සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

ආයුර්වේද වෙදකමට අනුව කුෂ්ඨ  රෝග 18ක් පිළිබඳව කතා කරනවා. ඉන් එකොළහක් ක්ෂුද්‍ර කුෂ්ඨ හෙවත් සුවපත් කළ හැකි කුෂ්ඨ ලෙසත්, අනෙක් කුෂ්ඨ අසාධ්‍ය හෙවත් සුව කිරීමට අපහසු කුෂ්ඨ ගණයටත් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම කුෂ්ඨ රෝග ඇතිවීම සඳහා හේතුවන පොදු කරුණු කීපයක් සැලකිල්ලට ගත හැකිය. මෙම කරුණු පොදුවේ සියලුම කුෂ්ඨ රෝග සඳහා වූ පොදු කාරණා ලෙස දැක්විය හැකිය.

 

මේ සටහන ආයුර්වේදයේ දැක්වෙන කුෂ්ඨ රෝග අතරට ගැනෙන පොතු කබර රෝගය පිළිබඳවය.   

කුෂ්ඨ රෝගවලට බලපාන භෞතික කරුණු

අධික සීතල මෙන්ම අධික උෂ්ණ පරිසරය තුළ ජීවත්වීම
දිගු වේලාවක් රැකියා කටයුතුවල යෙදෙන විට එම පරිසරවල පවතින්නා වූ උෂ්ණත්ව පාලන හේතු හා සමහර කර්මාන්තවලදී පිටවන්නාවූ අධික උෂ්ණාධිකබව දරා සිටීම නිසා ශරීරයේ බාහිර හා අභ්‍යන්තර උෂ්ණත්වයේ සම්බන්ධතාව බිඳී යයි. තවද පරිසරයට උචිත නොවන්නා වූ ලෙසින් ඇඳුම් පැලඳුම් භාවිතයද මීට හේතු වේ. විශේෂයෙන්ම දවස පුරා මේ සමග පාද ආවරණය කරගෙන සිටීම නිසා ශරීර උෂ්ණත්වය යටි පතුල්වලින් පිට නොවීම හේතුවෙන් ප්‍රධාන බහිශ්‍රාවී මාර්ගයක් අවහිර වේ.

අව්වේ ගොස් පැමිණි විගස සීතල ජලය පානය කිරීම හා නෑම

ශරීරය ඉතාම උෂ්ණ අවස්ථාවක පවතින මොහොතක එකවර සිසිල් ජලය බීම හෝ නෑමට ගැනීම මගින්  ශරීරය ක්‍රමානුකූලව නිවීමට ලක්වීම අවහිර වී යයි. මේ හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ පද්ධතිවල ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑමක් ඇති කිරීම නිසා රුධිරය ක්‍රමානුකූලව ගමන් කිරීමට බාධා ඇති කෙරෙන අතර රුධිරයේ පවතින්නා වූ ගුණාත්මකබව පහත වැටෙයි.

සීත කාමරවල  දිගු වේලාවක් සිටීම  

 වායුසමනය කරන ලද කාමර තුළ දිගු වේලාවක් රැඳී සිටීමත් බොහෝවිට බොහෝ දෙනෙක් එම කාමර තුළ සිටීමටත් හේතුවෙන් ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් ශරීරයට නොලැබී යා හැකිය. රුධිරයේ පැවතිය යුතු ඔක්සිජන් ප්‍රමාණය අවම වීම හේතුවෙන් සැමට ඔක්සිජන් සහිත රුධිර සැපයුමක් නොමැති වීම නිසා සමේ රෝග ඇතීවීමට හේතුකාරක වූ පරිසරයක් ඇති විය හැකිය.

 

සුදුසු නුසුදුසු ආහාර විධි 

මුදවාපු කිරි සමඟින් මස්මාළු අනුභවය / මස් මාංස නිතර නිතර අනුභව කිරීම
මේද බහුල ආහාර නිතර ගැනීම /අච්චාරු, ලුණු, ඇඹුල්, විනාකිරි අධික ලෙස පරිභෝජනය
ගත් ආහාරවෙල දිරවන්නට පෙර නැවත ආහාර ගැනීම  
තල, උඳු, අලුත් සහල් සහ ඇට වර්ග අලුත් පිට ආහාරයට එක් කර ගැනීම
ශරීර ස්වභාවයට  විරුද්ධව ආහාර ගැනීම / නියමය නොතකා ආහාර පාලනය

නුසුදුසු පුරුදු 
දහවල් කාලයේ නිදා ගැනීම / මල මූත්‍ර වමන ආදියේ වේගය නැවැත්වීම හෙවත් ධාරණය කිරීම
අජීර්ණ අවස්ථාවේ බර ආහාර ගැනීම
ආහාර ගත් විගස ව්‍යායාම කිරීම සහ වෙහෙසවීම

චිකිත්සා හේතු

ඖෂධවලට නොගැළපෙන ආහාර හා  විහරණ
දීර්ඝ කාලීනව ගනු ලබන ඖෂධ ආදිය හේතුවෙන් හටගන්නා අතුරු ආබාධ
බාහිර සුවය දුටු විගස චිකිත්සාව නැවත්වීම
බාහිර ආලේපනවලට මුල් තැන දී අභ්‍යන්තර  චිකිත්සාව නොතකා හැරීම
ආදී කරුණු ප්‍රධාන කොට සැලකිය හැකිය. මෙහිදී විශේෂයෙන්ම සුදු කබර  ස්වභාවික ප්‍රතිශක්තිකරණය පහළ යෑමේ හේතුවක්  ලෙස හටගන්නා රෝගයක් ලෙසද දැක්විය හැකිය.
සමේ වර්ණය ඇති කිරීමට හේතුවන්නා වූ වර්ණකයක් වන මෙලනින් නිසි ප්‍රමාණයට වර්ධනය නොවීම නිසා මෙම රෝගය ප්‍රධාන වශයෙන් ඇතිවෙයි. සම මතුපිට සුදු පැහැති නොයෙක් ප්‍රමාණයේ කැළැල් ඇතිවෙන අතර තුවාලයක් ඇති වූ විටක ඇතිවන කැළලක් නැවත ස්වභාවික තත්ත්වයට පත්නොවී සුදු පැහැයෙන් දිස්වීම ද මෙහිදී දැකිය හැකිය. මීයන් දෂ්ට කළ විට සුදු කබර ඇතිවෙනවාදැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් පවතී. මේ සඳහා නිශ්චිත පරීක්ෂණ නොමැති වුවත් රෝගී පරීක්ෂාවේදී ලද අද්දැකීම් අනුව රෝගියාගේ අතීත විත්ති විමසූ විට පොළඟුන් වැනි සර්ප දෂ්‍ටනයේදී මෙන්ම මීයන් ආදී සතුන්ගේ දෂ්ට කිරීම්වලදී  විෂ ශරීරගත වීමත් පසු කාලයේදී මෙලෙස සමේ සුදු පැහැති කැළැල් ඇති කිරීමට හේතු වී ඇති ආකාරය දැක ඇත. තවද මෙම රෝගීන්ගේ අක්මාව පිළිබඳ වූ පර්යේෂණ වාර්තා සලකා බැලීමේදී එහි  සංකූලතා ඇතිවී ඇති බවද විශේෂයෙන් දැකගත හැකිය. මෙම පරීක්ෂණ වාර්තාවල බොහෝ විට බිලිරුබීන් නැමැති සංඝටකයේ වෙනස විශේෂ කොට දැක්විය හැකිය. එම නිසා සුදු කබර රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී අක්මාවට ප්‍රතිකාර කරමින් සුදු කබර සඳහා යෙදිය යුතු චිකිත්සාවන් යෙදීම වැදගත් වේ.සුදු කබර රෝගය  බෝවන රෝගයක් නොවුනත් වේදනාකාරී රෝගයක් නොවුනත් මින් ලැබෙන්නා වූ මානසික පීඩාව නම් ඉතා ඉහල වෙයි. මේ ස්වභාවික ප්‍රතිශක්ති කරණය බිඳ වැටීම නිසා ශරීරයේ ඉන්ද්‍රියන්ගේ නිසි ක්‍රියාකාරීත්වය සිදු නොවීම නිසා වර්ණක වල බිඳ වැටීම සිදුවන බව අලුත්ම මතය වන අතර එහිදී රෝගියාගේ ප්‍රතිශක්තිකරණය නගා සිටුවීමට අවශ්‍ය පෝෂණ උපදෙස් ලබාදීමද ඉතා වැදගත් වේ. මෙහිදී විටමින් ඒ හා සී ද යකඩ හා කොපර් ආදි කොටස්වල ඌනතා හෝ සංකූලතා ඇතිවන එයින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වේ. ඒ අනුව රෝගියාට වෙනදාට වඩා විටමින් හා ඛනිජ ලවණ වර්ග ද තිබිය හැකි පෝෂණ විධි ක්‍රමයන් යෙදීම ඉතා වැදගත්වේ. දේශීය වෙදකමේදී දළුක් හා වරා ආදී ඖෂධයන්ගෙන් සාදාගන්නා ආලේපන වර්ග මෙන්ම බාකූචි ආදී තෙල් වර්ග ආදියෙන් බාහිර ප්‍රතිකාර යොදන අතර අභ්‍යන්තර චිකිත්සාව සිදු කරනු ලබයි. සියලුම සුදු කබර තත්ත්වයන් නිට්ටාවට සුව කළ නොහැකි අතර ඒවා පාලනය කිරිමට හැකිය. එම නිසා මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වේ. 

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි Read Previous

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

මම මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන කෙනෙක් Read Next

මම මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන කෙනෙක්

Realted Post

Leave a comment