සතුටු මුවයි සුවැති සිරුරයි

ගණන් නොගෙන සිටියාට, ප්‍රතිකාර දිනෙන් දින පමා කළාට සමහරවිට ජීවිත කාලයේම ප්‍රතිකාරයක් නොකර සිටියාට දන්ත රෝග කියන්නේ ලෝකයේ බහුලව රෝගය බව ඔබ දැන සිටියාද? ඒ විතරක්ද උපතින් ඇතිවන දන්ත විකෘතිතා සහ අනතුරුවලින් ඇතිවන ගැටලු හැරුණු කොට අනෙක් සියලුම දන්ත රෝග අපේ වැරදි චර්යා රටා නිසා හටගන්නාබව දැන සිටියාද?

දන්ත රෝග නිසා ආර්ථිකයට සිදුවන බලපෑම,  වැයවන මුදල් ප්‍රමාණය,  දරුවන්ට නැතිවෙන පාසල් දින ප්‍රමාණය අති විශාලයි. ඒ විතරක්ද? දන්ත රෝග නිසා ඇතිවන වේදනාව, මානසික පීඩනයත් අති විශාලයි.
ඉතින් සුවැති මුවක් කෙතරම් වටිනවාදැයි මේ සටහනෙන් ඔබට තේරුම් ගන්න හැකිවේවි.

දන්ත රෝග කිහිපයක්
දත් දිරායාම
විදුරුමස් රෝග
මුඛ පිළිකාව
විකලාංග රෝග

දන්ත රෝග බහුල වුවත් ඒ සියල්ල වළක්වා ගත හැකි බැවින්  දන්ත රෝගවලින් වැළැකී නිරෝගී දත් දෙපළක් පවත්වා ගැනීම අපහසු වැඩක් නොවෙයි. ඒ සඳහා ලංකාව පුරාම පිහිටි රෝහල්වල දන්ත සායන පැවැත්වෙනවා. ඒවායේ සියලුම ප්‍රතිකාර සිදු කරන්නේ නොමිලේ.  ලෝකයේ මෙතරම් නොමිලේ දන්ත රෝග සඳහා ප්‍රතිකාර සිදු කරන රටක් නැති තරම්. එහෙත් අපේ රටේ ජනගහනයෙන් සියයට විස්සක් කිසිම දවසක දන්ත සායනකයට ගිහින් නැතිබව විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, එහෙම පිරිසකුත් සිටිනවා. විශේෂයෙන්ම වැඩිහිටියන්. විදුරුමස් රෝග වැඩිහිටියන් අතර සුලබවීමටත් මේ හේතුව බලපා තිබෙනවා.

  • හරියටම දත් මදින විදිය 

ඔබ දන්නවාද අපේ රටේ ජනගහනයෙන් සියයට පනහක් හරියට දත් මදින්න දන්නේ නැතිබව. ඒවගේම දත් මදින ක්‍රමය දැනගෙනත් තමන්ගේ පහසුවට එය අමතක කර දමන අයත් සිටිනවා.
පළමුවෙන්ම මෘදු කෙඳි සහිත දත් බුරුසුව හොඳින් සෝදා ජලය ඉවත් කරගන්න ඕනෑ.  දරුවෙකුට නම් මුං ඇටයක ප්‍රමාණයක දන්තාලේපත් වැඩිහිටියෙකුට නම් කඩල ඇටයක පමණ දන්තාලේප ප්‍රමාණයකුත් හොඳටම ඇති. ඉන්පසු  විදුරුමස සහ දත් විනාඩි දෙක තුනක් මෘදුව මැදීම ප්‍රමාණවත්. දතේ හොඳින්ම මැදෙන්න ඕනෑ තැන විදුරුමසේ දාරයයි. එතැන මදින්නේ නැතිව කටේ හැමතැනම දත් බුරුසුව ගෙනගියාට වැඩක් නැහැ.
බුරුසුවේ ජලය හොඳින් ඉවත් කරගෙන මැදීම ආරම්භ කළ යුත්තේ අනවශ්‍ය ලෙස පෙණ නැගීම නැවැත්වීමටයි.  එවිට ෆ්ලොරයිඩ් සහිත දන්තාලේපය දත් අතර මඳ වේලාවක් රැඳෙයි. එය දත්වල ආරක්ෂාවට ඉතා අවශ්‍යයි. ඉන්පසු එක්වරක් පමණක් කටට ජලය ගෙන හොඳින් සෝදා හරින්න. නැවත බුරුසුවෙන් මදිමින් නැවත නැවත සෝදා දැම්මොත් දත්වල රැඳුණු ෆ්ලෝරයිඩ් ඉවත් වෙයි. එයින් සිදුවන්නේ දත්වලට අත්‍යවශ්‍ය ෆ්ලෝරයිඩ් ආරක්ෂාව අහිමිවීමයි.

  • දත් දිරා යාමේ ලක්ෂණ

දත් මත සුදු හෝ දුඹුරු හෝ කළු පැහැති පැල්ලම් ඇතිවීම.
දත් අතර ආහාර කැබැලි රැඳී පැවතීම
දත් හිරි වැටීම
දත් කැබැලි කැඩී යාම සහ දත් කුහර ඇතිවීම
වේදනාව ඇතිවීම

  • ප්‍රතිකාර  තිබෙනවාද? 

දත් දිරායාම වැළැක්වීමට වගේම දිරාගිය දත් නැවත යථා තත්ත්වයට පත් කිරීමටත් විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත වෙනවා. එම ප්‍රතිකාරය කුමක්දැයි නිශ්චිතවම තීරණය කළ හැක්කේ දන්ත වෛද්‍යවරයෙකුට පමණයි.  
ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය
දතේ දිරා ගිය කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය මගින් දත යළි මුල්හැඩයට සාදා ගැනීම.
තාවකාලික පිරවුම 
(මෙය කල්ක කුහරය ආසන්නයට විහිදී ගිය කුහර සඳහා දමන ඖෂධීය පිරවුමක්. මෙය එතරම් ශක්තිමත් නැහැ. මෙය දමා මාස දෙක තුනක් යනතුරු වේදනාවක් ඇති නොවේ නම් ස්ථිර පිරවුමක් යොදාගන්න පුළුවන්.   තාවකාලික පිරවුම යෙදූ පසුද වේදනාවක් ඇති වන්නේ නම් එයින් කියැවෙන්නේ දතේ කල්ක කුහරය දක්වාම ආසාදනය පැතිර ඇති බවයි.  ඒ සඳහා ඇති ප්‍රතිකාරය වන්නේ  ස්නායු පිරවුම හෝ දත ගලවා ඉවත්  කිරීමයි.

  • ස්නායු පිරවුම

කල්ක කුහරය දක්වා පැතිරුණු කුහර ඇති දත් වේදනා සහිත හෝ රහිත වෙන්නත් පුළුවන්. එම දත් රැක ගැනීමට නම් කල්ක කුහරය තුළ ඇති පටක ඉවත් කර එයට පිරවුම් ද්‍රව්‍ය යොදා පුරවන්න ඕනෑ.
 එහෙත් මේ කිසිදු ක්‍රමයකින් දත බේරා ගැනීමට නොහැකි නම් සිදු කරන්නේ දිරාගිය දත හෝ ඉතිරිවුණු දත් කැබැල්ල ගලවා ඉවත් කිරීමයි. එහෙත් එම හිඩැසට අලුත් දතක් දමා ගැනීමේ හැකියාව තිබෙනවා. එය තරමක් වියදම් සහිත වැඩක්.

  • ඔබ නොදත් දේ

අප කෙතරම් දන්ත රෝග ගැන කතා කළත් දත් දිරායාම සිදුවෙන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?   මුල් කාලයේ පොඩි කුහර හැදෙනවා,  ඉන්පසු එම පොඩි කුහර නැතිවෙනවා. ඒ කුහර නැතිවෙන්න කාලයක් දෙන්න ඕනෑ.  එසේ අඩුම තරමින් පැය දෙකකවත් විවේකයක් නොදී නැවතත් පැණි රස කනවා නම් දත් දිරායාම වළක්වා ගැනීම අපහසුයි.  එබැවින් දත්වලට අගුණයි කියා පොඩි දරුවන්ට පැණි රස කෑම  සම්පූර්ණයෙන් ම නවතා දැමීම ප්‍රායෝගික නැහැ. එසේ කරන්නත් බැහැ. ඒ නිසා කළ යුතු හොඳම දේ නිතරම පැණි රස කෑමට නොදී සිටීමයි. එවගේම පැණි රස කෑමක් ගත් පසු දත් මැදිය නොහැකි නම් අඩු තරමින් හොඳින් කට සෝදා දැමීමට හෝ දරුවන් හුරු කළ යුතුයි.

  • දවසකට දෙවරක්වත් දත් මදින්න

ඔබ දන්නවාද ලංකාවේ 20% ක් ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපවලින් දත් මදින්නේ නෑ.  එය ඉතාම ගැටලු සහගතයි. ඒ වගේම  ජනගහනයෙන් 50% ක් දත් බුරුසුවෙන් නිවැරදිව මදින්නේ නැහැ. දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් රෑට දත් මදින්නෙත් නැහැ. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් වැඩිම වගකීම තියෙන්නේ මවුපියන්ට. පොඩි දරුවො කොහොමත් දත් මදින්න කම්මැළියි. ඔවුන් එය කැමති ක්‍රියාවක් නොවෙයි. එහෙත් රාත්‍රී නින්දට යාමට පෙර දත් මැදීමට නම් දරුවා හුරු කිරීම කුඩා කල සිටම කළ යුතුයි. එමෙන්ම ඒ සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතයද අත්‍යවශ්‍ය යි.

  • දන්ත සායනයකට දරුවා රැගෙන යන්නේ නම්

දන්ත සායනයට දරුවා රැගෙන යනවිට දත් බුරුසුවයි, භාවිත කරන දන්තාලේපයයි රැගෙන යන්න.  දවස පුරා දරුවා ආහාර ගන්න පුරුදු වී සිටින ආකාරය ලියාගෙන යන්න   වෛද්‍යවරයාට දරුවාට ප්‍රතිකාර කිරීමට සහ රෝගයට හේතු සොයා ගැනීමට එය මහත් පහසුවක් වෙනවා.

  • අලුතෙන්ම හොයාගෙන තිබෙන දේවල්

කටේ රෝග නිසා හෘදයාබාධ, දියවැඩියාව, උපත් සංකූලතා ඇතිවෙනබව අලුත්ම  පර්ෂයේෂණ මගින් සොයාගෙන තිබෙනවා. කට අපිරිසුදු නම් පෙණහලු රෝග, නියුමෝනියා තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.  විශේෂයෙන්ම වකුගඩු බද්ධකළ අයට මුඛයේ පිරිසිදුබව අත්‍යවශ්‍යයි.  කට අපිරිසුදු නම්  සිරුර අභ්‍යන්තරය අපිරිසුදු වෙනවා. සිරුර තුළට විෂබීජ ඇතුළුවෙන්න ඇති ඉඩකඩ ඉතා විශාලයි.

  • අපි කන සීනි ප්‍රමාණය ගැන දන්නවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පුද්ගලයෙකුට නිරෝගීව ඉන්න නම් වසරකට සීනි කිලෝ දහයක් ප්‍රමාණවත් කියලයි. එහෙත් ලංකාවේ එක් පුද්ගලයෙක් වසරකට දල වශයෙන් සිනි  කිලෝ ග්‍රෑම් 34 ක් ආහාරයට ගන්නවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කරන ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් ඉහළයි. එබැවින් සීනි සහ පැණි රස කෑම බීම ගැනීම හැකි තරම් අඩු කිරීම දත්වල ආරක්ෂාවට පමණක් නොව තවත් ලෙඩ රෝග රැසකින් ඔබව ආරක්ෂා කරයි.

  • ෆ්ලොරයිඩ් සහිත දන්තාලේප විසද?

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප  විස යැයි සමහර පුද්ගලයින් අතර දුර්මතයක් තිබෙනවා. එහෙත් එහි කිසිදු සත්‍යතාවක් නැහැ. දන්ත රෝග සම්පූර්ණයෙන්ම නිවාරණය කරගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදිව දත් මැදීම සහ සුළු හෝ දන්ත රෝගී තත්ත්වයක් දක්නට ඇත්නම් දන්ත රෝග සායනයකට ගොස් නිසි උපදෙස් ලබා ගැනීමයි.

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Previous

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Next

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

Realted Post

Leave a comment