සිසේරියන් සැත්කමකට පසු දැනෙන වේදනාව

 

ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය සීඝ්‍රයෙන්  ඉහළ යමින් පවතී. බොහෝ කාන්තාවන් එය ශල්‍යගාරයට  ඇතුළු වන ප්‍රථම අවස්ථාව නිසා ඒ පිළිබද  බියක් ඇති වේ.


ඔබ සිසේරියන් සැත්කම කිරීමට සැලසුම් කරන්නේ නම්  එය ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය පිළිබදව ඔබට ප්‍රශ්න තිබිය හැකිය. ඔබ එම නිසා කොපමණ වේදනාවක්  අත්විදිනු ඇත් ද?


තරුණ වයසේ ගැහැණු ළමයි වඩාත් මේ පිළිබඳ අවධානය යොමු කරයි. එසේම අලුත උපන් බිළිදා හොදින් ක්‍රියාශීලිව රැක බලා ගැනීමට නව මව්වරුන් අපේක්ෂා කෙරේ. ගර්භණි සමයේ රුධිරය කැටි ගැසිමේ අවධානම වැඩ් නිසා එය අවම කර ගැනිමට දරු ප්‍රසූතියෙන්  පසුව බියකින් තොරව සාමාන්‍ය ලෙස ඇවිදිය යුතු යුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඒ සදහා හොද ඉක්මන් සුවයක් අවශ්‍ය වේ. 

 


 

වෛද්‍ය රෝෂණ මල්ලවආරච්චි
නිර්වින්දන විශේඥ  වෛද්‍ය
තෙල්දෙණිය දිස්ත්‍රික් මුලික රෝහල
  

සිසේරියන් සැත්කමින් පසු  වේදනාවක් ඇති වෙන්නේ ඇයි?
එය ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ තුවාලය සුව විමේ දැවිල්ලක් ලෙසය. මෙහි වේදනාව එකිනෙකාට වෙනස් වන අතර දැනෙන වේදනාවේ ප්‍රමාණය නිශ්චිතවම කිව නොහැකිය.

 


වේදනාව පාලනය කිරීම වැදගත් වන්නෙ ඇයි?
 ඕනෑම ශල්‍යකර්මයකින් පසුව ඇතිවෙන වේදනාව ඔබගේ එදිනෙදා ක්‍රියාවන් සීමා කරයි. මේ නිසා ලේ කැටි ගැසිම සහ පපුවේ ආසාදන ඇති විමේ අවධානම වැඩි  කරයි. තව ද එම වේදනාව අලුත උපන් දරුවා රැක බලා ගැනිමට හා මව්කිරි දීමට බාධා ඇති කරයි.

 


ඔබගේ වේදනාවට නිර්වින්දන වෛද්‍යවරුන්  උදව් කරන්නේ කෙසේ ද?    
ඔබගේ ස්නායු පද්ධතියේ විවිධ කොටස් මත ක්‍රියා කරන ඖෂධ සංයෝගයක් ඔබේ මොළයට ළගා වන වේදනා   සංඥා අඩු කිරිමට උපකරී වේ. ඔබ සිසේරියන් සැත්කමට පෙර, ඔබ දැනට ගන්නා ඖෂධ ඔවුන්ට පැවසීම වැදගත් වන අතර එමගින් ඔබට සුදුසු වේදනා නාශක නිර්දේශ කළ හැක. සිසේරියන් සැත්කමේ දී බොහෝ කාන්තාවන්ට පැය  4 - 6 ක් කාලයක්  පවතින කොදු ඇට පෙළ නිර්වින්දනය ලබා දෙන අතර එයින් ඔබට විශාල සහනයක් ලැබේ.

 


භාවිතා කරන වෙනත් ඖෂධ මොනවා ද?
කොදු ඇට පෙළ නිර්වින්දයට අමතරව, දරු ප්‍රසූතියෙන් පසුව ඇති විය හැකි වේදනා අඩු කිරීමට පැරසිටමෝල් සහ ඩයික්ලොෆෙනැක් (NSAID) නිවැරැදි මාත්‍රාවට  අනිවාර්යයෙන්ම ලබා ගත යුතු අතර එමගින් ඔක්කාරය, වමනය, කැසීම වැනි අතුරු ආබාධ සහිත මෝෆින් (Opioids) වැනි ප්‍රබල ඖෂධ භාවිතය අවම කළ හැක.

 


මෙම ඖෂධ නිතිපතා ගත යුත්තේ ඇයි?
ඔබට පැරසිටමෝල් දිනකට  හතර වතාවක් සහ ඩයික්ලොෆෙනැක් දිනකට තුන්වරක් නියම කරනුයේ මෙම ඖෂධ වල අපේක්‍ෂිත මට්ටම ලබා ගැනීම සදහා ය. මෙම ඖෂධ මග හැරිමෙන් වේදනාව සමනය නොවන අතර එයට වඩා ප්‍රබල ඖෂධ ලබා ගැනීමේ අවශ්‍යතාව  වැඩි වේ.       

 


පැරසිටමෝල් සහ ඩයික්ලොෆෙනැක් වේදනාව පාලනය නොකරන්නේ නම් ගත හැකි ඖෂධ මොනවා ද?
ට්‍රැමඩෝල්  හෝ  මෝෆීන් වැනි ප්‍රබල වේදනා නාශක වෛද්‍ය නිර්දේශයෙන් පමණක් ලබා ගත හැක.

 


වඩා ප්‍රබල ඖෂධ භාවිත කරන්නේ නම්, නිතිපතා ගන්නා වේදනා නාශක ඖෂධ නතර කළ යුතු ද?
නැත නිතිපතා ඖෂධ ගැනීම අවශ්‍ය වේ.. එමගින් ඉතා ප්‍රබල ඖෂධ ගැනීම අවම කර ගත හැක.

 


කොපමණ සහනයක් අවශ්‍ය දැයි හදුනා ගන්නේ  කෙසේ ද?
වින්නඹු මාතාව හෝ හෙදිය ඔබගේ වේදනාවේ තරම  0 - 10 අතර අගයක් ලබා දෙමින් මිනුම් ඒකකයක් මගින් නිර්ණය කරනු ලබයි. 0 වේදනාවක් නොමැති විම,  10 උපරිම වේදනාව ලෙස සිතිය හැක. විවේකයේ දී  හා චලනයේ දී ඔබගේ වේදනාව ලකුණු කළ හැක. නිදහසේ එහා මෙහා යාමට,  ගැඹුරු හුස්මක් ගැනීමට සහ කැස්ස පිට කිරිමට පහසු විය යුතුය. 

 


මෙම ඖෂධ දරුවාට බලපානවා ද? 
ඔබට ලබා දෙන වේදනා නාශක ලබාගෙන  මව්කිරි  දීමට ගැටලුවක් නොවේ. .එයින් මව්කිරි වලට එකතු වන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් නිසා එය එතරම් සැලකිය යුතු නොවේ. ඔබට මේ හා සම්බන්ධ තවත් ප්‍රශ්න ඇත්නම් ඔබගේ නිර්වින්දන වෛද්‍යවරයා හමු වී ඒවා නිරාකරණය කර ගත හැක.

 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment