දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

 

‘දැනුවත් වී ආරක්ෂා වෙමු’ . මේ වනවිට මෙරට ජනගහනයෙන් 23% ක් දියවැඩියා රෝගින් ලෙස වාර්තාවීම එහි බරපතළකම මොනවට පැහැදිලි කරයි. මේ සටහන ඔබේ සුවය පිණිස දැනුවත්වීම සඳහාම ය. 

දියවැඩියාව හඳුනාගන්න 

ඉන්සියුලින් හෝමෝනය මගින් අපේ සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය වේ. දියවැඩියාව යනු ඉන්සියුලින්  හෝමෝනය අඩුවීම හෝ ක්‍රියාකාරිත්වය අඩුවීමයි. එම නිසා ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. දියවැඩියාව ලෙස හඳුන්වන්නේ එම තත්ත්වය යි. 

ප්‍රභේද කිහිපයක් 

දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඉන් ප්‍රමුඛ වන්නේ පළමු වර්ගයේ දියවැඩියාව හා දෙවන වර්ගයේ දියවැඩියාව වේ. ඒ අතුරින් බහුල වන්නේ දෙවැනි වර්ගයේ දියවැඩියාවයි. ඒවා පළමු වර්ගය (type 1), දෙවන වර්ගය (type2) සහ ගර්භිණී සමයේ දියවැඩියාව (Diabetes in pregnancy) ලෙස හඳුනාගනී. 

පළමු කාණ්ඩයේ දියවැඩියාව 

විශේෂයෙන්ම ළමුන් අතර මෙම දියවැඩියාව දක්නට ලැබේ. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 5ක් පමණ පළමු කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන් ය.  අග්න්‍යාසය මගින් ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය ඇනහිටීමෙන් පළමු කාණ්ඩයට අයත් දියවැඩියාව කෙනෙකුට ඇති වේ.  ඉන්සියුලීන් නිෂ්පාදන සෛල ක්‍රම ක්‍රමයෙන් විනාශ වීමෙන් ශරීරයේ ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම අඩපණ වේ. මෙහිදී රෝගියාගේ ශරීරය කෙට්ටු වීමට පටන් ගන්නා අතර හුස්ම ගැනීමේ අපහසුතාව ද ඇති වේ. 

රෝගය උත්සන්න වීමෙන් සිහිමඳ ගතිය, කල්පනාව අඩුකමද ඇතිවීමට පුළුවන. මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙකු රෝහල් ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු කළ යුතුය. පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලය පුරාම ලබාදීමට සිදු වේ. 

දෙවන කාණ්ඩයේ දියවැඩියාව 

මෙය බහුලවම රෝගීන් වාර්තා වෙන රෝගී තත්ත්වයකි. දියවැඩියාවට ගොදුරු වන රෝගීන්ගෙන් සියයට 90-95 පමණ දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයට අයත් වේ. වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබුණ ද දැන් දැන් ළමයින් අතරද මෙම දියවැඩියා රෝගය ඇති වන බවට හඳුනාගෙන තිබේ. දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමට මූලිකම හේතු ලෙස ස්ථුලතාව දැක්විය හැකි ය.  ක්‍රියාශීලී නොවනා ජීවන රටාව, වැරදි ආහාරපාන භාවිතය, අධික සීනි අධික පිෂ්ටය සහිත ආහාර ගැනීම, ව්‍යායාම මදිකම, මානසික ආතතිය ආදී කරුණු මෙම වර්ගයේ දියවැඩියා ඇතිවීමට මූලිකම හේතුවක් වේ. 

දෙවන වර්ගයේ දියවැඩියාවේ රෝග ලක්ෂණ 

නිතර නිතර පිපාසය දැනීම, මූත්‍ර පිටකිරීමේ අවශ්‍යතාව නිතර දැනීම, හේතුවක් රහිතව ශරීරයේ බර අඩුවීම, විශේෂ හේතුවකින් තොරව පෙනීමේ දුර්වලතා ඇතිවීම, අතපය ආශ්‍රිතව හිරි ගතියක් ඇතිවීම, ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව නිතර නිතර ආසාදන ඇතිවීම.
දෙවන වර්ගයේ දියවැඩියාව නිසි ලෙස පාලනය නොකරන රෝගීන්ට දියවැඩියාව සඳහා ලබාදෙන ඖෂධ කාලයකදී නිෂ්ඵල වන අතර එහිදී රෝගියාට ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ලබා ගැනීමට සිදුවිය හැකිය. එහෙයින් මුල් අවස්ථාවේ රෝගය පාලනය කිරීම ඉතාම වැදගත් ය. 

ගර් භිනි සමයේදී  ඇතිවන දියවැඩියාව  

මෙම දියවැඩියාව ගැබිනි සමයේදී මවට ඇති වේ. ගර්භිණී සමය අවසන්වීමත්  සමග දියවැඩියා තත්ත්වය පාලනය වුවද මෙවැනි කාන්තාවන් ප්‍රසූතියෙන් පසුවද දියවැඩියා රෝගය ගැන අවධානයෙන් සිටිය යුතුය. ගර්භිණී සමයේදී දියවැඩියාවට ගොදුරු වූ මවකට පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වීම ඉතාම වැදගත් ය. ප්‍රශස්ථ දියවැඩියා පාලනයක් තුළින් මවට හා දරුවාට ඇති විය හැකි සංකුලතා වැළැක්විය හැකිය.මෙවැනි මවුවරුන් දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසුව පළමු රුධිර පරීක්ෂාව කරගත යුතුය. ඉන්පසුව සෑම මාස 6කට 12කට වරක් තමාට දියවැඩියා රෝගයෙහි අවදානමක් ඇද්ද යන්න හඳුනා ගැනීම ද ඉතාම වැදගත් ය.

දියවැඩියාව ඇතිබව හඳුනා ගන්නේ කොහොමද? 

ප්‍රධාන ලක්ෂණය වන්නේ දියවැඩියා රෝගීන් බහුතරයකට කිසිදු රෝග ලක්ෂණයක් ඉස්මතු නොවීමයි. මේ නිසා විශාල කාලයක් දියවැඩියාව හඳුනා නොගෙන ශරීරයේ පැවතිය හැකිය. එහෙත් පසුකාලීනව හෝ මෙම රෝග ලක්ෂණ මතුවිය හැක ය. 

  • අධික පිපාසය
  • මුත්‍ර පිටවන වාර ගණන වැඩි වීම.
  • රාත්‍රී කාලයේදී මූත්‍ර පිටවන වාර ගණන 
  • වැඩිවීම.
  • ශරීරය කෙසඟවීම

දියවැඩියාව සොයන පරීක්ෂණ 

1. නිරාහාර රුධිර පරීක්ෂණය 
  (පැය 8-10 ක්)-> 126 mg/dL mg/dL
2. HBA  HbA1c ->6'5]
3. RBS (Random blood sugar) අහඹු  රුධිර පරීක්ෂණය>200 mg/dL mg/dL
නිරාහාර රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව නිරෝගී අයෙකුට රුධිර ගත සීනි ප්‍රමාණය 100mg/dl අඩු අගයක් ගන්නා අතර පූර්ව දියවැඩියා තත්ත්වයේදී 100mg/dl  - 125mg/dl  අගයක් ගැනේ. නිරාහාර රුධිර පරීක්ෂාවේ අගය 125mg/dl  වැඩි අගයක් ගැනීම දියවැඩියා රෝගියෙකුගෙන් වාර්තා වෙන අගයකි. 

දියවැඩියාව හැදුණොත් 

නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම
ව්‍යායාම හා නිවැරදි සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ගත කිරීමෙන් (උදාහරණ දුම්වැටි, මත්ද්‍රව්‍ය,
මත්පැන්වලින් වැළකීම) මුල් අවස්ථාවේදී දියවැඩියාව සුව කළ හැකිය.
දිනකට අඩුම තරමින් පැය භාගයක්වත් ව්‍යායාම කිරීම. එම ගණන සතියකට විනාඩි 150 ක් පමණවීම ප්‍රමාණවත් ය.

පාලනය කරන්නේ කොහොමද? 

■ දියවැඩියාව වැලඳුණු පසු  නිවැරදි ආකාරයට ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය ය.  එහිදී නිවැරදි මාත්‍රාව, නිවැරදි වාර ගණන, වෛද්‍ය උපදෙස් අනුව පමණක් ක්‍රියා කිරීම අනිවාර්ය ය. 
■ නිවැරදි සෞඛ්‍ය පුරුදු  අනුගමනය කිරීම 
■ නිවැරදි ආහාර පුරුදු (සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම, සීනි සහිත ආහාර අවම කිරීම)

නොකළ යුතු දේවල් 

අනිසි ලෙස බියවීම 
අත් බෙහෙත් කිරීම
වෛද්‍යවරයකු මුණ නොගැසීම 
රුධිර පරීක්ෂා නොකිරීම
කඩින් කඩ ඖෂධ ගැනීම 

පාලනය නොකළොත්  මොකද වෙන්නේ? 

දියවැඩියා රෝගයේ ඇති බරපතළකම වන්නේ එය සිරුරේ සියලුම අවයවලට හානිකර ලෙස බලපෑමයි. එසේ සිදුවන්නේ එය නියම විදියට පාලනය නොකළහොත් පමණි.  එබැවින් දියවැඩියාව ඇති පුද්ගලයකු නිරන්තරයෙන් රෝගය පාලනය කර ගනිමින් ජිවත් වෙනවා නම් සිරුරේ අවයවවලට සිදුවන හානිය වළක්වා ගැනීම  අසීරු නැත. එසේ වුවත් වසරකට වරක් හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාජනය වීමෙන් ඇති අවදානම් තත්ත්ව වළක්වාගත හැකිය. දියවැඩියාව වකුගඩු, ඇස්, ස්නායු, පාද, හෘදය, මොළය ආදී අවයවවලට හානිකරන බැවින් ඒවා යේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් සිටීම අවශ්‍ය ය. 

බෙහෙත්වලින් වකුගඩුවලට හානි වෙනවද? 

දියවැඩියා රෝගයට ලබාදෙන ඖෂධවලට වකුගඩු නරක්වෙනවා යැයි සමාජයේ ඇති මතයේ කිසිදු සත්‍යතාවක් නැත.එහෙත් දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම නිසා වකුගඩු අකර්මණ්‍ය විය හැකිය.  
දියවැඩියා රෝගීන්ට දෙන ප්‍රධාන ඖෂධය වන්නේ මෙට්ෆොමින්ය. මෙම ඖෂධයට වකුගඩු හානි නොවේ. මෙම ඖෂධය මගින් වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කළ හැකි ය.

ඉන්සියුලින් 

ශරීරය තුළ නිපදවන ඉන්සියුලින් හෝමෝනය, බාහිරව නැවත ශරීරයට ලබාදීම සිදු කරයි. එම එන්නත වකුගඩුවලට හෝ වෙනත් අවයවයකට බලපාන්නේ නැත. 

නිවැරදිව පාලනය නොකළොත් ලෙඩ ගොඩක් 

දියවැඩියා රෝගය නිවැරදිව පාලනය කිරීමට අපොහොසත් වුවහොත් සංකූලතා රැසකට මුහුණදීමට සිදුවනු ඇත. 
හෘද රෝගවලට ප්‍රධාන හේතුවකි.
■ (දියවැඩියා රෝගීන් මියයාමට ප්‍රධානම හේතුව නිහඬව ඇතිවන හෘද අකර්මණ්‍යතාවයි.)
■ ඇස්වලට ඇතිවන සංකුලතා/අන්ධබව
■ වකුගඩු අකර්මණ්‍ය වීම 
■ පාද ආශ්‍රිතව තුවාලවීම (මේ නිසා පාද ඉවත් කිරීමට වුවද අවදානමක් ඇත.)
■ ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකුලතා
■ අංශභාගය
■ ලිංගික බෙලහීනතාව
■ අක්මාව ආශ්‍රිත රෝග (අක්මාවේ තෙල් තැන්පත්වීම/සිරෝසිස්)

අවදානම් අය කවුද? 

ඔබ වයස අවුරුදු 40ට වැඩි අයෙකු නම් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වුවත් නිරාහාර රුධිර පරීක්‍ෂාව කර ගැනීම ඉතා වැදගත් ය.  ඊට අමතරව 
තරබාරු/අධිබර පුද්ගලයන්
දියවැඩියාව සම්බන්ධ පරම්පරා ඉතිහාසයක් ඇති පිරිස

වළක්වා ගන්නේ කොහොමද? 

■ නිවැරදි ආහාර රටාව හා නිවැරදි සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම.
■ දරුවන්ට කුඩා කල සිටම නිවැරදි ආහාර පුරුදු ඇති කිරිම සහ සිරුර වෙහෙසන ක්‍රීඩා සඳහා යොමු කිරීම. 
■ උසර සරිලන බර පවත්වාගෙන යාම 
ව්‍යායාම කිරීම.
■ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම 
■ අධිරුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් තත්ත්වය වැඩිවීම හා තරබාරුබව පාලනය කිරීම
■ මනස සුවපත්ව තබා ගැනීම 

ජීවිතය නවත්වන්න එපා 

ඔබ දියවැඩියා රෝගියෙක් වුවද රෝගය නිවැරදිව පාලනය කිරීමෙන් ඔබට සම්පූර්ණයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත හැකිය. එබැවින් දියවැඩියා රෝගය යනු පුද්ගලයකුගේ ජීවිතය නවතා දමන රෝගයක් නොවේ. 

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Previous

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Next

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

Realted Post

Leave a comment