ගත සිත වට්ටන කොන්දේ ඇද කුද

බාල  මහලු සෑම දෙනාගේම ශරීරයේ තිබෙන ප්‍රධානතම විශේෂිත අංගයක් වන්නේ කොඳු ඇට පෙළයි. මේ කාල වකවානුව අස්ථි  සෞඛ්‍ය  (Bone Health පිළිබඳව කතා කිරීමට අවශ්‍ය කාලයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ම කුඩා දරුවන්ට වැඩි වශයෙන්ම පවතින  තත්ත්වයක් වන ස්කෝලියෝසිස් තත්වය පිළිබඳව ඔබ දැනුම්වත් වී සිටිය යුතුය.

  • ස්කෝලියෝසිස් තත්වය කියන්නේ  කුමක්ද                                             
ස්කෝලියෝසිස් යනුවෙන් හැඳින්වෙන්නේ   S  අකුරේ හැඩයට කොඳු ඇට පෙළ විරූපණයට තුඩු දෙන තත්ත්වයකි. මෙම විරූපණයෙහි තීව්‍රතාවය වයසින් වැඩිවත්ම සහ ළමයාගේ වර්ධනයත් සමග වැඩි විය හැක. මේ අතරින් ඉතා වැඩි මට්ටමේ වක්‍රයක් සහිත විරූපණයක් නිසා උරස්කුහරය හැකිළීම මෙන්ම හදවත සහ පෙණහළු වල කාර්යය අඩපණ වීම සිදුවිය හැක. මෙම තත්ත්වය බොහෝ විට ශරීරයේ දුබලතාවක් පමණක් නොවන අතර මානසිකවද සැලකිය යුතු බලපෑම් ඇති කරනු ලබයි.  මෙම තත්ත්වය සහිත ළමුන්ගෙන් ඇතමෙක් තුළ සෙසු ලෝකය සමග සමාජයේ සබඳතා අඩුකර ගැනීම සහ අධ්‍යාපන කටයුතුවලට ඇලීම හීන වී යාමද දැකිය හැකිවේ.
  • ස්කෝලියෝසිස් තත්ත්වයෙහි වර්ග      
සංජානනීය ප්‍රභේදය 
(උපතින්ම පිහිටයි)                
මෙය උපතේදීම කොඳු ඇට පෙළෙහි ඇති අඩුපාඩුමය තත්ත්වයක් නිසා ඇතිවේ. මෙම තත්ත්වය සහිත ළමුන්ගේ කොඳු ඇට පෙළෙහි අස්ථි නිවැරදිව වර්ධනය වී නොමැත. ඇතැම් අවස්ථාවල උපතේදීම කොඳු ඇට  කිහිපයක් එකට බද්ධ වී පවතින අතර ඇතැම් අවස්ථාවල උපතේ දී කොඳු ඇට සම්පූර්ණයෙන්ම සෑදී නොතිබීම දක්නට ලැබේ.
ස්නායුමය ප්‍රභේදය
ඇතැම් අවස්ථාවල මොළයේ හෝ සුෂුම්නාවේ ස්නායු පිළිබඳව රෝග තත්ත්වයක් නිසා මෙම ස්කෝලියෝසිස් තත්ත්වය ඇතිවේ.
සහලක්ෂණ නිසා ඇතිවන ප්‍රභේදය (SyndromiC)
යම්කිසි මූලික රෝග ලක්ෂණ කිහිපයක් හෝ දුබලතාවයන් කිහිපයකම එකතුවක් ලෙස ඇතිවන සහලක්ෂණ රෝග තත්ත්වයකින් මෙම ස්කෝලියෝසිස් තත්ත්වය ඇතිවේ.
උදා : Down Syndrome
Marfa Syndrome
  • හේතු නොදන්නා නව යොවුන් ප්‍රභේදය 
(Idiopathic Adolescent Scoliosis) 
මේ වඩාත්ම සුලභ ප්‍රභේදයකි ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වන අවධියේ සිටින නව යොවුන් දරුවන් අතර දක්නට ලැබේ. මෙම තත්ත්වය ඇතිවීමට හේතුවක්. නිශ්චිතවම තවමත් සොයාගෙන නැත. ගැහැනු ළමුන්ට  මෙම තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබේ.  (ගැහැණු : පිරිමි : 10:1)
මෙයට අමතරව මෙම තත්ත්වය පිහිටන ගැහැනු ළමයින්ගෙන්  30% කට වඩා දරුණු ගණයේ වක්‍රතාවක් සහිත ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
  • ස්කෝලියෝසිස්  සඳහා ඇති ප්‍රතිකාර
ප්‍රතිකාර තීරණය කරනු ලබන්නේ මෙම තත්ත්වය ඇති ළමයාගේ වයස සහ කොඳු ඇට පෙළෙහි විරූපණ වක්‍රතාවයෙහි අඩු හෝ වැඩිකම මතය.  බොහෝ අවස්ථාවලදී මෙම රෝග තත්ත්වය සහිත දරුවන්ගෙන් බොහොමයකට ශල්‍යකර්මයක් නොමැතිව වාත්තු  (Cast) සහ සෘජු කාරක පටි (Brace)භාවිතයෙන් ප්‍රතිකාර කළ හැක. මේවා මගින් වක්‍රතාවය තවදුරටත් වැඩිවීම පාලනය කරනු ලබයි. බොහෝ විට සාපේක්ෂව අඩු වක්‍රතාවයක් සහිත ස්කෝලියෝසිස්  තත්ත්වයන් දරුවාගේ වර්ධනය අවසන් වීමත් සමග තවදුරටත් ඉදිරියට වක්‍රවීම නවතී. සාපේක්ෂව වැඩි විරූපණ වක්‍රතා සඳහා ශල්‍යකර්ම අවශ්‍ය වේ. :විරූපණ වක්‍රතාව අංශක පනහට වැඩි* තවමත් වර්ධනය වෙමින් පවතින වයසෙහි සිටින දරුවන් සඳහා කොඳු වැට පෙළෙහි වර්ධනය සමඟින් දික් කළ හැකි වර්ධක දඬු (Growth Rods) භාවිතා කරනු ලැබේ. ශල්‍යකර්මයක් භාවිතයෙන් කොඳුඇට පෙළෙහි සවි කරනු ලබන මේවා සෑම මාස හයකටම වරක් කුඩා සැත්කමක් හෝ කාන්දම් භාවිතයෙන්ම දික් කරනු ලබන අතර, එමගින් දරුවාට අවශ්‍ය උස ප්‍රමාණය ලබාගත හැක. වර්ධනය අවසන් කළ දරුවන් සඳහා ස්ථිර සෘජු කාරක ශල්‍යකර්ම සිදුකරනු ලබයි.
  • ස්කෝලියෝසිස් පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය ඇයි                            
මූලික අවධියේදී හඳුනා ගැනීම සහ කාලානුරූප ප්‍රතිකාර මගින් මෙම තත්ත්වයෙන් දරුණු මට්ටමට යා නොදී පාලනය කරගත හැක.
එමගින් ශල්‍යකර්ම අවශ්‍ය වන රෝගීන්ගේ ගණනද අවම කරගත හැකිවනු ඇත. ශල්‍යකර්ම වලදී අවදානම් සැලකිල්ලට ගනිමින් ශල්‍යකර්ම සඳහා නිර්දේශ කරනු ලබන්නේ අංශක පනහට වඩා වැඩි වක්‍රතාවයක් සහිත රෝගීන් පමණි.ස්ථිර සෘජුකාරක ශල්‍යකර්ම මිල අධික වේ. :රුපියල් මිලියන එකයි දශම පහක් පමණ කොඳු ඇට පෙළට යොදන උපකරණ සඳහා වැය වන අතර ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික රෝහලක මෙම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන හතරක් පමණ වැය විය හැක.
ලෝකයේ අනෙක් රටවල් සමග සැසඳීමේදී සියයට දහයක් (10%) ස්කෝලියෝසිස් රෝගීන් ශල්‍යකර්ම සඳහා නිර්දේශ කරන නමුත් ලංකාවේ රෝගීන් අප වෙත යොමු වන්නේ අවසාන අවස්ථාවන්වලදී නිසා වඩා වැඩි ප්‍රතිශතයක් ශල්‍යකර්ම සඳහා යොමු කළ යුතුවේ.
සංවර්ධිත රටක සමාන ප්‍රමිතියක් සහිතවම මෙම ශල්‍යකර්ම ලංකාව තුළදී සාර්ථකව  සිදුකරගත හැක.
ඉතා සංකීර්ණ ශල්‍යකර්ම සිදු කිරීමට පවා අවශ්‍ය තාක්ෂණය හැකියාවලත් ප්‍රවීණ ශල්‍ය වෛද්‍යවරුන් සහ පහසුකම් ශ්‍රී ලංකාව තුළදීම ලබාගත හැක.
තත්ත්වය එසේ වුවත් මෙම රෝගය සහිත දරුවන් ඇතුළු පවුල්  පත්වන අසරණ භාවය සහ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රතිකාර ලංකාවේ ඇති බව නොදන්නාකම දඩමීමා කරගත් ඇතැම් කණ්ඩායම්ල  මෙම තත්ත්වය සහිත රෝගීන් ශල්‍යකර්ම සඳහා වෙනත් රටවල් වලට යවන තැරැව්කාර සේවා සපයන බව දැනගන්නට ලැබී ඇත.කොළඹ ජාතික රෝහල ලරිජ්වේ ආර්යා ළමා රෝහල යාපනය ශික්ෂණ රෝහල සහ බදුල්ල පළාත් මහා රෝහල ස්කෝලියෝසිස් තත්වය සඳහා ශල්‍යකර්ම සිදු කරනු ලැබේ.මේ රෝගය සහිත දරුවන්ගේ දෙමාපියන් කළ යුතු දේ
  • ඔබේ දරුවාට පහත ලක්ෂණ   තිබෙනවාද බලන්න                                        
කොන්දේ පිටුපස ඉල ඇට එසවී පෙනීම (Rib Prominence)
උරහිස් පිහිටුමේ අසමබරතාව
දරුවාගේ කඳ පැත්තකට ඇදී පෙනීම
දරුවාගේ උකුල ඇදවී පෙනීම
කුදු බව
ඉහත සඳහන් ඒවායින් එකක් හෝ කිහිපයක් ඔබේ දරුවාට  තිබේනම් ළඟම ඇති විකලාංග සායනයට ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ශ්‍රී ලංකා විකලාංග ශල්‍ය ෛද්‍යවරුන්ගේ සංගමය (SLOFT) සහ ශ්‍රී ලංකා කොදු ඇට පෙළ සම්බන්ද සංගමය (SLSS) විසින් දැනුම්වත් කීරීමක් 

 
 
 

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Previous

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

ඔබේ  Nude photo එකක් share  වුණොත් මොකද කරන්නේ Read Next

ඔබේ Nude photo එකක් share වුණොත් මොකද කරන්නේ

Realted Post

Leave a comment