ඉන්හේලර් පාවිච්චියෙන් දත් දිරනවද?

 

ඇදුම අපි නිතර කතා කරන රෝගයක්. ඇදුම පරම්පරාවෙන් මෙන්ම විවිධ හේතු නිසා ඇති විය හැකියි. ඇදුම රෝගය හා එය ගර්භිණී මවට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මීට පෙර කතා කළා ඔබට මතක ඇති. මේ පසදා දෙන්නේ ඇදුම රෝගයට දිගු කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අතුරු ආබාධ ඇතිවෙනවාද? ඉන්හේලර් පාවිච්චියෙන් දත් දිරනවාද? වැනි බොහෝ දෙනාට ඖෂධ හා ඉන්හේලර් පාවිච්චියේදී ඇතිවෙන ගැටලු පිළිබඳවයි.


ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීමේදී එනම් දිගටම නිවාරක ඖෂධ ආඝ්‍රාණය කිරීමෙන් රෝගය අඩුවෙන්නේ යැයි බොහෝ දෙනා කියති. එසේ සිතා ඖෂධ සිතූමතේ නතර කරති. එයින් නැවත රෝගය පැන නගී. ඒනිසා රෝගයට ප්‍රතිකාර කිරීමෙන් රෝගය අඩුවන බව හඳුනා ගන්නේ කෙසේද යන්න දැන ගැනීම ඉතාම වැදගත්ය.


එසේ සති 3-4 ක් එක දිගට වෛද්‍ය උපදෙස් මත ඖෂධය ආඝ්‍රාණය කිරීමෙන් ඔබට සුවයක් දැනේ. එසේම හතිය ඇති වීම අඩු වේ. පපුවේ තද ගතිය අඩුවේ. කැස්ස අඩුවී යයි. මෙසේ සහනයක් ලැබුවත් වෛද්‍ය උපදෙස් මත සමනක හා නිවාරණ ඖෂධ දිගටම ගත යුතුයි. ඇතැම් විිට දිගටම ගන්නා එම ඖෂධ මාත්‍රාව වෛද්‍යවරයා විසින් අඩු කරනු ඇති. එහෙත් ඖෂධ ගැනීම නතර කළ නොහැකියි. එය රෝගියා හිතූමතේ නතර කිරීම නොකළ යුතුයි.  වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැනිම මගින් ඇතැම් විට කලක් ගත වූ පසු එයින් සහනයක් ලැබෙනු ඇත. එසේ වන්නේ වෛද්‍යවරයා විසින් එම ඖෂධ මාත්‍රා ක්‍රමයෙන් අඩු කිරිමෙන්. ඒ හැර කලක් ගතවන තෙක් ඖෂධ නතර කළ නොහැකියි.

 


දිගටම ප්‍රතිකාර ගැනීමෙන් අතුරු ආබාධ එනවාද?
ඇදුම රෝගයට දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමෙන් කිසිම විටෙක අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. එම ඖෂධ අද ලබා දෙන්නේ රෝගියාගේ පෙණහලුවලටමය. එම ඖෂධ රුධිරයට එකතු වන්නේ නැති තරම්ය. ඒනිසා විවිධ අයගේ බස් අසා වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ නතර කිරීම නොකළ යුතුයි. එසේ වුවහොත් නැවත ක්‍රමයෙන් රෝගය වැඩිවෙනු ඇත.


මෙම රෝගයට නියම කරන නිවාරක හා ආරක්ෂක ඖෂධ සති කිපයක් හෝ වසර ගණනාවක් ගත්තත් එහි ක්‍රියාකාරිත්වයට හෝ ශරීරයට ඉන් අතුරුඵල ඇති නොවේ. එසේම රෝගය හොඳින් පාලනය වූ පසු වෛද්‍යවරයා ඖෂධ නතර කිරීම නොව මාත්‍රාව අඩු කිරීම පමණක් සිදු කරයි.


ඉන්හේලර් පාවිච්චි කරන බොහෝ දෙනා තුළ තිබෙන වැරදි විශ්වාසයකි මේ. මෙය සම්පූර්ණ අසත්‍යයකි. එහෙත් ඖෂධය ඉරීමෙන් පසු රෝගියා හොඳින් කට සෝදා හැරිය යුතුයි. එසේ මුඛය පිරිසුදු කර නොගතහොත් දිලීර ආසාදන ඇති වීමට ඉඩ තිබේ. ඒනිසා ඉන්හේලර් පාවිච්චි කර මුඛය සෝදා නොගතහොත් දිගින් දිගට ඉන්හේලර් භාවිතය නිසාත් කෙටි කලකින්ම රෝගියාගේ දත් දිරායාම පටන් ගනී.

 


ඇදුම නිට්ටාවට සුව වෙනවාද?

උපදෙස් :- 
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ 
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
දර්ශන් ද සිල්වා 

 


ඇදුම රෝගයට ගොදුරු වුවහොත් රෝගය නිට්ටාවටම සුව කළ නොහැකියි. කළ හැක්කේ ඖෂධ මගින් රෝගය නිසි ලෙස පාලනය කිරිමයි.


රෝගය නිසි ලෙස පාලනය කළ කෙනෙකුට නැවත වසර ගණනාවකින් රෝගය මතු විය හැකියි. සාමාන්‍යයෙක් ළමා ඇදුම සෑදුණු දරුවන්ගෙන් තුනෙන් එක් අයෙකු තරුණ වියට එළැඹීමත් සමගම රෝගය සම්පූර්ණයෙන් සුවවිය හැකියි. 


තවත් තුනෙන් එකකට නැවත නැවත ඇති විය හැකියි. තවත් කොටසකට මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ගෙන පාලනය කළ යුතු තත්ත්වයක් පැන නැගිය හැකියි. නිසි ලෙස ඖෂධ ගෙන රෝගය පාලනය කළහොත් නිරෝගී දිවියක් ගත කළ හැකියි.

 


ඇදුම අඩු නොවෙන්නේ නම්
ඇදුම රෝගයට කෙතරම් ප්‍රතිකාර කලත් එය අඩු නොවන පිරිස් සිටිති. එය දිගින් දිගට වැඩිවෙන අයද සිටිති. එසේ වැඩි වන්නේ නම් රෝගය වඩාත් වැඩිවනතෙක් බලා සිටීම සුදුසු නැත. එවැනි රෝගියෙකු නිවසේ තබාගෙන අත් බෙහෙත් කිරීම ඉතාම හානිකරය. එසේ කළොත් හතිය උත්සන්න වේ.

 


ඇදුම උත්සන්න වුණොත් 
රෝගියාගේ ඇදුම උත්සන්න වනතෙක් බලා සිටීම ඉතාම හානිකරය. ඒනිසා රෝගියා තම රෝගය ගැන මුලදී දින සටහනක් ලියා තබා ගැනීම ඉතාම වැදගත්ය. එහිදී තමන් ගන්නා බෙහෙත් , ගන්නා ආහාරපාන, සටහන් කර තබා ගන්න. එවිට හානිකර වන ආහාරය හඳුනා ගැනීම පහසුය. එවැනි රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත යන විට රෝගියා පිළිබඳ සහ රෝගය පිළිබඳ වැටහීමක් තිබෙන කෙනෙකු සමග යා යුතුයි.

 


ඇදුම වැඩි වුණාම මේ ලක්ෂණ පහළ වේ
ඇදුම වැඩි වූ විට රෝගියාට කතා කර ගැනීමට අපහසු වේ. හුස්ම ගැනීමත් අපහසු වේ. රෝගය උත්සන්න වුවහොත් රෝගියාට වාක්‍යයක් එකදිගට කතා කර ගැනීමට නොහැකි වේ.  ඉහත තත්ත්වයේ පසුවෙන රෝගියෙකුගේ රෝගය පාලනය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දුම ඇල්ලිය යුතුයි. එම දුම නිවසේ අල්ලන දුම නොවේ. රෝහලකදී අල්ලන දුමයි. මේවා රජයේ රෝහල්වල මෙන්ම බොහෝ පෞද්ගලික රෝහල්වලද කරනු ලැබේ.

 


ඇදුමට බෙහෙත් බොන්න වෙනවාද?
ඇදුම තිබෙන රෝගියාට සැල්බිටමෝල් හා සැල්බිටෝල් වැනි ඖෂධ ඉන්හේලරය මගින් ඉරීම සඳහා නියම කරයි. ඇදුම අඩු නොවන්නේ නම් දිගුකාලීනව ඇති වන පපුවේ හතිය අඩු කරලීමට ස්ටිරොයිඩ් ඖෂධය නියම කරයි. ඖෂධ පානය කරන විට හතිය අඩුවේ. එහෙත් වෛද්‍යඋපදෙස් නොමැතිව නොගත යුතුයි.

 

ශිරානි ගල්ලෑල්ල


 

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment