සිරුරේ ලේ අඩුවෙන Thalassemia

ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම (මැයි) 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන්  වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැනයි මේ සටහන.

  • මොනවගේ රෝගයක්ද?

තැලසීමියාව නම් ජානගත රෝගය දරුවෙකුට  වැලඳෙන්නෙ මවුපියන්ගෙන්. එනම් මෙය උපතේදීම ඇතිවන රුධිරගත රෝගී තත්ත්වයක්. ජානමය වෙනසක් මගින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක්. මහා තැලසීමියාව යනු  තැලසීමියාවේ වඩාත් බරපතළ තත්ත්වයයි.

  • අපේ රටේ තත්ත්වය කොහොමද?

මේ වනවිට අපේ රටේ දරුවන්  දෙදහසක් පමණ මහා තැලසීමියා රෝගීන්බවට පත්ව සිටිනවා. මිලියන භාගයක් පමණ පිරිසක්  තැලසීමියා වාහකයින් ලෙස රට පුරාම සිටිනබවටද ගණන් බලා තිබෙනවා.

  • හැදෙන්නෙ කොහොමද?

තැලසීමියාව සහිත දරුවෙකු උපදින්නේ තැලසීමියා රෝගී වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන එක්වීමකින් පමණයි. එසේ නොමැතිව මෙය බෝවීමකින් හෝ වෙනත්  හේතුවකින් වැලඳෙන රෝගයක් නොවෙයි.
දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් තත්ත්වය ඉතා අවම වෙනවා. රතු රුධිරාණුවක ආයු කාලය දින එකසිය විස්සයි. මහ තැලසීමියා තත්ත්වය ඇති කෙනකුගේ සිරුරේ  රතු රුධිරාණුවක් තියෙන්නෙ සතියක් දෙකක් වගේ ඉතාම කෙටි කාලයක්.. මෙම දරුවන්  නිරෝගීව ඉපදී  මාස තුන හතරක් යනවිට  සුදුමැලි වෙන්න, කහ පාට වෙන්න පටන් ගන්නවා දරුවා කෑම කන්නෙ නැහැ,  කිරි උරා බොන්නේ නැහැ.  නිතරම  උණ සෑදෙනවා.  මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවිට ඒ තැලසීමියා තත්ත්වයක් දැයි අම්මට අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. එහෙත්   රුධිර පරීක්ෂණයකින් මේ තත්ත්වය හඳුනාගන්න පුළුවන්.

  • රෝගය හඳුනාගත් පසු  

මහා තැලසීමියා රෝගී දරුවෙකුට ජීවිතය පවත්වා ගැනීමට නම් අඩුම තරමින් මාසයකට වරක්වත් රුධිරය පාරවිලනය කළ යුතුයි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ නිසා ලේ දන්දීමේ වැඩසටහන්වලින් ලේ බැංකුවලට එකතුවන රුධිරයෙන් වැඩිම ප්‍රමාණයක්  භාවිත කරන්නේ මේ රෝගී දරුවන්ටයි. රුධිරය  ලබාදීමේදී සිරුරට යකඩ ද එකතුවෙන අතර  එම යකඩ දරා ගැනීමේ හැකියාවක් මේ දරුවන්ට නැහැ. මේ නිසා අතිරික්ත යකඩ ප්‍රමාණය සිරුරෙන් ඉවත් කිරීමටද  නැවත ඖෂධ ලබාදිය යුතුයි. එසේ නොකළොත්  හෘදය අකර්මණ්‍යවීමට,  ඇට මිදුලු ප්‍රසාරණය වී ඉදිමීමට, අග්න්‍යාශයේ යකඩ තැන්පත් වී දියවැඩියාව ඇතිවීමට. අක්මාවට හානිවීමට පුළුවන්. තැලසීමියාව රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන්නේ  මේ සියලු සංකූලතා ද මැඬපවත්වා ගනිමින්  ප්‍රතිකාර කළ යුතු නිසයි.

  • වාහකයෙක් හඳුනාගන්නෙ කොහොමද?

තැලසීමියා වාහකයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ . වාහක තත්ත්වය හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින් පමණයි. වාහකයා තැලසීමියා රෝගියෙක් නොවන අතර එම රෝගය ඊළඟ පරම්පරාවට ගෙන යන්නේ එම වාහකයා යි.  
ඔබ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full blod count♦ - FBC)කින් මේ තත්ත්වයේ මූලික දැනුමක් ලබාගත හැකියි. එනම් එම පරීක්ෂණ සටහනේ  හිමොග්ලොබින්  සහ ඊට පහළින්  MCV සහ MCH ලෙස රතු සෛලවල දත්ත දෙකක් දක්වනවා.  MCV අගය 80 ට වැඩි සහ MCH අගය 27 ට වඩා අඩු  අගයක් දක්වන්නේ නම් එය සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. එනම්  එම පුද්ගලයා තැලසීමියා වාහකයෙකුවීමේ සම්භාවිතාව ඉතා ඉහළයි. එවැනි විටෙක කළ යුත්තේ තැලසීමියා  සොයන පරීක්ෂණ සඳහා යොමුවීමයි.
වාහකයෙකු ලෙස හඳුනා ගතහොත් එම පුද්ගලයාට රෝස පැහැති කාඩ්පතක් නිකුත් කරන අතර වාහකයෙකු නොවන්නේ නම් කොළ පැහැති කාඩ්පතක් නිකුත් කරයි. රෝස පැහැති කාඩ්පතක් නිකුත් කළ පමණින් ඔහු හෝ ඇය රෝගයෙකුබව කියැවෙන්නේ නැහැ.
ඔබ  සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කළ මොහොතක  එම වාර්ථාව ​ෙවෙද්‍යවරයාට පෙන්වා  තැලිසීමියා වාහක තත්ත්වයක් ඇත්දැයි දැන ගැනීමට වුවත් පුළුවන්.

  • දැන් හුඟක් රෝගී දරුවන් වෙනස් 

තැලසීමියාව මුළු ජීවිත කාලයටම බලපාන රෝගයක් වගේම එයත් සමග ජිවත්වීම ඉතා අසීරු කටයුත්තක්. එහෙත් රෝගයට තමන්ව පරාජය කිරීමට ඉඩ නොදෙමින්  වැඩ කරන ධෛර්යවන්ත දරුවෝ බොහෝයි. 
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන, තැලසීමියා රෝගයේ ව්‍යාප්තිය නැවැත්වීමට තම කාලය -  ශ්‍රමය වැය කරන, සමාජ මාධ්‍ය හරහා සමාජය දැනුවත් කරමින් කටයුතු කරන දරුවන් ඒ අතර සිටිනවා. එය අපට ආඩම්බර විය හැකි කරුණක්. සමහර දරුවන් තම රුව පිළිබඳව පවා සැලකිලිමත්වෙමින් ඉතා  ලස්සන ජිවිත ගත කරනවා

  • රුධිර පොරොන්දම ගළපාගන්න

තැලිසීමියා රෝගී දරුවන් බිහිවෙන්නේ වාහකයින් අතර ඇතිවන එක්වීමකින් පමණක් වන හෙයින් එම රෝගය වළක්වා ගැනීමට නම් කළයුතු එකම දේ වාහකයින් අතර සිදුවන විවාහ වැළැක්වීමයි.
එබැවින් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් මගින් දෙදෙනාම වාහකයින් නොවනබව හඳුනා ගැනීම සුදුසුම ක්‍රමයයි.

  • තැලසීමියා වාහකයින් රට පුරාම

මීට පෙර තැලසීමියා වාහකයින් බහුතරයක් හඳුනා ගත්තේ කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රදේශවලින් වුවත් මේ වනවිට රට පුරාම වාහකයින් සිටිනබව හඳුනාගෙන තිබෙනවා. මේ නිසා තැලසීමියා අවදානම රටපුරාම විහිද ගොස් අවසන්. අනුරාධපුර, රාගම, කුරුණෑගල, මහනුවර ආදී රෝහල්වල තැලසීමියා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානද පිහිටුවා තිබෙනවා.
තැලසීමියාව තුරන් කළ රටක් වෙනුවෙන් ඔබට කළ හැකි එකම දෙය  තමන් වාහකයෙකු දැයි හඳුනා ගැනීම සහ තවත් වාහකයකු සමග විවාහ නොවී සිටීමයි.​ 

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Previous

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Next

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

Realted Post

Leave a comment