ආහාර හිඟ කාලයේ ගැබිනි මවගේ පෝෂණය

 

මේ අපේ රටේ දරුණු ලෙස ආර්ථික අපහසුතා පවතින කාලයකි. පසුගිය මාස කිහිපයේ සිට අපේ රටේ කුඩා දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එය උපන් දරුවාට මෙන්ම නූපන් දරුවාටත් ඉතා දරුණු ලෙස බලපෑ හැකියි. මෙහිදී උපදින දරුවා මෙන්ම මවුකිරෙන් පෝෂණය දීමට සැරසෙන මවට හානිකර ලෙස බලපායි. ඒ නිසාම මේ පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ මවගේ පෝෂණය රැකගන්නේ කොහොමද යන්න අප සොයා බැලිය යුතුමය. ඒ ගැන විමසා බැලීමකි මේ.


ගැබ්ගත් මුල් කාලයේ මවකට දැනෙන කුසගින්න සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩිය. ඒ නිසා මවට මේ කාලයේ නිතර කෑම අවශ්‍යතා ඇති වේ. එසේම පිපාසය දැනේ. එහෙයින් ගර්භිණී කාලයේ මවුවරුන්ට හැකි පමණ ප්‍රධාන ආහාරය සමබල ලෙස දිය යුතුය. ඒ අතරට මවට දැනෙන කුසගිනි අවස්ථාවට පෝෂණීය සුළු ආහාරයක් දිය හැකි නම් ඉතාම සුදුසුය. එහෙත් එවැනි ආහාර ගත හැක්කේ කාටද? එය අද ප්‍රධාන ගැටලුවකි. ගර්භිණී මවුවරුන්ගෙන් වැඩි කොටසක් කුසගින්නට ජලය බිඳක් බී තාවකාලිකව කුසගින්න නිවා ගන්නා අවස්ථා කොතෙකුත් වේ.


සාමාන්‍යයෙන් ගර්ණිණී මවකට සමබල ආහාරයක් ලෙස ගැනීමට කාබෝහයිඩ්‍රේට්, මේද, ප්‍රෝටින්, විටමින් හා ඛනිජ ලවණ අඩංගු ආහාරයක් ලැබිය යුතුය. එය කුස වැඩෙන දරුවාගේ නිරෝගී බවට ඉතාම වැදගත් වේ.

 


සමබල ආහාරයක් ගන්නේ කොහොමද?

ගර්භිණී වූ විට ගත හැකි මිල අධික විටමින්, පිටි වර්ග, විවිධ ආහාර ගැන අද කොතෙකුත් අසන්නට ලැබේ. ඒ සියල්ල තම හැකියාව අනුව ලබා ගැනීමට ද හැකියි.  උදාහරණ ලෙස සෑම ප්‍රධාන ආහාරයකටම පලා කොළ සහ නිවසේ හෝ වගා කරගත් අලුත් එළවළුවක් එක් කරගන්න. එළවළුවේ අලුත්බව මිස මිලේ ඉහළබව පෝෂණයෙන්ද  ඉහළ බවට ඉඟියක් නොවේ. ලීකස් ටිකක් එක් කිරීමට වඩා රාබු ටිකක් ආහාරයට ගත හැකියි. බොහෝ විට මෙහි ගුණ වැඩි විය හැකියි. 


ලොකු මාළු වෙනුවට ගර්භිණී මවට කුඩා මාළු එනම් හාල්මැස්සන්, සාලයා වැනි මාළු ගැනීම ඉතාම හිතකර වේ.


අපේ ප්‍රධාන ආහාරය බත්ය. අද බත් ටිකක්  ප්‍රධාන ආහාරයට එක් කිරීමත් බොහෝදෙනාට ගැටලුවකි. මේ වෙනුවට බත්, කොස්, දෙල්, මඤ්ඤොක්කා, බතල, ඉන්නල වැනි අල වර්ගයක් වැඩිපුර එකතු කර ගත හැකිය. එවැනි අල වර්ගයකින් ලැබෙන  ගුණය පොලිෂ් කළ සුදු හාල්, බතට වඩා ගුණදායක වේ.  ඊට හේතුව මෙම අලවල එම නිවුඩ්ඩ ඉවත් කළ හාල්වලට වඩා අන්තර්ගත සීනි ප්‍රමාණය අඩු වේ. ඒ නිසා ගැබ් ගත්තා කියා බාස්මතී හාල් බත් සොයා යාම අවශ්‍ය නැත. ඊට වඩා මවකට අවශ්‍ය පෝෂණය කොස්, දෙල්, මඤ්ඤොක්කා, අල, බතලවල තිබේ.



ගර්භිණී මවට මේද ඕනෑද?
ගර්භිණී කාලයේ මවගේ ආහාරයට මේදය ටිකක් වැඩිපුර එකතු විය යුතුය. මේ සඳහා බටර්, මාගරින් ගත හැකි පිරිස අඩුය. ඒ නිසා මවකට අවශ්‍ය මේදය ලබා ගැනීමට පොල් ගෙඩියක් හිඳ එම පිරිසුදු පොල්තෙල් මවට පමණක් හෝ ආහාරයට එකතු කරන්න. එවිට කඩෙන් පොල්තෙල් ගැනීමට අවශ්‍ය නොවේ. 

 


සුදුසු අමතර ආහාර මොනවාද? 
ගැබිනි මවටකට නිතර කුසගිනි දැනෙන විට බිස්කට් ෂෝටීඊට්ස් වැනි දෑ ගත යුතු නැත. ඒවායේ පෝෂණයට වඩා ශරීරයට අහිතකර දෑ වැඩිය. මෙවැනි අවස්ථාවක පිපිඤ්ඤා කැල්ලක්, කැරට් ගෙඩියක යුෂ වීදුරුවක් වැනි ආහාරයක් ගත හැකිය.


එසේම ඉතිරි වු බත් වියළා එයින් අග්ගලා සාදා කුසගිනි වෙලාවට ආහාරයට ගත හැකිය. මෙවැනි දෑ කුසගිනි නිවා ගැනීමට මෙන්ම පෝෂණය ලබා ගැනීමට ඉතාම සුදුසු ආහාර වේ. කිසිදු ගුණයක් නැති බිස්කට් ෂෝටීඊට්ස් වෙනුවට මෙසේ තම නිවෙසෙන්ම පෝෂණීය ආහාර සාදා ගත හැකිය.



යකඩ ඌනතාවක් ඇතිවේවිද? 
ගර්භිණී කාලයේ කාන්තාවට යකඩ වඩාත් අත්‍යවශ්‍යය. එසේ නොලැබුනොත් යකඩ ඌණතාව ඇති වේ. මේ නිසා සායනයෙන් යකඩ පෙති නොමිලේ ලැබෙයි. එම පෙතිවලට අමතරව කුඩා මාළු, හාල්මැස්සන්, කරවල වැනි දෑ කැමට ගන්න. මෙම ආහාර පිසගත් පසු දෙහි ඇඹුල් එක්කිරීමෙන් හොඳින් ආහාරයට යකඩ උරා ගනී. 

 


කොළ වර්ග වැඩිපුර ගන්න ඕනෑද?
සාමාන්‍යයෙන් ගර්භිණී කාලයේ නිසි පෝෂණය නොලැබීමෙන් දුර්වල වන්නේ මවයි. ඊට හේතුව ගැබ තුළ වැඩෙන දරුවා තමන්ට අවශ්‍ය පෝෂණය මවගෙන් ලබාගන්නා නිසාය. එනිසා මවට නිසි පෝෂණය නොලැබුණොත් බරපතළ දුර්වලතා ඇතිවිය හැකිය. උදාහරණ ලෙස අස්ථි දුබලතා ඇති වේ. ඒ කැල්සියම් නිසි ලෙස නොලැබීමෙනි. මේ නිසා රෝහල් සායනයෙන් නොමිලේ ලබා දෙන යකඩ, කැල්සියම් පෙති මව දිනපතා ගත යුතුමය. ඊට අමතරව හාල්මැස්සන්, කරවල, කිරි වැනි දෑ තිබෙන ලෙසට ගත යුතුය.

 


ප්‍රෝටීන් ඕනෑ ඇයි? 
ගර්භිණී කාලයේ මවට ප්‍රෝටීන් අවශ්‍යතාවද වැඩිය. ප්‍රෝටීන් මස් මාළුවලට අමතරව ශාකවලින්ද ලබාගත හැකිය. ශාක ප්‍රෝටීන් මිලෙන් අඩුය. ඒ නිසා ගර්භිණී කාලයේ උදය ආහාරයට, අමතරවේලට, කවුපි, කඩල, මුං සෝයා වැනි ශාකමය ආහාර වැඩිපුර ගත යුතුය. මස්, මාළු අඩුවෙන් ආහාරයට ගත්තත් මෙවැනි ආහාර දිනපතා ගන්නේ නම් නිසි ප්‍රෝටීන් අවශ්‍යතාව සපිරෙයි. 

 


ජලය පානය කරන්න
ගර්භිණීබව දැනගත් කාලයේ පටන් මව වැඩිපුර ජලය ගත යුතුය. මවට වමනය, ඔක්කාරය මුල් කාලයේ තිබුණත් ඒ අතරට පිරිසුදු ජලය පානය කරන්න.


එහෙත් ගර්භිණී මුල් කාලයේ මවට කොතෙක් වමනය ගියත් ඔක්කාරය ඇති වුවත් ජලය අවශ්‍යය. ඒ නිසා අධික ලෙස වමනය යනවා නම්, ජලය පානය කළ විගස වමනය යනවා නම්, ජලය පානය කිරීමට අප්‍රිය නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. එහිදී මවට සේලයින් මාර්ගයෙන් ජලය ලබා දෙයි. එසේ නොලැබුණොත් මවට ගැටලු ඇති විය හැකිය.

 


නාන්න ඕනෑද? 
ගර්භිණී කාලයේ මවගේ පිරිසුදු බව අත්‍යවශ්‍යය. ගර්භිණී මුල් කාලයේ බොහෝ මවුවරු ඉතා අලස ලෙස සිටිති. එහෙත් ක්‍රියාශීලී විය යුතුය. දත් මැද මුහුණ සෝදා පිරිසුදුවීම ඉතාම වැදගත් වේ. දිනපතා නෑමත් ඉතාම වැදගත් වේ.

 


ශිරානි ගල්ලෑල්ල


 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment