ගැබිනි සමයේ අවදානම් පැල්ලම රුධිර වහනය
ගර්භිණී කාලයේ රුධිර වහනය මවක් ඉතාම බියට පත්වෙන කරුණක්. ඒ තමාගේ කුස වැඩෙන කලලය ඉවත් වීමට සැරසෙනවා දැයි ඇතිවෙන සැකය නිසයි. එහෙත් ගර්භිණී දස මස තුළ රුධිර වහනය විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්.
ගැබ්ගත් පළමු තෙමස තුළ රුධිර වහනය නම් ඉතාම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. බොහෝ විට එය ගබ්සාවක පෙර ලකුණක්. එහෙත් සති 28 න් පසු ගර්භිණී අවසාන කාලයේ පහවෙන රුධිර වහනය ඊට වඩා වෙනස්. ඒ නිසාම ගර්භිණී කාලයේ රුධිර වහනය ගැන පහදා දීමට අප සිතුවා.
ගර්භිණී කාලය ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කර සඳහන් කළ හැකියි. එනම්,
I සති 28 ට පෙර අවධිය
II සති 28 ට පසු අවධිය
III දරු ප‍්‍රසූතියෙන් පසු අවධිය ලෙසටය.
සති 28 ට පෙර අවදියේ රුධිර වහනය ඉතාම සැලකිිලිමත් විය යුතු අවදියයි. ඒ ගැබ්ගත් මුල් සති 12ට පෙර රුධිරය වහනය බොහෝ විට ගබ්සාවක ලකුණක් විය හැකිය. එය දිගටම පවතින්නේ නම් ඒ ගබ්සාවක්.
සති 12 ට පෙර රුධිරවහනයට හේතු
සාමාන්‍යයෙන් දරු පිළිසිඳ ගැනීමකින් පසු දරුවා වැඩෙන්නේ වෝටර් බෑගයේ යි. එහෙත් සමහර ගැබ් ගැනීම් වලදී දරුවෙක් නෑ. තිබෙන්නේ වතුර බෑගය පමණයි. මෙසේ වන්නේ, ්‍යජට යන හෝමෝනය ශ‍්‍රාවය වෙන්නේ දරුවාගෙන් නොවෙයි. එය ගර්භ බිත්තියෙන් ශ‍්‍රාවය වන්නක්. එනිසා මාසික රුධිර වහනය නැවතී ගැබ් ගැනීමක් යැයි සිතා පරීක්ෂා කළ විට Hcg Positive ලෙස සඳහන් වෙනවා. එවිට කාන්තාව සිතන්නේ ගැබ් ගැනීමක් කියායි. එහෙත් දරු පිළිබඳ ගැනීමක් නැහැ.
සාමාන්‍යයෙන් ගැබ් ගත් පසු මාස තුනක් පමණ යනවිට කලලය වැඩෙන්නේ වෝටර් බෑගයේ යි. වෝටර් බෑගය කලලය ආරක්ෂා කරන වතුර බෑගයක්. හරියට ජල ටැංකියක් වගේ කලලය එහි පීනමින් වැඩෙයි. මෙය ස්වභාව ධර්මයෙන් ලද දායදයක්. ඒ ගර්භිණී මවකගේ උදරයට සාමාන්‍ය පහරක් වැදුනට ඇතුළෙ වැඩෙන දරු පැටියට හානිවෙන්න නෑ. එසේ හානි වන්නේ තදබල පහරකින්. එනිසා බාහිරව ගැබට වන හානි බොහෝ විට ගැබෙහි වැඩෙන දරුවාට බලපාන්නෙ නෑ.
ගර්භාශයෙන් පිට ගැබ් ගැනීම
ගර්භාශයෙන් පිට දරු පිළිසිඳ ගැනීම් සිදුවන අවස්ථා තියෙනවා. මෙම ගැබ් ගැනීම් බොහෝ විට මුලදීම ගබ්සා වෙනවා. පසුගියදා මවකට එසේ ගැබ් ගත් අවස්ථාවක දරුවෙක් නිසි කාලයම තිබී ප‍්‍රසූත කළා. එය ඉතාම විරල අවස්ථාවක්.
ගර්භාශයෙන් පිටත ගැබ් ගැනීම් කෙටි කාලයෙන්ම ගබ්සාවීම සුලබයි. ගර්භාෂයෙන් පිටත වැඩෙන කලලය දරුවාගේ ජීවිතයට මෙන්ම මවටත් ඉතා අවදානම්. එනිසා ගැබ් ගෙන මුල් මාස කිහිපයේ රුධිර වහනයක් වුවහොත් ඉතාම සැලකිලිමත් වන්නේ එය ගැබෙන් පිටත පිළිසිඳ ගැනීමක් ලෙසට සිතන නිසයි.
H Mole තත්ත්වය
H Mole තත්ත්වයත් මුලදී මව සිතන්නේ ගැබ් ගැනීමක් ලෙසටයි. මාසික ඔසප් වීම නැවතී මූත‍්‍ර පරීක්ෂණයක් කර බලන විට ගැබ් ගැනීමක් බවට හඳුනා ගත්තද H mole තත්ත්වයේදී ගැබෙහි වැඩෙන්නේ දරුවෙක් නොවෙයි ගෙඩියක්. මෙම ගෙඩිය වැඞීමට වෝටර් බෑගයක් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්.
මෙවැනි තත්්ත්වවලදී මව පවසන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පරීක්ෂා කර ගැබ් ගැනීමක් බවට සඳහන් කළ බවයි. එහෙත් දරුවෙක් වැඩෙන්නේ නෑ. එවිටත් අතරමග රුධිර වහනයක් ඇතිවෙනවා. මෙනිසා ගැබ් ගත් මුල් කාලයේ ස්කෑන් පරීක්ෂණයක් ඉතාම වැදගත්.
ස්කෑන් පරීක්ෂණයෙන් ගර්භාශයේ වැඩෙන්නෙ දරුවෙක් ද ගෙඩියක්ද යන්න ස්ථිරවම හඳුනා ගන්න පුළුවන්.
මුල් කාලයේ රුධිර වහනයේදී පිටවන රුධිර ප‍්‍රමාණය අනුව ගබ්සාවක්ද නැද්ද කියා හඳුනා ගන්නත් පුළුවන්.
*සුළු රුධිර වහනයක් නම් ගැබෙහි කලලය තිබිය හැකියි. ගබ්සාවක් නොවෙන්නත් ඉඩ තිබෙනවා.
* වඩාත් රුධිර වහනයක් නම් නිවුන් ගැබ් ගැනීමක් සිදුවී එක කලලයක් ගබ්සා වී අනෙක් කලලය තිබෙන්න පුළුවන්. නැත්නම් දරු ගැබ ගබ්සා වී යැයි ද සිතිය හැකියි.
සති 28න් පසු රුධිර වහනය
සති 28න් පසුව හෝ පෙර රුධිර වහනයට වැදෑමහ දරුවාට පහළින් පිහිටා තිබීම නිසාත් විය හැකියි. එය Placenta Previa ලෙස හඳුන්වනවා.
මේ හැර සති 28න් පසු රුධිර වහනය වීමට තවත් හේතුවක් නම් වැදෑමහ ප‍්‍රසූතියට පෙර බුරුල් වීම හෝ ගැලවීමයි.
ස්කෑන් පරීක්ෂණ මගින් මෙම තත්ත්වය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මෙවැනි ගැටලූවක් හඳුනා ගතහොත් බොහෝ විට හදිසියේ දරුවා බිහි කිරීමට වෛද්‍යවරු සැලසුම් කරනවා.
ගර්භිණී මවකට ප‍්‍රසූතිය ආසන්න කාලයේ ප‍්‍රසූතියට දින තිබියදී රුධිර වහනයක් වුණොත් පමා නොකර ස්කෑන් කර බලයි. මෙහිදී දිනය තව ඉදිරියට කොපමණ කාලයක් තිබුණත් රුධිර වහනයක් වුවහොත් වහාම රෝහල්ගත කළ යුතුයි. මෙහිදී මවට උදර වේදනාවක් නොතිබී රුධිර වහනය වෙන්න පුළුවන්. එහෙත් රෝහල් ගතවීම අනිවාර්ය යි.
මේ හැර ප‍්‍රසූතිය ආසන්න කාලයේත් මවකට පහළ වන ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ රුධිර වහනයයි. දරු ප‍්‍රසූතියට ආසන්න කාලයේ රුධිර වහනය වුණොත් පමා නොකර රෝහල්ගත විය යුතුයි. ඒ නියමිත කාලයට පෙර වුවත් දරුවා මෝරා ඇත්නම් ප‍්‍රසූතිය සිදුවීමට විය හැකියි. එනිසා ගර්භිණී කුමන අවදියක වුවද රුධිර වහනය වුවහොත් ඉතාම සැලකිලිමත්ව වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment