මවත් දරුවත් රකින ෆෝලික් අම්ලය ගැබ් ගන්න පෙර සිටම ගන්න ඕනෑ
නිරෝගී සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවිතය ජීවත් කරවන්න සමබල ආහාරවේලක් අවශ්‍ය වෙයි. මේ සමබල ආහාරවේලට ශක්තිය, වර්ධක මෙන්ම ආරක්ෂක ආහාරත් අඩංගු විය යුතුය. එමඟින් කායිකව මෙන්ම මානසිකවත් ශරීරය ශක්තිමත් වෙයි. එහෙත් මෙමඟින් ලැබෙන පෝෂකවල අඩුවක් සිදු වුණොත්, එනම් ශක්තිය හරිහැටි නොලැබුණහොත් ශරීරය අසරණ තත්ත්වයට පත් වෙයි. ජීවත්වන අයට පමණක් නොව ඔවුන්ගෙන් බිහිවෙන මතු පරපුරත් මේ නිසා අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ගොදුරු වෙයි.
මේ ආකාරයට විශේෂයෙන් ලැබිය යුතු පෝෂකයක් ලෙස ෆෝලික් අම්ලය සඳහන් කළ හැකිය. විටමින් ෑ සංකීර්ණයට අයත් විටමිනයක් වන ෆෝලික් අම්ලය නිසි මාත්‍රාවෙන් ශරීරයට නොලැබුණොත් මවකගේ කුස තුළ වැඩෙන දරුවාගේ ජීවිතයට විශාල බලපෑමක් කළ හැකිය. පලා වර්ග, රනිල වර්ගයේ ඇට වර්ග, දොඩම්, නාරං වැනි පලතුරු මෙන්ම ධාන්‍යවලත් ෆෝලික් අම්ලය බහුලව අඩංගු වේ. ඖෂධ ලෙස භාවිතා නොකළාට ස්වාභාවිකව මේ ආහාර නිසි පමණින් ආහාරයට එකතු කරනවා නම් ෆෝලික් අම්ලය ඌන වීමෙන් ඇතිවෙන අහිතකර ප්‍රතිඵල අඩු කර ගත හැකි වෙයි.
ෆෝලික් අම්ලය අඩුවීම කලලයට බලපාන්නේ මෙහෙමයි
අදහස් දැක්වීම: |
දරුවෙකු මවුකුස පිළිසිඳී පළමු මාස 2 තුළදී දරුවාගේ ඉන්ද්‍රිය විකසනය වීමේ මූලික අඩිතාලම සකස් වෙයි. ඒ වන විට මව නිසි පෝෂණයෙන් යුතුව, එනම් සිරුරේ උසට සරිලන බර, එනම් ඊඵෂ අගය 18.5 - 24.9 අතර පවතී නම් නීරක්තිය, අයඩින් හා අනෙකුත් විටමින් ඛනිජ ඌනතාවෙන් තොර නම් කලලය නිසි අයුරින් වර්ධනය වෙයි. එනම් දිනෙන් දින කලලයේ බර සහ දිග වැඩි වෙන අතරම ශරීරයේ අභ්‍යන්තර පටක පද්ධති නිසි අයුරින් වර්ධනය වෙයි. එහෙත් මවගේ ශරීරයේ හිමොග්ලොබින් අඩු වුණොත් කලලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙයි. ශීඝ්‍රයෙන් වැඩෙන කලලයේ විවිධ ඉන්ද්‍රිය පද්ධතීන්ට එනම් ස්නායු පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට, වකුගඩු වර්ධනයට, මාංසපේශී වර්ධනයට ආදී විවිධ වර්ධන ක්‍රියාවලි මේ නිසා බාලවීමක් සිදු වෙයි.
කලලයේ සෛල මුල් මාස දෙක තුළ වේගයෙන් බෙදී ජාන මගින් ලබා දෙන මඟපෙන්වීම අනුව ඒ ඒ ඉන්ද්‍රිය පද්ධතිවලට විකසනය වීමේ අඩිතාලම වැටෙයි. දරුවාගේ ස්නායු පද්ධතිය විකසනයේ මුල් අවධියේ ස්නායුක නළය ලෙස නළයක හැඩයෙන් විකසනය වෙයි. එහි ඉහළ කොටස කපාලය හා මොළය වශයෙනුත්, ඉන් පහළ කොටස සුෂුම්නාව, කශේරුකාව ලෙසත් වර්ධනය වෙයි. සාමාන්‍යයෙන් පළමු මාසය, එනම් දරුවා පිළිසිඳ දින 28 ක් ගතවන විට මේ මූලික කටයුතු සිදු වී අවසන් වෙයි.
මේ ස්නායුක නළයේ විකසනය සඳහා ෆෝලික් අම්ලය විශේෂයෙන් වැදගත් වන බව පරීක්ෂණවලින් සනාථ වී ඇත. ස්නායු තලයක් ලෙස පවතින මෙම කොටස නළයක් ලෙස සැකසී සංවෘතවීමේ ක්‍රියාවලියට ෆෝලික් අම්ලය අවශ්‍ය වෙයි. එනමුත් මේ මුල් මාසය තුළ ෆෝලික් අම්ලයේ ඌනතාවක් සිදුවුවහොත් මේ අයුරින් නළය නිසි අයුරින් විකසනය නොවේ.
එමෙන්ම මොළයේ වර්ධනයට, කපාලයේ වර්ධනයට අවශ්‍ය අනෙකුත් පෝෂක සමග විශේෂයෙන්ම ෆෝලික් අම්ලය අඩුවීම විශාල බලපෑමක් කරයි. ඒ අනුව මොළයේ කොටස් වර්ධනය ඇනහිටින අතර ආබාධ සහිත දරුවෙකු බිහිවීමට ඇති අවදානම වැඩි වෙයි. එමෙන්ම සුෂුම්නාව හා එය ආරක්ෂා වී ඇති කශේරුකාව තුළින්ද අසාමාන්‍යතා තත්ත්වයක් ඇති වෙයි.
සුෂුම්නාව ආරක්ෂා වී ඇති පටල, කශේරුකා බටය තුළින් පිටතට නෙරා යාම, මෙම ස්නායුක බටය හරිහැටි සංවෘත නොවීම නිසා සිදුවෙයි. මෙම තත්ත්වය ‘ස්පයිනා බිෆිඩා’ ලෙස හඳුන්වයි. එම කශේරුකා බටයේ විවෘත වූ තැන්වලින් සුෂුම්නා ආවරණ පටල, ස්නායු පිටතට නෙරා ඒම සිදුවන අතර ඊට අනුරූපව ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතුවෙයි. මෙය වළක්වා ගත හැකි තත්ත්වයක් නිසා ගර්භිණීවීමට මාස 3කට පෙර සිට ෆෝලික් අම්ලය දිනපතා ගැනීම නිර්දේශ කරයි. ඒ මිලිග්‍රෑම් 01 පෙත්තක් වශයෙනි.
දිනකට අවශ්‍ය වන්නේ ෆෝලික් අම්ලය මයික්‍රොග්‍රෑම් 400 වැනි සුළු ප්‍රමාණයකි. දැනට ලබා ගත හැක්කේ මිලි ග්‍රෑම් 1 පෙති නිසා දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා මඳක් වැඩි වුවද එහි අහිතකර බලපෑමක් ඇති වී නැත.
ඒවාගේම රුධිරයේ රතු සෛල වර්ධන ක්‍රියාවලියට ජාන වෙනස්වීමට බලපාන ෘභ් අණුවේ වෙනස්වීම් සිදුවීම වැළැක්වීම මගින් පිළිකා තත්ත්ව ඇතිවීම වළක්වා ගැනීමටද ෆෝලික් අම්ලය උපකාර වේ. එමෙන්ම ප්‍රජනන ක්‍රියාවලියේ විවිධ අවස්ථා සඳහා ද ෆෝලික් අම්ලය වැදගත් වේ. ඒ අනුව බලන විට මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්ව පවතින ස්නායුක නළයේ ආබාධ සහිත දරුවන් බිහිවීම, පිළිකා ඇතිවීම වැළැක්වීම හා පාලනය, ප්‍රජනන ක්‍රියාවලියේ විවිධ අවස්ථා සමායෝජනය, රතු සෛල නිෂ්පාදනය ආදී විවිධ කාර්යයන් සඳහා ෆෝලික් අම්ලය වැදගත් වෙයි. එමෙන්ම රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම වැළැක්වීමටද හැකි වේ. ඒ නිසා ළමා අවදියේ සිටම පලා වර්ග, පලතුරු, ධාන්‍ය වර්ග නියමිත ප්‍රමාණවලින් ආහාරයට එක් කර ගැනීම, ෆෝලික් අම්ලය එක් කළ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම මේ සඳහා උපකාරී වෙයි.
එසේ වුවහොත් මෙම ඌනතාව නිසා ඇතිවන අහිතකර බලපෑම් වළක්වා ගැනීමට මෙන්ම පාලනය කර ගැනීමටද හැකි වනු ඇත.
සුබෝධිනී පෙරේරා
Leave a comment