බබා හුස්ම ගන්නේ අමාරුවෙන් පපුවෙන් ශබ්දෙකුත් ඇහෙනවා එහෙම වෙන්නේ ඇයි?
බබා අපහසුවෙන් හුස්ම ගැනීම සහ පපුවෙන් ශබ්දයක් ඇසීම අම්මලා ඉතාමත්ම බියට පත්වෙන ගැටලු දෙකකි. මේ ශ්වසන මාර්ගයේ යම් ගැටලු නිසා ඇතිවෙන වෙනස්කම් විය හැකිය.
ඇතැම් විට දරුවාට කැස්ස හෝ හතිය ලෙසත් මෙවැනි අපහසුතා ඇති කරවන ශබ්ද මතු වේ.
මේ හැර නොමේරූ ස්වරාලය නිසාත් අසාමාන්‍ය ශබ්ද හුස්ම ගන්නා විට අසන්නට ලැබේ. ඒ මෙසේය.
උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ |
අප කතා කරන විට ශබ්ද නිකුත් වන්නේ උගුරේ පිහිටා ඇති ස්වරාලය නම් කොටසෙනි. දරුවෙකු උපදින විට මෙම ස්වරාලය මෘදු ස්වභාවයෙන් යුක්තය. එම නිසා ළදරුවා හුස්ම ඉහළට ගන්නා විට ස්වරාලයේ යම් හැකිළීමක් සිදු වේ.
එවිට අසාමාන්‍ය හඬක් නිකුත් විය හැකිය. හුස්ම පිට කරන විට ස්වරාලය නැවත යථා තත්ත්වයට පත් වේ. එවිට ශබ්දයක් නිකුත් වන්නේ නැත. මෙවැනි දරුවන් ඉපදී සතියක් දෙකක් පමණ ගත වන විට හුස්ම ඉහළට ගන්නා විට පමණක් යම් ශබ්දයක් නිකුත් වේ. මෙම තත්ත්වය සති කිහිපයක් හෝ මාස කීපයක් යන විට ක්‍රමයෙන් වර්ධනය වී සාමාන්‍ය තත්ත්වයට පත් වේ. සාමාන්‍යයෙන් දරුවාට වයස මාස කිහිපයක් ගත වන විට ස්වරාලයේ ඇති කාටිලේජ අස්ථිභවනයවීමත් සමග එහි හැකිළීම සිදුවන්නේ නැත. ඒ නිසා දරුවාට වයස මාස හයක්, හතක් පමණ වන විට හුස්ම ගන්නා විට ඇසෙන අසාමාන්‍ය ශබ්දය නැති වී යයි.
රෝගයක් නොවන බව හඳුනාගන්නේ කොහොමද?
දරුවා හුස්ම ගන්නා විට ඇසෙන ශබ්දය රෝග තත්ත්වයක් නිසාත් ඇති විය හැකිය. ඒ නිසා මෙම ශබ්දය රෝග තත්ත්වයක් නිසාද, සාමාන්‍ය තත්ත්වයක් ද යන්න හඳුනා ගන්නේ මෙසේය. දරුවාට කැස්ස, හතිය, උණ වැනි වෙනත් රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව හුස්ම ගන්නා විට ඇසෙන ශබ්දය සාමාන්‍ය තත්ත්වයකි. ඒ නොමේරූ ස්වරාලය නිසා විය හැකිය. එසේම උපන් මුල් කාලයේ හුස්ම ගන්නා විට ශබ්දයක් නොඇසී ඉන්පසුව ඇති වුවහොත් එය රෝගයක ලක්ෂණයක් විය හැකිය.
හුස්ම ගන්නා විට ඇසෙන ශබ්දය හදිසියේ මතු වන රෝග ලක්ෂණයක් නොවේ. සුළුවෙන් එසේ ශබ්දය ඇසී සති හෝ මාස කිහිපයක් යන විට ක්‍රමයෙන් හඬ නැතිව යයි. එය සාමාන්‍ය තත්ත්වය යි.
ශ්වාස නාළිකා ප්‍රදාහය (Bronchiolitis)
බ්රොන්කියුලයිටීස් (Bronchiolitis) තත්ත්වය වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට ඇති වෙන වයිරස් ආසාදන තත්ත්වයකි. මෙය විවිධ වයිරසවලින් ඇති විය හැකිය. මෙය බහුලවම ආසාදනය වන වයිරසය RSV නම් වයිරසයයි.
මෙම ආසාදනයේදී මුලදී දරුවාට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් සහ කැස්ස හටගනී. බොහෝ විට සුළු උණ ගතියක් ඇති වේ. දින දෙක තුනක් ගත වන විට ක්‍රමයෙන් කැස්ස වර්ධනය වී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වේ. මෙය වඩාත් වර්ධනය වුවහොත් හුස්ම ගැනීමේ වේගය වැඩි වේ. කිරි බීමට අපහසුවන තරමට තද කැස්ස ඇති විය හැකිය. සාමාන්‍යයෙන් දින පහක් පමණ රෝග ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඉන්පසු ඉබේම රෝගය සමනය වී යයි. දරුවාට කිරි බීමට අපහසු නම් හෝ හුස්ම ගැනීමට දැඩි අපහසුතායක් ඇති වන බව හැඟේ නම් පමා නොකර රෝහල්ගත කළ යුතුය. ඒ ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වන නිසාය.
නියුමෝනියාවද?
දරුවාට තද උණ පමණක් ඇතිවීම නියුමෝනියාව රෝගයේ ලක්ෂණයක් නොවේ. කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාව සමග තද උණ පවතී නම් එය නියුමෝනිසා තත්ත්වය විය හැකිය. එවැනි තත්ත්වයකදී පමා නොකර දරුවා රෝහල් ගත කළ යුතුය.
බල්ලෙක් බුරනවා වැනි හඬින් ඇතිවෙන කැස්ස (Croup)
දරුවා හුස්ම ගන්නා විට බල්ලෙක් බුරනවා හඬක් ඇසෙනවා නම් ඒ ස්වරාලය සහ ස්වරාලය ආශ්‍රිතව ඇති වෙන වයිරස් ආසාදනයක් නිසා ඇතිවෙන තත්ත්වයකි. මෙවැනි දරුවන්ට යම් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් සහ කැස්ස ඇති වේ. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ දරුවා කහින විට බල්ලෙකු බුරනවා වැනි ගැඹුරු හඬක් පිටවීමයි. ඇතැම් දරුවන්ගේ කැස්ස ඉතා තදින් ඇති වේ. කැස්ස සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. එසේම දරුවාට තදින් උණ ඇති වේ. මෙවැනි තත්ත්වයකදී පමා නොකර ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. මෙම තත්ත්වය වයිරස් ආසාදනයක් නිසා ඇති වෙන තත්ත්වයකි. මේ සඳහා ප්‍රතිජීවක අවශ්‍ය වේ.
ශ්වසන මාර්ගයේ යමක් හිරවුණොත්
කුඩා දරුවෝ අතට අසුවන දෑ කටේ දමා ගැනීම බොහෝ විට කරති. මෙය අවදානම්ය. ඒ යමක් හිරවීමට හැකියාව ඇති බැවිනි. ඇතැම් විට පවුලේ වැඩිමල් දරුවෙකු බාල දරුවන්ට යමක් කැවීමට යෑමේදී ද මෙවැනි අනතුරු ඇති විය හැකිය. රටකජු කඩල වැනි ඇට වර්ගද සෙල්ලම් බඩුවල කුඩා කොටස් කුඩා ඔරලෝසු බැටරි වැනි දෑ මෙසේ හිර කර ගන්නා දේවල් වේ.
කුඩාම බැටරියක් වැනි දෙයක් හිර වුවහොත් බරපතළ අනතුරක් සිදු විය හැකි මුත් සමහර දෑ හිර වූ පසු කිසිදු ශ්වසන රෝග ලක්ෂණයක් නොමැතිව සිටි දරුවාට එක්වරම තද කැස්සක් සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති විය හැකිය. එසේ වුවහොත් යමක් හිර කරගෙන දැයි සැක කළ යුතුය. මෙවැනි අවස්ථාවකදී දරුවා දිගින් දිගටම කහින්නේ නම් එයින් අදහස් වන්නේ ශ්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී නොමැති බවයි. මෙවැනි අවස්ථාවකදී දරුවා පමා නොකර ළඟම තිබෙන රෝහල වෙත රැගෙන යාම වඩාත් සුදුසුය. දරුවාට කහින්නට නොහැකි තරම් හුස්ම අවහිර වී ඇති බව පෙනේ නම් වහාම මුණින් අතට හරවා අල්ලාගෙන පිටෙහි ඉහළ කොටසේ මැද්දට අත්ලෙන් පහර පහක් ගැසිය යුතුය. එවිට බොහෝ විට හිර වී ඇති ද්‍රව්‍ය කටින් එළියට එයි.
උගුර ඇතුළේ යමක් සිර වී ඇත්නම් එය ගැනීමට වැඩිහිටියන් දරුවාගේ මුඛය තුළට ඇඟිල්ල දැමීම කිසිම විටෙක නොකළ යුතුයි. එසේ කිරීමෙන් එම ද්‍රව්‍ය තවත් ඇතුළට තල්ලු වී ගොස් තවත් සිරවීමට ඉඩ තිබේ.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment