පාචනයෙන් දරුවා බේරාගන්නේ මෙහෙමයි

 

පාචනය ඕනෑම වයසක දරුවෙකුට වැඩිහිටියෙකුට වැලඳිය හැකි සාමාන්‍ය රෝගයකි. එහෙත් මෙම රෝගයට බලපාන වයිරස, බැක්ටීරියා අනුව එම රෝගවල බරපතළබව වෙනස් වේ.


පාචනය කුඩා දරු පැටවුන්ට ඇති වුවහොත් ගැටලු හා සංකූලතා ඇතිවීමේ අවදානම වැඩිය. මේ නිසා විශේෂයෙන් අලුත උපන් දරු පැටියා මෙවැනි රෝගවලින් ආරක්ෂාකර ගැනීම සියල්ලටම වඩා වැදගත් වෙයි.

 


රෝගකාරකයින් කවුද?
ළදරුවන්ට වැලඳෙන පාචන රෝගයට බහුලවම හේතුකාරක වන්නේ වයිරසයයි. බැක්ටීරියා හෝ වෙනත් රෝගකාරක විෂබීජ වර්ගයකින් පාචනය ඇති වන්නේ කලාතුරකිනි. මෙම වයිරස අතරින් බහුලවම පාචනය ඇති කරන්නේ රෝටාවයිරස (Rotavirus) නැමැති වයිරස් වර්ගයයි. මේ හැර Adenovirus enterovirus ආදී වෙනත් වයිරස වර්ගද පාචනය ඇති කළ හැකියි.

 


රෝග ලක්ෂණ මොනවාද?
මෙම වයිරස ශරීරගත වී දින 1-4 ක් පමණ කාලයක් තුළ රෝග ලක්ෂණ මතුවීම දක්නට ලැබේ. මෙම දරුවන්ට දියර ලෙස මලපහවීම ද වෙනදාට වඩා වැඩි වාර ගණනක් මලපහවීමද ඇති වේ. සාමාන්‍යයෙන් ළදරු වියේදී දිනකට තුන් හතර වතාවක් මලපහ වේ. එය සාමාන්‍යය. මවුකිරෙන් වැඩෙන දරුවාට දියර ලෙස මලපහ වේ. මේ ලක්ෂණ සාමාන්‍යය. එහෙත් පාචනය වැලඳුණු විට ළදරුවාට වුවත් වෙනදා පිටවෙන ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් වඩාත් දියර ස්වභාවයෙන් මල පහවෙයි. මේ හැර වමනයද ඇති වේ. එසේම උණ ගතියක්ද ඇති විය හැකියි. 

 


ඇතිවෙන සංකූලතා මොනවාද?

උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග රාජපක්‍ෂ


දියර ලෙස මලපහවීම සහ වමනය නිසා දරුවාගේ ශරීරයේ ඇති ජලය ඉවත් වී යයි. එවිට කුඩා දරුවන් පහසුවෙන් විජලනය විය හැකිය. රෝගී තත්ත්වය නිසා අඩුවෙන් කිරි බීම දක්නට ලැබේ. එසේ කිරි හෝ ගන්නා ආහාරපාන අඩුවෙන් ගැනීමෙන් රෝගය තවත් වැඩි වේ. එවිට දරුවා අධික ලෙස පාචනය සහ වමනයට ගොදුරු වේ. එයින් ශරීරයේ ලවණ වර්ගවල අසමතුලිතතා ද ඇති විය හැකි.

 


රෝගයෙන් වැළකෙන්නේ කොහොමද?
මෙම වයිරස ශරීරගත වන්නේ මුඛ මාර්ගයෙනි. දරුවාගේ කටයුතු කරන වැඩිහිටියන්ගේ පිරිසුදුබවත් විශේෂයෙන් සබන් දා හොඳින් අත් සෝදා ගැනීමත්, දරුවා කටේ දමා ගන්නා සෙල්ලම් බඩු ආදිය පිරිසුදුව තබා ගැනීමත්, වමනය හෝ පාචනය ඇති අය දරුවාගෙන් ඈත් වී සිටීමත් මෙවැනි රෝගයකින් කුඩා දරුවෙකු බේරා ගැනීමට ඉතාම වැදගත් වේ. 

 


පාචනය වැලඳුනොත් මොකද කරන්නේ?
කුඩා දරුවෙකුට පෝෂණය මෙන්ම ජලයද ලැබෙන්නේ මවුකිරිවලිනි. එම නිසා මවුකිරි දීම නොනවත්වා කළ යුතුය. දරුවාට කෙතරම් දියර ලෙස මල පහවුවත් මවුකිරි දිය යුතුමය.


එසේම උණ තිබේ නම් බර හා වයස අනුව නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් දියරය ලබා දිය යුතුය. කුඩාම දරුවෙකුට වමනය හා පාචනය හැදුනොත් හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාම සුදුසුය. විශේෂයෙන් කිරි බීමට අපහසු වන ලෙස වමනය යයි නම් දරුවා කිරි බීම අත්හැරියහොත් තද උණ තිබේ නම් දියරමය ලෙස මලපහ වෙයි නම් වහාම රෝහල්ගත කළ යුතුය. එසේම විශේෂයෙන් දරුවා කිරි බීම නතර කළහොත් දියර ලෙස වැඩි ප්‍රමාණයෙන් මලපහ වෙයි නම්, දරුවා අසාමාන්‍ය ලෙස මලානික නම් එයත් වහාම වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්වයකි.


එසේම ළදරුවාට පිටවෙන මුත්‍රා ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා දිය යුතුය. සාමාන්‍යයෙන් පාචනය සහිත දරුවන්ට ජීවනී දියරය ලබා දීමට නිර්දේශ කරයි. එහෙත් කුඩාම ළදරුවන්ට ජීවනී දෙන්නේ නැත.  එය නියම කළ යුත්තේ වෛද්‍යවරයා ය.


එමෙන්ම දරුවාගේ මල තද කොළ පැහැයක් හෝ කළු පැහැයක් ගනී නම් හෝ රුධිරය මිශ්‍ර වී ඇත්නම් හෝ අධික ලෙස සෙවලමය ගතියකින් පවතී නම් ඒ ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. එය වයිරස් ආසාදනයක් නොව බැක්ටීරියා ආසාදනයක් විය හැකිය. මෙම ලක්ෂණ සහිතව පාචනය පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ගත යුතු වේ.

 


රොටා වයිරස් එන්නත දෙන්න ඕනෑද?
රොටා වයිරස් මගින් ඇති කරන පාචනය වැළැක්වීම සඳහා රොටා වයිරසය සඳහා එන්නතක් පෞද්ගලික අංශයෙන් පමණක් ලබා ගත හැකිය. මෙය කටට ලබා දෙන දියරමය මුඛ එන්නතකි. මෙය ලබා දෙන්නේ දරුවාට වයස මාස 2-4 අතර කාලයේය. මෙම දියරමය එන්නත මාස 2-4 එන්නත් අතරත් දිය හැකිය. 


මෙම මුඛ එන්නතින් රොටා වයිරස මගින් ඇතිවෙන පාචනය සඳහා 70%-90% පමණ ආරක්ෂාවක් ලැබේ. එහෙත් මෙම එන්නත් ලබා දුන්නාට, වෙනත් වයිරස හා බැක්ටීරියා මගින් ඇතිවෙන පාචන රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැත. එම නිසා මෙම එන්නත ලබා දුන් දරුවන් ද ඉහත සඳහන් කළ පරිදි පෞද්ගලික පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත්වීම ඉතාම වැදගත් වේ.

ශිරානි ගල්ලෑල්ල

 


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Next

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

Realted Post

Leave a comment