ලාදුරු පාසල් දරැවන් අතර පැතිරීමේ අවදානමක්
මෙරට ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය. මේ සටහන ලාදුරු රෝගය පිළිබඳව ය.
ලාදුරු මොන වගේ ලෙඩක්ද?
ලාදුරු යනු මයික්‍රොබැක්ටීරියම් ලෙප්රි නැමති බැක්ටීරියාවකින් බෝවන සමස්ත ස්නායු පද්ධතියටම හානි සිදු කරන රෝගයකි. මෙම රෝගය බෝවන්නේ රෝගය බෝ කළ හැකි මට්ටමේ සිටින පුද්ගලයෙකුගේ කෙළ හෝ සෙම බිඳිති වෙනත් පුද්ගලයකුගේ ශ්වසන පද්ධතියට ඇතුළුවීමෙනි. ලාදුරු රෝගය බෝවන සහ බෝනොවන ලෙස කොටස් දෙකක් තිබේ. කුමන වර්ගය වැලඳුනත් නොකඩවා නිසි ප්‍රතිකාර ගැනීමෙන් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි ය. එමෙන්ම නිසි ප්‍රතිකාර ගන්නා රෝගියෙකුගෙන් වෙනත් අයට බෝවන්නේද නැත. එමෙන්ම ජානගත එනම් පරම්පරාවෙන් පැවතෙන රෝගයක්ද නොවේ.
රෝගය මතුවෙන හැටි
යම් පුද්ගලයෙකුගෙන් ලාදුරු රෝග ලක්ෂණ මතුවන්නේ එම බැක්ටීරියාව සිරුර තුළ වසර තුනක පමණක් කාලයක් පැවතීමෙන් අනතුරුවය. සමහරවිට එය වසර 20 ක් තරම් දිගු කාලයක් වුවද විය හැකිය. බැක්ටීරියාව සිරුරට ඇතුළුවූවන්ගෙන් රෝගය මතුවන්නේ 10% ක් තරම් පිරිසකටය. අනෙක් 90%කගේම රෝගකාරක බැක්ටීරියාව ප්‍රතිශක්තිය මගින් විනාශ කර දමයි. මෙම රෝගය ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක අයෙකුට වැලඳිය හැකිය.
රෝග ලක්ෂණ
ලාදුරු රෝගයේ මූලික ලක්ෂණය වන්නේ සමේ පැහැයට වඩා ළා පැහැයක් ඇති ලපයක් හෝ කිහිපයක් ඇතිවීමය. මෙම ලප කැසීමක් හෝ දැනීමක් නැත. සමහරවිට හිරි වැටුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. ලප ආසන්නයේ ඇති ස්නායුවල වේදනාවක් ඇතිවීම හෝ ගනවිමක් දැනිය හැකිය. රෝගය සිරුර පුරාම පැතිරෙනවිට කිසිදු දැනීමක් නැති වුවත් රතු පැහැති විශාල ලප සිරුර පුරාම දක්නට ලැබේ. අත්පාවල හිරි ගතිය ඇතිවන නිසා මස්පිඩු දුර්වල වේ. ඉක්මණින් සුව නොවන තුවාල ද ඇති වේ.
මෙම ලප බොහෝවිට ඇතිවන්නේ මුහුණ, අත් පිටුපස, පාද හෝ පිට පෙදෙසේ ය. ලප මතුපිට වියළිබවක් හෝ රෝම නොවැවීමද දක්නට පුළුවන.
හරියටම ලාදුරුබව දැනගන්නේ කෙහොමද?
ලාදුරු රෝගය හඳුනා ගැනීමට රුධිර පරීක්‍ෂණ නැත. මූලිකවම හඳුනාගන්නේ සංවිධානයක් නැති ලප කැලැල් සහ හිරිගතිය පරීක්‍ෂා කිරීමෙනි. එහෙත් නිශ්චිතවම ලාදුරු දැයි සොයා ගැනීමට රෝගියාගේ ලප ගැටිතිවලින් ලබාගන්නා සාම්පලවල රෝගකාරක බැක්ටීරියාව ඇත්දැයි රසායනාගාර පරීක්‍ෂණයක් සිදු කරයි.
දරුවන් අතර ව්‍යාප්තවීම වැඩි වෙලාද?
ලාදුරු රෝගය වැලඳී ඇතැයි සොයාගෙන ඇති දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතය අවුරුදු 10 - 12 අතර පසුවන්නන් ය. දරුවෙකුට අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවීමෙන් කියැවෙන්නේ එම නිවෙස අවට හෝ දරුවා ඇසුරු කරන පුද්ගලයින් අතර ලාදුරු රෝගියකු සිටින බවය. කෙසේ වෙතත් දරුවාගේ සමේ සැක සහිත ගැටිත්තක් හෝ ලපයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුය. ප්‍රතිකාර ගන්නා කාලයේදී දරුවාට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි අතර දිනපතා පාසල් යැවිමද ගැටලුවක් නොවේ.
ප්‍රතිකාර කරන හැටි
ලාදුරු සාර්ථකව සුවකළ හැකි ඖෂධ අපේ රටේද ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගකාරක බැක්ටීරියාව සම්පූර්ණයෙන් ම විනාශ කළ හැකි ප්‍රතිජීවක ඖෂධ නොමිලයේ ලොව පුරා රටවල්වලට ලබාදෙයි. අපේ රටේද එම ඖෂධ භාවිත කරන අතර එමගින් මේවනවිටත් දහස් ගණනක් රෝගීන්ට සුවය ලබා දී තිබේ. බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගය වැලඳුණු රෝගියෙකුට ඖෂධ වර්ග 2ක් මාස 6ක කාලයක් ලබාදෙන අතර බෝවන වර්ගයේ රෝගයට ඖෂධ වර්ග 3 ක් වසරක කාලයක් ලබාදෙයි. නොකඩවා ප්‍රතිකාර ගැනීමෙන් ස්නායු දුර්වලතාවක් රහිතව රෝගය සුව කර ගත හැකිය.
ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් බෝවෙන්නෙ නෑ
ලාදුරු රෝගයට නිසි ප්‍රතිකාර ගන්නා රෝගයෙකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ නැත. එමෙන්ම මෙම ප්‍රතිකාර නිසා බරපතළ අතුරු ආබාධ ඇතිවීමද අවම මට්ටමක පවතී. සායනවලදී රුධිර පරීක්ෂණ මගින් අතුරු ආබාධ කල්තබා හඳුනාගැනීම සහ ඊට පිළියම් යෙදීම ඊට හේතුවයි. එමෙන්ම ප්‍රතිකාර ලබාගන්නා අවදියේ දී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ද පුළුවන.
ගැබිනි මවකට හැදුණොත්
ගර්භිණී මවකගෙන් කලලයට රෝගය ආසාදනය නොවේ. මවු කිරිවලින් දරුවාට රෝගය බෝ වන්නේද නැත. ගැබිනි මවුවරුන්ට හා කිරිදෙන සමයේ දී පවා ප්‍රතිකාර ලබාගැනීම ගැටලුවක් නැත.
බෝවිය හැකි අවස්ථා
නිසි ප්‍රතිකාර නොගන්නා රෝගියකු සතියකට අවම වශයෙන් පැය 20ක්වත් මාස තුන හතරකවත් සමීප ඇසුරක් නිසා ලාදුරු විසබීජය ශරීරගත වේ. ලාදුරු රෝගියකු සමග මිනිත්තු 15-20ක් පමණ සමීපව කතාබහ කිරීමෙන් ලාදුරු රෝගය බෝ නොවේ. නිවෙසෙහි ලාදුරු රෝගය බෝ කළ හැකි මට්ටමේ රෝගියකු සිටී නම් එම රෝගියාගෙන් රෝගය බෝ වීමේ අවදානම නිවෙසේ ජීවත්වන පුද්ගලයන්ට තිබේ.
Leave a comment