සුදු කබර සහ පොතු කබර නිට්ටාවට සුව කරන ආයුර්වේද ප්‍රතිකාර
උපතින්ම ඔබට හිමිව ඇත්තේ පැහැපත් නිරෝගී සමක් නම් ඔබ කෙතරම් වාසනාවන්තද? එය ආරක්ෂා කර ගැනීමට ඔබ කොතරම් උනන්දුද? යම් හෙයකින් කුඩා සීරීමක්, තුවාලයක් සිදු වුවත් ඔබ සිත් තැවුලට පත්වනු නොඅනුමානය.
එහෙත් අවාසනාවට යම්කිසි හෝ රෝගී තත්ත්වයක් නිසා ඔබගේ පැහැපත් සමට හානි සිදුවිය හැකියි. මේ නිසා විමසිලිමත්ව සිටිම වැදගත් ය. ශරීරයට අවලස්සනක් ගෙන දෙන, මානසිකත්වයට වද දෙන රෝග අතර සුදු කබර හා පොතු කබර විශේෂ ය.
උපදෙස් : |
වර්තමානයේ මෙම රෝග විශාල ලෙස සමාජය තුළ දැක ගැනීමට හැකි බවත් අපට ආවේණික ආහාර රටාවෙන් සමාජය දුරස්වීම ඊට මූලික හේතුවක් වී ඇති බවත් ආයුර්වේද වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස මහතා පවසයි.
“සුදු කබර හා පොතු කබර රෝගී තත්ත්ව සමාජයේ අතීතයේ සිට තිබුණා. මෙයට ජානමය, දේශගුණික, මානසික ආතතිය, හෝමෝන විෂමතා ඇතුළු බොහෝ කරුණු බලපානවා. වර්තමානයේ මෙම රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සැලකිය යුතු ලෙස වැඩියි. එයට හේතු හැටියට දකින්න ලැබෙන්නේ අපේ දේශීය ආහාර රටාව වෙනස්වීමබව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.”
සුදු කබර රෝගය වැලඳීමට හේතුවන්නේ ශරීරයේ මෙලනින් නම් වර්ණක සෛල අඩුවීමයි. එය සුදු පැල්ලමක් හැටියට ඇත වී ශරීරය පුරා ව්‍යාප්ත වෙනවා.
සුදු කබර රෝගියෙක් මානසිකව විඳවනවා. සමාජය තුළ විශේෂයෙන් කැපී පෙනෙන චරිතයක් වෙනවා. හුඟක් අය මානසිකව වැටෙනවා. පොතු කබර රෝගයේදී මුලින්ම සමේ පලු දමා පසුව තුවාල සෑදී එම ස්ථානය නරක් වෙනවා.
මෙම රෝගය වැලඳුණු රෝගියා මානසික හා ශාරීරිකව වේදනා විඳිනවා. පොතු කබර රෝගියාගේ මුළු ශරීරයම කසනවා. නින්ද යන්නෙ නෑ. දැවිල්ලයි. පොතු කබර රෝගියා අවලස්සනයි, කළු පාටයි, නියපොතු නරක් වෙනවා, කොණ්ඩේ හිස් හොරි හැදිලා පොතු පොතු හැලෙනවා. මේ නිසා මානසිකව වගේම ශාරීරිකව වේදනා විඳිනවා.
මෙම රෝග දෙකම තමන්ගේ ශරීරයේ පමණයි වෙනත් අයෙකුට බෝවෙන්නෙ නෑ. රුධිරය දූෂණයවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක්. නමුත් පොතු කබර රෝගයේ උත්සන්න අවස්ථාව පොතු කබර ආතරයිටීස්. එය ශරීරයේ අස්ථි දක්වාම ව්‍යාප්ත වෙනවා. (සොරැයිසිස් ආතරයිටිස්) මේ තත්ත්වයට ආවම හමේ පොතු ගැළවෙනවා. අස්ථී සන්ධි ඇදවෙනවා. ඇවිදින්න, නැගිටින්න බෑ. මානසික, ශාරීරිකව විඳවනවා වගේම සිය දිවි පවා හානි කරගන්නවා.
හැබැයි මේ සියලු රෝග තත්ත්ව මුල් අවස්ථාවෙම හඳුනා ගත්තොත් නිට්ටාවට සුව කිරීමට දේශීය ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවා.
මෙම රෝග තත්ත්ව ඇතිවීමට හේතු මොනවාද?
ආහාර විෂමතා, ජාන සම්බන්ධතා, දේශගුණය, හෝමෝනවල විෂමතා (පත්ය අපත්‍ය ආහාර, දේශ්යාත්මික ආහාරවලින් දුරස්වීම) ආදිය වසර ගණනාවක් පුරා තිබී පසුව සුදු කබර, පොතු කබර තත්ත්වයට පත්වෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ නම් ආහාරත් බලපානවා.
උදේට බත්, එළවළු, පලා වර්ග ආහාරයට ගත් රටාව දැන් වෙනස්වෙලා. වර්තමානයේ පාන් ඇතුළු පිටි කෑම, කෙටි කෑම, රසකාරක ආහාර ගන්නේ. අනීත පත්ය, අපත්‍ය ආහාර කියලා දෙයක් තිබෙනවා. හොඳට බඩ පිරෙන්න කාලා රෑට නානවා. හොඳට මස් කාලා කිරි පැණි කනවා. මස් මාළු හැමදේම කනවා. මෙවැනි හේතු මේ රෝග වැලඳීමට බලපානවා.
මෙහෙම වුණාම අපේ ශරීරයේ තිබෙන රටාව වෙනස් වෙනවා. හෝමෝනවල විකෘතිතා ඇතිවෙනවා. මෙම රෝගය වැලඳෙන්නේ රක්තය දූෂණය වීම නිසා එක දවසින් දෙකෙන් වැලඳෙන රෝගයක් නෙමෙයි. වසර 15 ක් පමණ ටිකෙන් ටික හැදිලා එළියට එන රෝගයක්.
මෙම රෝගය හඳුනා ගන්නේ කෙසේද?
සුදු කබර රෝගයේ මුල්ම රෝග ලක්ෂණ එන්නේ තොල්වල කුඩා තිතක් හැටියටයි. එය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. සමහරුන්ගේ ලිංගේන්ද්‍රියෙන් පටන් ගන්නේ. ඒ වගේම ගුද මාර්ගය වැනි සියුම් සමක් සහිත ස්ථානවලින් ආරම්භ වන්නේ. මෙහි තවත් ප්‍රභේද තියෙනවා. දණ හිසින් පහළ තිත් තිත් ඇතිවෙනවා. ඇඟිලි පුරුක් තුවාල වෙනවා. ඊට පස්සේ සුදු පාට වෙන්න පටන් ගන්නවා. එවිට දැනගන්න ඕනෑ සුදු කබර තත්ත්වයේ ආරම්භයබව. ඉක්මනින්ම වෛද්‍යවරයෙකු මුණ ගැහිලා පරීක්ෂා කර ගැනීම වැදගත්. එය වෙනත් චර්ම රෝගයක්ද සුදු කබරද කියා සොයාගන්න පුළුවන්.
පොතු කබර මුලින්ම ඇතිවෙන්නේ හිස්හොරි තත්ත්වයෙන්. හිසේ ඇතිවන හිස්හොරි ෂැම්පු දාලා හොඳින් සේදුවත් නැවත ඇතිවෙනවා. සතියක් වගේ කාලයක් එක දිගටම එසේ තිබෙනවා නම් පොතු කබර රෝගයේ මුල් අවස්ථාව. ඒ වගේම තමයි කන පිටුපස නිතර කසනවා. සමහරුන්ගේ වැළමිට, දණඉස, සන්ධි නැමෙන තැන්වල කසනවා. කාන්තාවන්ගේ නම් පියයුරු යටින් කසනවා. කසලා පුංචි බිබිළි ඇවිත් ඒවා දියලබු මල් වර්ණයට හුරු කුඩු ලෙසින් වැටෙනවා. මෙවැනි තත්ත්වයක් නම් පොතු කබර රෝග තත්ත්වයේ මූලික ලක්ෂණ කියා දැනගන්න ඕනෑ.
පොතු කබර ආතරයිටීස් තත්ත්වයේදී රෝගියා තමන්ගේ කටයුතු තමන්ටම කරගන්න බැරි අවස්ථාවට පත්වෙනවා. මුළු සිරුරම තුවාල වී දියර ගලනවා, දුර්ගන්ධයක් ඇතිවෙනවා. ඊට අමතරව සන්ධි ඉදිමෙනවා. සන්ධි ඇදවෙනවා. මේ අවස්ථාවට පත්වුණාම රෝගය සුවකිරීම අපහසුයි.
මෙම රෝග තත්ත්වය ආයුර්වේදයේ හඳුන්වන්නේ “කර්මජ” කියලයි. මෙවැනි රෝගීන් මිය යන්නේ මෙම රෝගය නිසා ඇතිවන වෙනත් රෝග තත්ත්වයකින්. රෝගය නිසා ඇතිවන වේදනාව සහ මානසික කඩා වැටීම නිසා හෘද රෝග ඇතිවීමට හැකියි.
දේශීය වෛද්‍ය විද්‍යාවේ ඒ සඳහා ඖෂධ තිබෙනවා. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණයක් තිබෙනවා නම් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී පරීක්ෂා කර ගැනීම වැදගත්. මෙම රෝගයට බිය විය යුතු නෑ. මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ආරම්භ කළොත් නිට්ටාවට සුව කරගන්න පුළුවන්.
ශාන් බන්දු වීරසිංහ
Leave a comment