අවසානයේ සිදුවන්නේ හෘදයට රුධිරය සැපයීම සම්පූර්ණයෙන් අඩාලවීමයි. එතැනදි හාර්ට් ඇටෑක් එකක් ඇතිවෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ ඉතාම කලාතුරකින්.
මෙවැනි  පැළීම් ඇති වී හාර්ට් ඇටෑක් සැදුණු රෝගීන් මීට පෙර හමු වී තිබුණත් ඊට හේතුව කුමක්දැයි ලෝකය සොයාගෙන තිබුණෙ නැහැ. අපි සොයාගත්තේ ඊට හේතුවයි.’’

  • රෝගය හොයාගන්නෙ කොහොමද?

‘‘ඊ.සී.ජි. පරීක්ෂණයෙන් මෙම තත්ත්වය සොයාගන්න බැහැ. ඒ සඳහා  එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කළ යුතුයි. සමහරවිට එතැනදිත් පැල්ම විශාලවෙන්න අවදානමක් තිබෙනවා.
ඒවගෙම MRI ස්කෑන් එකක් කළහොත් ඔවුන්ගේ මොළයේ  සමහර ඉතා කුඩා සෛල මියගොස් තිබෙනබව සොයාගන්න පුළුවන්.’’

  • අවදානම් අය කවුද?

අවුරුදු   35 – 45 අතර කාන්තාවන්ට මෙම රෝගය වැලඳීමේ වැඩි අවදානමක් තිබෙනවා. නමුත් පිරිමින්ට මෙය වැලඳීමටත් හැකියාව නැතිබව එයින් හැඟවෙන්නේ නැහැ.
කොහොමත් ආර්ථවහරණය ළංවෙද්දි කාන්තාවන්ට හාර්ට් ඇටෑක් වැලඳීමේ අවදානම වැඩිවෙනවා. එබැවින් එම කාලය තුළ වඩාත් අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

  • ප්‍රතිකාර තිබෙනවාද?

මෙම රෝගීන්ට නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ. ඒ වගේම ඇස්ප්‍රින් වැනි  ලේ දිය කරන ඖෂධ ලබාදීම ඉතා අවදානම්. මේ නිසා සති දෙකක පමණ කාලයක් රෝගියාට ඇඳ විවේකය ලබාදෙමින් රෝගියාගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂාකාරී වීම අවශ්‍යයි. බොහෝවිට රෝගියාගේ තත්ත්වය එවිට යහපත් වෙනවා. එයත් සාර්ථක නැතිනම් රෝගියා වේදනාවෙන් සිටිනවා නම්  ස්ටෙන්ට් දාන්න පුළුවන්. එහෙත් එය සිදු කරන්නේ රෝගියාගේ ජිවිතයට අවදානමක් පැමිණියොත් පමණයි.

  • පළමු රෝගියා ඉතා සුවෙන්

අපට හමු වූ පළමු රෝගියා  අද වනවිට ඉතා නිරෝගී  සහ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.  නමුත්  ඇය දීර්ඝකාලි‍ීනව ඖෂධ භාවිත කරනවා.
නම වෙනස් වේවිද?
SCADLE යන නම කාටත් භාවිතයට පහසු සහ රෝගය ගැන කියැවෙන නිසයි මම එලෙස නම් කළේ.  නමුත් ඉදිරියේදී එහි නම වෙනස් කරන්නත් අවස්ථාව මට තියෙනවා.

  • අලුත් රෝගය සොයාගන්න උදව් කළ පිරිස

කොළම වෛද්‍යපීඨයේ මහාචාර්ය වජිර දිසානායක, මගේ සිසුන් වන රසික අල්විස්, සජීවන් යන වෛද්‍යවරු වගේම බොහෝ පිරිසක් මට මේ කටයුත්ත සාර්ථක කරගන්න සහාය වුණා.

 

 

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Previous

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

සමලිංගික හැඟීම්  මානසික රෝගයක්ද? Read Next

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

Realted Post

Leave a comment