චූටි බබාගෙ ක්‍රියාකාරකම් හඳුනා ගන්න
අලුත උපන් දරු පැටියා දවසෙන් දවස ලොකු මහත් වෙන හැටි අම්මා බලා සිටින්නේ කියන්න බැරි සතුටකින්. දන් බබාට මාස දෙකක් වෙනවා. නැත්නම් මාස තුනයි, හතරයි වගේ කියමන් කියමින් ලොකු මහත් වෙනතුරු බලාගෙන සිටිනවා. දරුවා වයසින් වැඩුණත් කුසලතා දිනෙන් දින වර්ධනය නොවන්නේ නම් එය ගැටලුවක්.
කුසලතා කියන්නෙ මොනවද?
අලුත උපන් දරුවාගේ වර්ධන කුසලතා යනු උපතින්ම ඇස් පෙනීම, කන් ඇසීම, අතින් පයින් කරන චාලිත ක්‍රියා සහ අන් අය සමග ප්‍රතිචාර දැක්වීම ආදී සියලු කුසලතා ය. මෙම කුසලතා ප්‍රධාන කේන්ද්‍ර හතරක් යටතේ දක්නට ලැබෙනවා.
දළ බාලක ක්‍රියා
උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්‍ෂ |
දළ බාලක ක්‍රියා යනු දරුවා අතපය සහ ශරීරය මෙහෙයවා කරන ප්‍රධාන චලන සහ ඉරියව් වේ. දරුවකුට වයස මාස තුනෙන් පසු ඇස් පෙනීම, කන් ඇසීම අතින් පයින් කරන ක්‍රියාකාරකම් සහ අන් අයට ප්‍රතිචාර දැක්වීම ආදී සියලු කුසලතා දක්විය හැකියි. දරුවාට උපතේ සිටම ඇස්පෙනීම, කන් ඇසීම තිබුණත් එහි ක්‍රියාකාරකම් දක්නට ලැබෙන්නේ වැඩි වශයෙන් මාස තුනෙන් පසුවය. මෙම කුසලතා ප්‍රධාන කොටස් හතරක් මගින් දැක්විය හැකියි.
දළ බාලක ක්‍රියා
දරුවා අතපය සහ ශරීරය මෙහෙයවා චලනයන් දැක්වීම හා පවත්වන ඉරියව් මේ යටතට අයත් වේ.
දරුවාට වයස මාස තුන ඉක්මවන විට හිස කෙළින් තබා ගැනීමට හැකියි. මේ වයසට දරුවා මුනින් අතට තැබූ විට හිස මඳක් ඉහළට එසවීමට හැකියි. වයස මාස 5-6 ක් පමණ වන විට දරුවාව උඩුබැලි සහ මුනින් අතට පෙරලීමට හැකියාව ලැබෙනවා.
සියුම් චලන ක්‍රියා හා පෙනීම
දරු පැටියා ඉපදී සති අටක් පමණ වන විට මව සමග ප්‍රතිචාරාත්මකව සිනාසෙයි. එසේම ඇසට පෙනෙන දෙයක් දෙඇස් හරවමින් බැලීමට පටන් ගනී. වයස මාස තුනක් පමණ වන විට තම අවධානය දිනා ගන්නා දෙයක් දෙස හිස හරවමින් බැලීමට හැකියි. සාමාන්‍යයෙන් අලුත උපන් දරු පැටියෙකු බොහෝවිට සිටින්නේ අත් මිට මොළවාගෙනය. මාස තුනක් පමණ වන විට ඇඟිලි හොඳින් දිගහැර සිටීමට පුරුදු වෙයි.
කන් ඇසීම සහ කථන කුසලතා
අලුත උපන් දරුවකු තදබල ශබ්දයක් ඇසුණු විට ඊට ප්‍රතිචාර දක්වයි. අත්පුඩි ගැසීමත් ශබ්ද නගා සිනාසීමක් වැනි දෙයකට සුව නින්දේ පසු වුවත් දරු පැටියා ගැස්සෙයි. වයස මාස දෙකක් පමණ වන විට ශබ්දය ඇසෙන දෙසට ඇස යොමු කිරීමට උත්සාහ කරයි. වයස මාස තුනක් පමණ වන විට හිස මඳක් හරවා ශබ්දය එන දිශාව බලයි. මේ නිරෝගී දරුවෙකුගේ ලක්ෂණයන්ය.
සමාජීය සහ චින්තවේග සංවර්ධනය
උපන් මොහොතේ සිටම දරු පැටියාට යම් අපහසුතාවක් ඇති වූ විට කරන්නේ හැඬීමයි. ඉපදී දින කිහිපයක් ගත වූ පසු තමාව රැකබලා ගන්නා අයගේ මුහුණ දෙස හොඳින් ඇස් යොමු කර බැලීමට පටන් ගනී. එය මවට සහ නිතර බලාගන්නා අයට පැහැදිලිව පෙනේ. එසේම වයස මාස දෙකක් පමණ පසු වූ පසු මව කතා කරන විට මව සමග ප්‍රතිචාරාත්මකව සිනාසෙයි.
දරුවන්ගේ කුසලතා වර්ධනයට මවුපියන් කළ යුතු දේ
මව දරුවා ඉපදුණු දා සිටම දරුවාගේ මුහුණ දෙස හොඳින් බලා ආදරයෙන් කතා කිරීම ඉතාම වැදගත්. දරුවා ටිකෙක් ටික වැඩෙන විට පැටියාට පැහැදිලි සරල වචනවලින් කතා කරන්න. සරල කවි, ගීත ආදිය අවදියෙන් සිටින දරුවාට ඇසෙන ලෙස ගායනා කරන්න. එය දරුවාගේ කුසලතා වර්ධනයට බෙහෙවින් වැදගත්.
එසේම දරුවා වැතිර සිටින තැනට ඉහළින් දීප්තිමත් වර්ණ සහිත සෙල්ලම් බඩු හෝ පින්තූර එල්ලා තබන්න. එය දරු පැටියාගේ මුහුණට ඉදිරියෙන් තබා පෙන්වීම වැනි දෑ ඉතාම වැදගත්.
රාත්‍රී කාලයේදී ආලෝකය විහිදුවන වර්ණවත් දේ පෙන්වන්න. එවිට දරුවාගේ දෘෂ්ඨිය උත්තේජනය වෙයි. උදාහරණයක් ලෙෂ විදුලි පන්දමක ඉදිරියෙන් වර්ණවත් කොළයක් අලවා එය දරුවාට පෙනෙන සේ එහා මෙහා කරන්න. එසේම විවිධ හඬ නගන සෙල්ලම් බඩුවල හඬ අසන්නට සලස්වන්න. එවැනි දෑ කුසලතා වර්ධනයට ඉතාම වැදගත්. උදාහරණයක් ලෙස සඳහන් කළොත් පිරිසුදු කළ යෝගට් කෝප්පයක් තුළට යම් හඬ නගන දෙයක් දමා සොලවන්න. එවැනි හඬවල් දරුවා ඉතා ඉක්මනින් හඳුනා ගනී. මෙවැනි පහසුවෙන් සැකසිය හැකි නිර්මාණ දරුවාගේ කුසලතා වර්ධනයට ඉතාමත් වැදගත් වේ.
මාස තුනක් වූ දරු පැටියා වර්ණවත් පින්තූර සහිත පින්තූර පොතක් පෙන්වීමට පුළුවනි.
නොකළ යුතු දෑ
එහෙත් කුඩාම දරුවන්ට කිසිම විටෙක ජංගම දුරකථන, ටැබ්, රූපවාහිනී ආදී විද්‍යුත් තිර :ෘසටසඒක ීජරුැි* දෙස බලා සිටීමට සැලැස්වීම නොකළ යුතුයි. එමගින් දරුවාගේ මානසික වර්ධනයට හානියක් සිදුවිය හැකියි. ළමා මනෝ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මෙවැනි විද්‍යුත් තිර පෙන්වීම නුදුසුදු බවයි.
වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා
ඉහත සඳහන් ලෙස ඒ ඒ වයස්වලදී කුසලතා නොපෙන්වන්නේ නම් උදාහරණ ලෙස අලුත උපන් දරුවා විශාල ශබ්දයකටවත් තිගැස්සීමක් නොමැති නම් හෝ මාස දෙකක් පමණ ගත වුවත් ප්‍රතිචාරාත්මකව සිනාසෙන්නේ නැතිනම් දරුවාගේ කන් ඇසීමේ හෝ ඇස් පෙනීමේ ගැටලුවක් විය හැකියි. මෙවැනි වෙනසක් දක්නට ඇත්නම් පමා නොකර ළඟම රෝහලේ ළමා වෛද්‍ය සායනය වෙත දරුවා පෙන්වීම ඉතාම වැදගත්.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment