නැගෙනහිර කොළඹ රෝහලේ බබා ලැබෙනකොට තාත්තටත් අමමා ළඟ ඉන්න පුළුවන්

 

දරු ප්‍රසූතියට ළං වන විට කාන්තාවක් සිටින්නේ අනියත බියකිනි. ඒ ප්‍රසූතියට මුහුණ දීමේදී ඇතිවෙන වේදනාව හා ඊට තනිව මුහුණදීමේදී ඇතිවෙන  මානසික ව්‍යාකූලතාව නිසාය. මෙවැනි අවස්ථාවට තම සැමියා හෝ අසල සිටින්නේ නම් එය වේදනා විඳින කාන්තාවට යම් අස්වැසිල්ලකි. එහෙත් ඒ අවස්ථාව අපේ රටේ බහුතරයක් මවුවරුන්ට අහිමිය. ඒ රජයේ රෝහල්වල මෙවැනි පහසුකම් නොමැති නිසාය.


මවකට ප්‍රසූති වේදනාව විඳ දරාගනිද්දී යම් තරමකට හෝ අස්වැසිල්ලක් ලබාගත හැකි ලෙස සැමියාට ළඟ සිටිය හැක්කේ පෞද්ගලික රෝහලක දරු ප්‍රසූතිය සිදුවන්නේ නම් පමණි. එහෙත් අද ඒ අවස්ථාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දරු ප්‍රසූතියට සූදානම් වන මවුවරුන්ට උදා  වී තිබේ. එය මවකට අසන්නට ලැබෙන සුබ පණිවිඩයකි. 


එම විශේෂ පහසුකම පිළිබඳව විශේෂඥ වෛද්‍ය රසික ද සිල්වා මහතා සඳහන් කළ කරුණු මෙසේය.


දරු ප්‍රසවයේදී තමාට හිතවත් තමාගේම කෙනෙක් ළඟ සිටීමෙන් වාසි බොහොමයක් ගෙන දෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එනම්,
* ප්‍රසව වේදනාව අඩු වේ.
* වේදනාව අඩුවීමෙන් භාවිතා කරන වේදනා නාශක ප්‍රමාණය අඩු වේ. 
* හදිසි සිසේරියන් සැත්කම් අවම වේ.
* අඬු උපත් අඩු වේ.
* සාමාන්‍ය ප්‍රසූතියක් වීමේ ප්‍රවණතාව වැඩි වේ.
* මවට ධනාත්මක සිතුවිලි පහළ වේ.
*  මේ නිසා ඉදිරි දරු ප්‍රසූතිවලදීත් විශ්වාසයෙන් යුතුව ප්‍රසවයට මුහුණ දීමට මවට හැකි වේ.

උපදෙස් - 
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ 
නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, 
රසික ද සිල්වා


මෙම හේතු නිසා ඇමරිකාව, එංගලන්තය වැනි දියුණු රටවල අනිවාර්යයෙන්ම බිරිඳගේ ප්‍රසූත අවස්ථාවේදී සහකරු ළඟ සිටිය යුතු වේ. මෙම පහසුකම අපේ රටේ තිබෙන්නේ පෞද්ගලික රෝහල්වල පමණි.
එහෙත් පෞද්ගලික රෝහලක ප්‍රසූතියකට යා හැක්කේ සුළු පිරිසකටය. ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදු වේ. ඒ නිසා පළමුවරට අප රෝහල සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඒ පහසුකම ලබාදීමට කටයුතු කර තිබේ. 
කාන්තාව මවක් වන මොහොතේ පිය පදවිය ලබන ඔහුත් ළඟ සිටීමෙන් ඒ වේදනාව බෙදී යන තත්ත්වයක් ඇති වේ. ඒ මවට සහකරු ළඟ සිටීමෙන් ඇතිවෙන සහනය නිසාය. එසේම දරුවෙක් ප්‍රසූත කිරීමට බිරිඳ විඳින වේදනාව සැමියා දෑසින් දැකීමෙන් එය පවුලේ බැඳීම තව තවත් ශක්තිමත් කිරීමට හේතු වේ.


සමහර රටවල ප්‍රසවයට සූදානම් ව සිටින කාන්තාවකට වෙනම පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සිටියි. අපේ එසේ එක් මවකට එක පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් ලෙස වෙන් කර නැත. ඒ කාර්ය මණ්ඩල හිඟකම නිසාය. ඒ නිසා එවන් අපහසු අවස්ථාවට සැමියා ළඟ සිටීම මවගේ ගැටලු හඳුනා ගැනීමට පවා පහසු වේ. උදාහරණයක්  ලෙස සඳහන් කළොත් මවට අධික ලෙස රුධිරය පහවීම වැනි ගැටලු වුවද එසේ සිටින විට හඳුනා ගැනීමට හැකි වේ. මේ හැර සැමියා ළඟ සිටීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වුවද පහසුවකි. ඒ ඇතැම් ප්‍රතිකාරවලදී සහායට සැමියා ද උදව් කර ගත හැකි නිසාය.


අවාසි තිබෙනවාද?
සැමියා ප්‍රසූතිකාගාරයේ සිටීම ඇතැම් විට අවාසි සහගත වන අවස්ථාද වේ.
* සමහර පිරිමින්ට බිරිඳගේ වේදනාව, රුධිරය පහවීම දරාගැනීමට නොහැකිය. ක්ලාන්ත වේ. එය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ගැටලුවකි.
* අපේ රටේ සූතිකාගාරයේ එක් එක් මවුවරුන් සඳහා ආවරණ නැත. මවුවරු කිහිපදෙනෙක් ප්‍රසූතියට සූදානම්ව වේදනාවෙන් සිටිති. එවිට ඇතැම් පිරිමි තම බිරිඳ පමණක් නොව අන් අය දෙසත් බලා සිටිති. පිරිමි කිහිපදෙනෙක් එසේ සිටින විට වේදනාවෙන් සිටින මවුවරුන්ට එය තවත් අපහසුතා ගෙන දෙයි.
* බිරිඳට දරු ප්‍රසූතියේදී ඇති වෙන ගැටලු නිසා හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථා තිබේ. මෙවැනි අවස්ථාවට සැමියා ළඟ සිටීම අපහසු වේ.


සැමියා දැනගත යුතු විශේෂ කරුණු
* ජංගම දුරකථන, වීඩියෝ සූතිකාගාරයට රැගෙන යාම තහනම් වේ.
* සූතිකාගාරයට ඇතුළු කර ගැනීමට පෙර තම බිරිඳගේ සැමියාබව තහවුරු කළ යුතුය. ජාතික හැඳුනුම්පත් අංකය දිය යුතුය.
* සූතිකාගාරයට සැමියාට යා හැක්කේ බිරිඳ කැමැති නම් පමණි.
 මෙම කොන්දේසිවලට යටත්ව දැනට නැගෙනහිර මූලික රෝහලේ පමණක් මෙම පහසුකම දරු ප්‍රසූතියට සූදානම් මවුවරුන්ට උදා කර දී තිබේ.
දැනටමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ අනුදැනුම මත අනෙකුත් රජයේ රෝහල්වල මෙම පහසුකම මවට ලබා දීමට කටයුතු කිරීමට සූදානම් වේ.
මේ සදහා බොහෝ පියවරුගේද කැමැත්තක් තිබේ. 


මෙම පහසුකම ලැබෙන්නේ කාටද? 
නිසි ලෙස රෝහල් සායනයට පැමිණෙන මවුවරුන්ට පමණක් නොව, නිසි ලෙස ඕනෑම රජයේ රෝහලක සායනයකට ගිය ප්‍රසූතිය ආසන්න කාලයේ වරක් අප රෝහලේ සායනයට පැමිණෙන අයට මෙම අවස්ථාව උදා කර ගත හැකිය. එහෙත් ඒ පැමිණෙන විට වෙනත් රජයේ රෝහලක නිසි ලෙසට සායනයට ගිය සියලු විස්තර වාර්තා රැගෙන පැමිණිය යුතුය. වෙනත් රජයේ රෝහලක සායනයට ගොස් මෙම රෝහලේ ප්‍රසූතිය සිදු කිරීමට කැමැති ඕනෑම මවක් බදාදා දිනෙක උදේ 8.00 ට පූර්ව ප්‍රසව සායනයට පැමිණිය යුතු වේ. 


දැනට සාමාන්‍ය ප්‍රසූතියට සූදානම් මවුවරුන්ට පමණක් මෙම පහසුකම ලැබේ.  ඉදිරියේදී සිසේරියන් සැත්කමට සූදානම් වන මවුවරුන්ටත් එම අවස්ථාව ලැබෙනු ඇති. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
 


 ශිරානි ගල්ලෑල්ල


 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment