රට පුරාම influenza

මේ දිනවල රෝහල්වලින් වාර්තාවන රෝගීන් අතර වැඩි පිරිස උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයයි. ඒ අතරින් වැඩි පිරිස කුඩා සහ පාසල්වියේ දරුවන්. ඔවුන් බහුතරයකට වැලඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය යි. එහෙත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොතබීම සතුටක්.

  • මේ කාලයේ  රෝගීන් වැඩිවෙන්නේ  ඇයි?                                                                                   

සාමාන්‍යයෙන් මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා  ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට පුළුවන්. ඊට අමතරව ඩෙංගු, ඇදුම, හෑන්ඩ් ෆූට් ඇන්ඩ් මවුත් ඩිසීස් වැනි රෝගද මේ දිනවල පැතිරෙමින් තිබෙනවා.
වැසි සහිත කාලගුණය, ශීතල පරිසරය මෙම වයිරස පැතිරයෑමට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කරනවා.

  • මොකක්ද මේ ඉන්ෆ්ලුවෙන්සා?                            

ඉන්ෆ්ලුවෙන්සා  වයිරසයකින් බෝවන රෝගයක්. මෙහිදී ආසාදනයට ලක් කරන්නේ ශ්‍වසන පද්ධතිය යි.

  • රෝග ලක්ෂණ                                              

සාමාන්‍ය උණ තත්ත්වයකදී දක්නට ලැබෙනවාට වඩා වැඩි රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදය වූ පසු දක්නට පුළුවන්.
තද උණ
කැස්ස
උගුරේ ආබාධ‍
නාසයේ සොටු ගැලීම
මස් පිඩු වේදනාව
හිසරදය
තෙහෙට්ටුව‍
වමනය
ඇස් යට වේදනාව

  • කෙතරම් කාලයක් රෝගය තිබෙනවාද?

ඉන්ෆ්ලුවෙන්සා උණ සුව වෙන්න සතියක පමණ කාලයක් ගතවෙනවා. පළමු පැය 48 ක් යනතුරු තද උණ පවතින්න පුළුවන්. එහෙත් දවස් දෙකෙන් පසුවත් දරුවාට තද උණ ඇත්නම් වමනය, මූත්‍ර පහවීම අඩුවීම, සිරුරේ රතු ලප ඇතිවීම, මලානිකබව ඇත්නම් ඉක්මනින් රජයේ රෝහලක් වෙත දරුවා රැගෙනයාම වඩාත් සුදුසුයි. ඊට හේතුව එම තත්ත්වය කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු නිසයි.

  •  භයානක රෝගයක්ද?                                     

සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ලෙස වරදවා වටහාගෙන දරුවාට නිසි ප්‍රතිකාරයක් නොකර සිටියොත් එය නියුමෝනියා රෝගය දක්වා බරපතළ විය හැකියි. එබැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත්. එබැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගෙන දරුවා විවේකීව තැබීමෙන් ඉක්මනින් රෝගය සුව කරගත හැකියි.

  •  ඉක්මනින් බෝවෙනවා                                           

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතා පහසුවෙන් බෝවන රෝගයක්. එබැවින් රෝගී දරුවා පාසලට හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලට යැවීමෙන් වැළකීම දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම අනෙක් දරුවන්ගේ සෞඛ්‍යයටද හිතකරයි. එමෙන්ම මුඛ ආවරණයක් පැලඳීම ඉතා සුදුසුයි.

  • දරුවාට ඉන්ෆ්ලුවෙන්සා වැලඳුණොත්        

ඉන්ෆ්ලුවෙන්සා වැලඳී ඇත්නම් දරුවා විවේකීව තැබීම අත්‍යවශ්‍ය ය. විජලනයෙන් වළක්වා ගැනීම සඳහා නිතර පාන වර්ග බීමට දෙන්න. පාචනය තත්ත්වය ඇත්නම් නිතර ජීවනී දිය යුතුයි. ආහාර ගන්නේ නම් දිරවීමට පහසු ආහාර ලබාදෙන්න ඕනෑ.  සීතල ආහාර දීමද සුදුසු නැහැ. එමෙන්ම දරුවාගේ පෝෂණය ඉහළ මට්ටමක පවත්වාගෙන යා යුතු අතර විජලනයවීමෙන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය යි.

  •  පැරසිටමෝල්  දෙන්නේ මෙහෙමයි                            

ඉන්ෆ්ලුවෙන්සා වයිරසය සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතුම නැහැ. එමෙන්ම දරුවාට තදින් උණ තිබුණත්  පැය හයකට වරක් මිස ඊට අඩු කාලයකින් පැරසිටමෝල් ලබා නොදීමට වගබලාගත යුතුයි.  විවිධ නම්වලින් පැරසිටමෝල්  ඖෂධය පෙති සහ දියර ලෙස වෙළෙඳපොළේ තිබෙන බැවින් රෝහලෙන් ලබාදුන් හෝ වෛද්‍යවරයා විසින් නියම කර ඔබ වෙළෙඳපොළෙන් මිලදී ගත් පැරසිටමෝල් දියරය හෝ පෙති පමණක් ලබාදීමට මතක තබාගන්න. මක්නිසාදයත් විවිධ නම්වලින් පැරසිටමෝල් වෙළෙඳපොළේ තිබෙන බැවින් ඒවායේ ඇත්තේ එකම ඖෂධයබව වටහා නොගෙන වර්ග දෙක තුනක්ම ලබාදීමේ අවස්ථා දක්නට ලැබෙනවා. එය දරුවාට බරපතළ සංකූලතා ඇති කරවන්නක්. විශේෂයෙන් දරුවාගේ  වකුගඩුවලට අධික පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීම සෘජුවම බලපානවා.

  •  අවදානම් අය කවුද?                                      

ළදරුවන්, ඇදුම රෝගයෙන් පෙළෙන අය, වැඩිහිටියන්, නිදන්ගත (වකුගඩු, අක්මා, පිළිකා, දියවැඩියාව) රෝගවලින් පෙළෙන මෙන්ම ප්‍රතිශක්තිකරණයේ දුර්වලතා ඇති අයවලුන්ට ඉන්ෆ්ලුවේසා වයිසරය ඉක්මනින් නරක අතට හැරෙන්න පුළුවන්.  එබැවින් හොඳම දේ  රෝග ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමයි.

  •  කලබල වෙන්න දෙයක් නැද්ද?                                    

ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳෙන සැම අයෙකුටම නියුමෝනියාව වැලඳීමේ අවදානමක් හෝ මේ දිනවල නියුමෝනියාව වැලඳෙන රෝගීන්ගේ  වැඩිවීමක් හෝ දක්නට නැහැ. එහෙත් මෙම රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීම වඩාත් වැදගත් වන්නේ සහ ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වන්නේ රෝගය බරපතළවීම වළක්වා ගැනීම සඳහාය.

 

ARTRA’s Art Experiential Festival Read Previous

ARTRA’s Art Experiential Festival

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් ....... Read Next

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් .......

Realted Post

Leave a comment