ගැබිනි සමයේ අධි රුධිර පීඩනය රතු එළියක් ද?
ගර්භිණී කාන්තාවගේ අධි රුධිර පීඩනය ඉතාම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අධි රුධිර පීඩනය සෑදුනහොත් ඉතාම සැලකිලිමත් විය යුතුය. ඒ මෙම තත්ත්වය හෘදය හා සම්බන්ධ වන නිසාය.
කාන්තාවක් ගැබ් ගත් විට මුල් අවදියේදී ඇයගේ රුධිර පීඩනය මඳක් අඩු වේ. ඉන්පසු සාමාන්‍යයෙන් තිබෙන ප්‍රමාණයට වඩා 5% ක් පමණ දළ වශයෙන් වැඩි වේ. එය බොහෝ විට දිගටම පවතී. එය සාමාන්‍ය ය. බිය විය යුතු නැත.
එහෙත් ගර්භිණී මවුවරුන්ට ගැබට සති 20 ක් පමණ වූ පසු රුධිර පීඩනය වැඩි වෙන අවස්ථා තිබේ. එය ගැබ් ගැනීම නිසා සිදුවන්නකි. එසේ වැඩි වන්නේ නම් ඒ ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය.
සති 20 ට පෙර වැඩි වෙන්න පුළුවන්ද?
ඇතැම් විට ගැබට සති 20 ට පෙර, එනම් මුල් අවදියේ සති 8-10 කාලයේ රුධිර පීඩනය වැඩි වෙන අවස්ථා තිබේ. එසේ වැඩි වී තිබෙන්නේ නම් ඒ ගර්භිණී බව නිසාම නොවේ. බොහෝ විට එය ගැබ් ගැනීමට පෙර සිට තිබූ තත්ත්වයක් විය හැකිය.
සාමාන්‍යයෙන් ගැබ් ගැනීමට පෙර කාන්තාවන් තරුණ වියේදී රුධිර පීඩනය වැනි දෑ පරීක්ෂා කරන්නේ නැත. ගැබ් ගත් පසු එය පරීක්ෂා කරයි. ඒ නිසා මුල් කාලයේ එසේ වන්නේ නම් ඒ ගැබ් ගැනීමට පෙර තිබූ තත්ත්වයක් විය යුතුය.
තරුණ කාලෙත් රුධිර පීඩනය වැඩි වෙනවද?
ගැබ්ගත්බව දැනගත් මුල් අවදියේ පටන් කාන්තාව සායනයට යා යුතුය. එවිට රුධිර පීඩනය වැනි දෑ මැන බලයි. එම අවස්ථාවේ රුධිර පීඩනය වැඩිබව දක්නට ලැබෙන මවුවරු නිතර සිටිති. ඒ අයට විශේෂ අවධානය යොමු කරයි.
ඒ අය කවුද?
* ගැබ් ගැනීමට පෙර අධි රුධිර පීඩනයෙන් පෙළුණු කාන්තාවන්
* වකුගඩු ආශ්රිත රෝග තිබේ නම්,
* නිවුන් දරුවන් ගැබ් ගත් කාන්තාවන්
* දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්
* වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන්
ඉහත සඳහන් ගැටලු සහිත කාන්තාවට ගැබ් ගත් පසු අධි රුධිර පීඩනය ඇති විය හැකිය.
ඒ නිසා එවැනි කාන්තාවන්ට වෛද්‍යවරයා ඇස්ප්‍රීන් නියම කරයි. එසේම ඇය ගැන විශේෂ අවධානය යොමු කරයි. ඇයගේ පරීක්ෂණ කාඩ්පතේ ‘්‍යසටය ඍසින’ යනුවෙන් සටහන් තබයි.
අන් සාමාන්‍ය ගර්භිණී මවුවරුන්ට වඩා මෙවැනි මවුවරුන්ගේ නිරතුරුවම රුධිර පීඩනය පරීක්ෂා කරයි.
අධි රුධිර පීඩනය හැදෙන්නේ ඇයි?
ගර්භිණී කාලයේ අධි රුධිර පීඩනය ඇති වන්නේ මවගේ වැදෑමහේ නිසි වර්ධනය වීමේ ගැටලු සහගතබව නිසාය. එනම් නිසි ලෙස වැදෑමහ වර්ධනය නොවීම නිසාය. බොහෝ ගර්භිණී මවුවරුන්ට සති 20 දී රුධිර පීඩනය වැඩි වීමට පටන් ගන්නේ මේ නිසාය.
ඖෂධ ගන්න ඕනෑ
රුධිර පීඩනය වැඩි කාන්තාවට දිනපතා ඖෂධ ලබා දිය යුතු වේ. එසේ නොදුන්නොත් මව සහ දරුවා යන දෙදෙනාටම එය අහිතකර ලෙස බලපෑ හැකිය. සාමාන්‍යයෙන් ඇස්ප්‍රීන් ගත් විටත් රුධිර පීඩනය වැඩිවෙන අවස්ථා තිබේ. ඒ අයගේ රුධිර පීඩනය පාලනයට ඖෂධ දිය යුතුය.
විශේෂ ආහාර ඕනෑද?
රුධිර පීඩනය වැඩි අය ලුණු අධික ආහාර සීමා කළ යුතුය. උදාහරණ ලෙස කරවල, ජාඩි, වියළි ඉස්සන් වැනි දෑය. එසේම රුධිර පීඩනය වැඩි නම් වඩාත් කුස පිරෙන ලෙස ආහාර නොගත යුතුය. ඒ හැර අනෙක් ඕනෑම ආහාර පානයක් ගැනීමට පුළුවනි.
මෙම ගැටලුව ඇතිවන්නේ දරුවා රකින මවගේ ගර්භාශයේ වැඩෙන වැදෑමහ නිසාය. ඒ නිසා ඊට ආහාරවලින් ගැටලු ඇති නොවේ.
ප්‍රසූතියට පෙර රුධිර පීඩනය පාලනය කරන්න ඕනෑ
උපදෙස් - නැගෙනහිර කොළඹ මූලික රෝහලේ |
අධි රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවකගේ දරු ප්‍රසූතිය රුධිර පීඩනය මත තීරණය වෙයි. එනම් අධි රුධිර පීඩනය පාලනය මතය. නිසි ප්‍රසූති අවදිය වන විට රුධිර පීඩනය පාලනය කර තිබිය යුතුයි. එසේ පාලනය නොවන්නේ නම් හෝ එය දගටම වැඩි වන්නේ නම් නිසි කාලය නොබලා දරුවා ප්‍රසූත කිරීම සිදු වේ. සාමාන්‍යයෙන් මෙවැනි මවකට සති 37 - 38 වන විට දරුවා මෝරා ඇති නිසා ප්‍රසූතිය සිදු කළත් ඉහත ගැටලු සහගත නම් සති 32 වැනි කාලයේ හෝ ඊට පෙර වුවද ප්‍රසූතිය සිදු කරන අවස්ථා තිබේ.
ඒ මෙම තත්ත්වය ඇති වන්නේ වැදෑමහ නිසා හෙයින් අධි රුධිර පීඩනය පාලනය කිරීමට වැදෑමහ ඉවත් කළ යුතු නිසාය. ඒ නිසා අඩු වයසෙන් දරුවා බිහි කරයි. මෙසේ කරන්නේ මවගේ ජීවිතය බේරා ගැනීම සදහාය.
සිසේරියන් සැත්කම කරනවාද?
අධි රුධිර පීඩනය තිබුණා කියා සිසේරියන් සැත්කම කළ යුතුම නැත. ඉහත ගැටලු තිබේ නම් ගැබ් ගෙල මෝරා ඇත්දැයි බලා ඒ අය ස්වාභාවික හෝ සිසේරියන් සැත්කමින් දරුවා බිහි කරයි.
දරුවා ගැනීමට පෙර පහත සඳහන් දැ ගැන සැළකිලිමත් වේ.
* කීවෙනි දරුවාද?
* මීට පෙර සිසේරියන් සැත්කම කර තිබේද?
එවැනි සිසේරියන් සැත්කමින් මීට පෙර ප්‍රසූතිය සිදු කර තිබේ නම් එසේ දරුවා බිහි කරයි. ස්වාභාවික ප්‍රසූතිය සිදු කළ මවුවරුන්ට එසේ ගැනීමට උත්සාහ කරයි. එය අඩු වයසෙන් දරුවා බිහි කරන විටද සලකා බලනු ඇත.
දරුවා දුර්වල වෙනවාද?
අධි රුධිර පීඩනයෙන් පෙළෙන මවුවරුන්ගේ දරුවන් දුර්වල විය හැකියි. ඒ අධි රුධිර පීඩනය සෑදෙන්නේ වැදැමහ ප්‍රශ්න නිසා බැවිනි. මවගේ වැදෑමහ පෙකෙනිවැලට සම්බන්ධය. මවගේ ඒ පෙකෙනි වැල දරුවාගේ පෙකෙනියට සම්බන්ධ වේ. වැදෑමහේ ප්‍රශ්න දරුවාට බලපායි නම් එය වර්ධනයට ඉතාම අහිතකර ලෙස බලපැ හැකියි.
අධි රුධිර පීඩනයෙන් පෙළෙන මවුවරුන්ගේ කුසෙහි වැඩෙන දරුවන් කුඩා වේ. ඒ දරුවාට ඔක්සිජන් මදි විය හැකි නිසාය.
දිගටම තියෙනවද?
ගර්භිණී කාලයේ අධි රුධිර පීඩනයට ගොදුරු වූ මවුවරුන්ට දිගටම එය එසේ තිබිය හැකිය. එහෙත් බොහෝ විට දරු ප්‍රසූතියෙන් පසු එය පහව යයි. එහෙත් ඒ අයට වැඩිහිටිවියේදී අධි රුධිර පීඩනය ඇති විය හැකිය.
එසේම ගර්භිණී අවදියේදි රුධිර පීඩනය වැඩි මවුවරුන්ට නැවත ගැබ් ගැනීම්වලදීත් රුධිර පීඩනය වැඩි විය හැකිය.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment