සුව කළ නොහැකි තුවාලයක් සුව කරන්නේ මෙහෙමයි

අපේ ජනවහර තුළත් නිතර භාවිත වන කියමනක් තමයි මේක නම් සුව කරන්න බැරි තුවාලයක් කියලා. ඇත්තටම සිරුර තුළ ඇතිවන කාලීන තුවාලයන් සුව අතට පත්කර ගැනීම අපහසුයි ද ? ඒ නිසාම අද අපි කතා කරන්නේ සුව නොවන තුවාල එසේ නැත්නම් කාලීන තුවාලයන් සඳහා ආයුර්වේද විද්‍යාවෙන් සුව කරන්නේ කොහොමද කියලා. මේ ගැන සාකච්ඡුා කරන්න සම්බන්ධ වුයේ,

විශේෂඥ ශල්‍ය ආයුර්වේද වෛද්‍ය ප‍්‍රියදර්ශණි ගුණරත්න / ගම්පහ වික‍්‍රමආරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල - යක්කල.

 

සුව නොවන තුවාල කියන රෝගී තත්ත්වය ආයුර්වේදය තුළ හඳුනාගන්නේ කොහොම ද ?

සිරුරෙහි ඇතිවන තුවාල වර්ග දෙකක් තියනවා. එකක් තමයි බාහිර හේතුවක් නිසා ඇතිවන තුවාල තැලීමක් සිදුවීමෙන්, හැපීමක දී සිදුවන තුවාල සතෙකු කෑ විට ඇතිවන තුවාල, උල් / ගල් වැනි දේවල් ඇණුනාම සෑදෙන තුවාලයන් අපි හඳුන්වනවා ආගන්තුජ වෘණ එසේ නැත්නම් බාහිරෙන් හටගන්නා තුවාල ලෙස.

දෙවන වර්ගය ලෙස නිජ වෘණ. සිරුරෙන්ම සෑදෙන තුවාල. ඒ සදහා විවිධ හේතුන් බලපානවා. වා, පිත්, සෙම් තුන්දොස් වල හටගන්නා වූ විෂමතාවයන් නිසා වෙන්නත් පුළුවන්. දියවැඩියාව, නහර ගැට ගැසීම් රෝගය නිසා, ලේ පිළිකා වැනි රෝගයන් නිසා සිරුරෙන්ම මතුවන තුවාල තියනවා.

සාමාන්‍යයෙන් සිරුරේ ඇතිවන තුවාලයන් සත් දිනක් ඇතුළත කැළලක් ඉතුරු නොවන ලෙස සුවතාවයට පත් වෙනවා. නමුත් මාස තුනක් පමණ කුමන ප‍්‍රතිකාර සිදුකළත් පහසුවෙන් සුව නොවන තුවාල ඒ වගේම සමහරක් පුද්ගලයන්ගේ ජිවිත කාලය පුරාම තුවාල සුව නොවී තිබීම වගේම සුව වුවත් නැවත ඒ ස්ථානයම තුවාල නැවත මතු වෙනවා. ඒ තත්ත්වය අපි හඳුන්වනවා සුව නොවන තුවාල නැත්නම් කාලීන තුවාල ලෙස.

 

සුව නොවන තුවාලයක් සුවවීම ප‍්‍රමාද වීමට හේතු තියනවද ?

තුවාලයක් සුවවීමට යම්කිසි සාධාරණ හේතු තියනවා. පොඩි දරුවකුගේ ඇතිවන තුවාලයන් ඉක්මණින් සුව වීමට පුළුවන්. නමුත් වයසත් සමඟ තුවාල සුවවීමට කාලයක් ගත වෙන්න පුළුවන්.

ඒ සඳහා සිරුරේ පෝෂණ මට්ටමත් බලපානවා. තුවාලයක් සුව වීමට අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයන් තියනවා. (විටමින් / ඛනිජ ලවණ ) ඒවා ලබා ගන්නේ ආහාර මගින් පෝෂණීය සමබල ආහාර වේලක් ලබා නොගැනීම නිසාත් තුවාලයක් සුවවීමට කාලයක් ගත වෙනවා. පුද්ගලයාගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වීම තුළ තුවාලය සඳහා කොතරම් ප‍්‍රතිකාර සිදු කළත් සුවවීමට කාලයක් ගතවෙනවා. ඒ වගේම සිරුරේ ලේ හිඟකම නැත්නම් ඇමෝනියා කියන තත්ත්වය තිබේනම් තුවාලයක් සුවවීමට කාලය ගත වෙනවා.

සිරුරේ ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයකු නම් සිරුරේ පවතින මේද ස්ථරය වැඩියි. එතනදිත් තුවාල සුව වීමට කාලයක් යනවා.

තවත් සමහර පුද්ගලයන්ගේ සිරුර උපතින්ම වියළි ස්වභාවයක් පවතිනවා. එවැනි අවස්ථා වල දීත් තුවාලයක් සුවවීම ප‍්‍රමාද වෙනවා.

තුවාලයක සැරව තියනවා නම් එහෙම නැත්නම් ගල්, වැලි, පස් වැනි අපද්‍රව්‍ය එකතු වී තිබෙනවා නම් තුවාලයේ මැරුණු කොටස්, සම් කැබලි, ඒ වගේම සමහරුන්ගේ තුවාල ඇතුලේ තියනවා විවිධ ඇට වර්ග, පොඩි පොඩි කැබලි ඇතුළට ගොස්, පුළුන්, ගෝස් කැබලි තුවාලය ඇතුළත ගොස් හිරවෙලා, පරණ මැහුම් ඉතුරු වීම නිසාත් තුවාල සුවවීමට කාලය යනවා.

මෙවැනි හේතු ගණනාවක් නිසා තුවාලයක් සුව වීමට කාලයක් ගතවෙනවා.

 

සුව නොවන තුවාලයකින් බාහිර ව පෙන්නුම් කරන ලක්ෂණ තියනවා ද ?

සුව නොවන තුවාලයක ලක්ෂණ ලෙස සැරව තියනවා. තුවාලය මතුපිට මැරුණු සෛල කොටස් කළු/ දුඹුරු/ කහ පැහැති කොටස් වලින් වැසිලා තියෙනවා. තුවාලය සහ ඒ අවට කොටස් ඉදිමිලා තියෙන්න පුළුවන්. අධික වේදනාව, අධික කැසීම, තුවාලය අවට වියළිම, මාංශ ක්ෂය වීම තියෙන්න පුළුවන්.

ඒ අවට චලනය කිරීම අපහසුයි. අපි හිතමු අතක ‌හෝ පාදයක මේ තුවාලය තියනවා කියලා සමහර වේලාවට අත හෝ පාදය චලනය කිරීමට අපහසුයි.

මෙවැනි රෝගියෙකුගේ මළබද්ධ තත්ත්වයක් පවතිනවා. ආහාර රුචිය අඩුයි. උණ තත්ත්වය පවතිනවා. නොරිස්සුම් ගතිය පවතිනවා. නින්ද නොයාම. තුවාලයෙන් විවිධ දුර්ගන්ධ පැවතිම (සැරව, කුණු වැනි ගඳ) තවත් සමහරුන්ගේ තුවාල විවිධ පැහැයන් ගන්නවා. (කොළ/දුඹූරු/ වැනි) එයට හේතුව විෂ බීජ ආසාදනයට ලක් වූ විට විවිධ පුස් වර්ග තුවාලය මතුපිට ඇතිවීම.

ආයුර්වේදය තුළ අපිරිසිදු / පරණ නරක් වූ තුවාල දෘෂ්ඨි වෘණ නමින් හඳුන්වනවා. එහි ලක්ෂණ වෙනම පැහැදිලි කර තිබෙනවා.

තුවාලය ශුද්ධ වුණාම, එසේ නැත්නම් තුවාලය ප‍්‍රතිකාර මගින් සුවවීමට පටන් ගන්න අවස්ථාවෙහි ලක්ෂණ වෙනම පැහැදිලි කර තිබෙනවා.

ආයුර්වේදය තුළ තුවාලයක් මාස තුනකට අඩු කාලයකින් සුවවීමක් සිදු වුවහොත් ඒකෙන් කැළලක් මතු නොවෙයි. නමුත් කාලීන තුලාවයක් නැත්නම් සුව නොවන තුවාලයක් ඇති විට බොහෝ විට කැළලක් ඇතිවෙනවා. එහි ලක්ෂණ වෙනම සඳහන් වෙනවා.

තවත් සමහර තුවාල තියෙනවා සමේ පැහැයට වඩා අඩුවෙන්න පුළුවන්. සමේ පැහැයට වඩා වැඩි වෙන්න පුළුවන්.

තවත් සමහර තුවාල තියෙනවා සමට වඩා ඉහළින් ගොස් නවතිනවා. එසේ නැත්නම් සමට වඩා පහළින් වගේ ගොස් නවතිනවා. ඒ කියන්නේ සමේ මට්ටමට එන්නැහැ. ඒ තුවාල. සමහර තුවාල සුවවෙද්දී සිරුරේ තියන රෝම වැඩිපුර වැවෙනවා. සමහර වෙලාවට රෝම වැවෙන්නැහැ. ඒ ස්ථානයෙහි.

 

මෙවැනි තුවාල සුව අතට පත්කිරීමට ආයුර්වේදය තුළ භාවිත වෙන ප‍්‍රතිකාර සම්බන්ධව අපි කතා කළොත් ?

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ නැති කර තුවාලය සම්පුර්ණ සුව කිරීම සඳහා ආයුර්වේදය තුළ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප‍්‍රතිකාර ක‍්‍රම 60 ක් තියනවා. සුශ‍්‍රැති ආචාර්යවරයා (ආයුර්වේදය තුළ ඉන්න ශල්‍ය වෛද්‍යවරයා* විසින් තමයි ඒ ක‍්‍රම 60 ඉදිරිපත් කරලා තියෙන්නේ. ආයුර්වේදය තුළ ඉන්න කායික වෛද්‍යවරයා තමයි චාරක ආචාර්යවරයා. ඔහු විසින් ක‍්‍රම 36 ක් ඉදිරිපත් කරලා තියෙනවා. එතන දී ප‍්‍රතිකාර සිදුකිරිමේ දී වඩාත් ප‍්‍රයෝජනවත් වෙන්නේ ක‍්‍රම 60. ඒ ක‍්‍රම 60 ඇතුළේ තමයි ක‍්‍රම 36 බොහෝ විට තිබෙන්නේ. ඒ නිසා තුවාල සුව කිරීමට යොදා ගන්නේ මේ ක‍්‍රම 60. තුවාලය සුව කරද්දී මේ ක‍්‍රම 60 නැවත උප කොටස් වලට බෙදෙනවා.

එකක් තමයි තුවාලයක් සිරුරේ සෑදීමෙන් යනවා කියලා. නිදසුන් ලෙස සිරුරේ සැරව ගෙඩියක් සෑදෙනවා කියලා. සිරුරේ ස්ථානයක් ඉදිමිලා තියෙනවා. ටික දිනකින් මුදු වෙනවා. වේදනාව දැනෙනවා. උපරීමයට ඇවිත් ඒ ගෙඩිය පුපුරා සැරව ගලනවා. මේ තත්ත්වය වෘණ පිඩිකාවක් කියලා හඳුන්වනවා. මෙතන දී තුවාලයක් සෑදීමට පෙර වෛද්‍යවරයකු වෙත යොමු වුණොත් මොකද රන්නේ කියලා ක‍්‍රම 60ක් එක් කොටසක විස්තර කරලා තියෙනවා.

ඊළඟට දෘෂ්ඨි වෘණ සාමාන්‍ය ව්‍යවහරේ දී භාවිත කරන නර් වුණු තුවාලයක්, හොඳ / පිරිසිදු නැත්නම් ශුද්ධ වෘණයක් බවට පත් කරන්නේ කොහොමද කියලා තියෙනවා.

පිරිසිදු තුවාලයක් වෙන්නේ කොහොමද කියලා, එනම් වෘහසමාන වෘණ අවස්ථාවේ දී භාවිත කළ යුතු ප‍්‍රතිකාර සහ ක‍්‍රම දක්වලා තියෙනවා.

ඒ වැවුණු තුවාලය අපි කව්වනේ ඉහළට යනවා නැත්නම් පහළට යනවා, නැත්නම් තද පැහැය වෙනවා නැත්නම් ලා පැහැ වෙනවා කියලා. ඒ තත්ත්වය විකෘති තත්ත්වයක් නේ. මේ විකෘති තත්ත්වය සමේ තත්ත්වයට නැත්නම් විකෘතියන් පහ කිරීම සම්බන්ධවත් ආයුර්වේදය තුළ දක්වලා තියෙනවා.

ඊළඟට දක්වලා තියනවා මේ තුවාල නැවත ඇති නොවීමට මොනවද කරන්න ඔනි කියලා. අපි ඒකට කියනවා පුනර්ජනනය නැතිකිරීම කියලා.

මේ ප‍්‍රතිකාරයන් සිදුකරලීමට පෙර අපි ගාවට එන රෝගියාව පරික්ෂා කරනවා. රෝගියාගේ ස්වභාවය සහ තුවාල පරික්ෂා සිදුකර චිකිත්සාවන් සිදු කරනවා. මේ ප‍්‍රතිකාර මගින් අවුරුදු 10/20/30 පැරණි සුව නොවන තුවාල මාස 3න් 4න් සුව කරන්න පුළුවන්. නිවැරදි ප‍්‍රතිකාර තුළින්.

එතන දී ප‍්‍රතිකාර ක‍්‍රම 02 ක් තියනවා. මුළු සිරුරටම සිදු කරන ප‍්‍රතිකාිර ක‍්‍රම තියනවා. නිදසුනක් ලෙස රුධිරය පිරිසිදු කිරීම/ තුවාලය තිබෙන ප‍්‍රදේශයට අවශ්‍ය ලෙස රුධිරය සැපයීම සිදු කිරීම/ පෝෂණය අවශ්‍ය ලෙස ලබා දෙනවා / සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණය ලබා ගන්නා අයුරු හා ඒ තුළින් සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීමට වගේම ආහාර රුචිය වැඩි කිරීම / මළ බද්ධය වළකා ගැනීමට සහ වෙනත් රෝග දියවැඩියාව, නහර ගැට ගැසීම් වැනි රෝග සඳහන් ප‍්‍රතිකාර කිරීම සිදු කරනවා.

දෙවනුව තුවාලයට අවශ්‍ය ස්ථානික ප‍්‍රතිකාර එනම් තුවාලයට බෙහෙත් ප‍්‍රතිකාර දැමීම. මේ සඳහා සිදුකරන ප‍්‍රතිකාර ගණනාවක් තියනවා. නරක් වූ තුවාලයක් හොඳ පිරිසිදු තුවාලයක් බවට පත් කිරිමේ දී රෝගීන්ට අපි ලබා දෙනවා. ඖෂධ තැම්බු මඳ රස්නය සහිත ජලයෙහි තුවාලය ගිල්වා තැබිම. ඒ සඳහා අපි යොදා ගන්නේ දළ වශයෙන් කිව්වොත් පත‍්‍ර / පොතු / කහ / නිදිකුම්බා / කොහොඹ / කහට වර්ග / නුග / බෝ / අට්ටික්කා / ගංසුරිය. හැබැයි මෙම ඖෂධ තුවාලයෙන් තුවාලයට වෙනස් වෙනවා. මෙහි දී සැරව ඉවත් විම / මැරුණු සෛල ඉවත්වීම / වේදනාව අඩුවීම.

සමහර පුද්ගලයන්ගේ තුවාල වලින් රුධිරය පිට වෙනවා නම් / වෙනත් ශ‍්‍රාවයන් පිටවෙනවා නම් / තුවාලය දුර්ගන්ධ නම් / පැහැය වෙනස්නම් බොහෝ විට ස්වභාවික පැහැයට ගන්න පුළුවන්. මේ ඖෂධ යෙදීමෙන්. මේ ප‍්‍රතිාර කිරිමෙන් නව වාසියක් තියනවා. තුවාල ප‍්‍රදේශය රුධිර සංසරණය ක‍්‍රමවත් වෙනවා. ශක්තිමත් වෙනවා. තුවාලය හොඳින් සුවවීමට නම් රුධිර ගමනය හොඳින් තිබිය යුතුයි.

සැරව, ශ‍්‍රාවයන්, මැරුණු සම ඉවත් කිරීමට පත්තු වර්ග භාවිත කරනවා. දළ වශයෙන් කිව්වොත් ඖෂධ ලෙස ගස්ලබු වැනි දෑ යොදා ගන්නවා.

මේ සඳහා ආයුර්වේදය තුළ භාවිත කරන ඖෂධ වර්ග බොහොමයක් තියනවා. චුර්ණ / බෂ්ම වර්ග / ශාර වර්ග තියනවා. මේ ප‍්‍රතිකාර මගින් තුවාලය ශුද්ධ වෙනවා. ඇතුලේ තියන සැරව එළියට එනවා. ස්වභාවිකවම තුවාලය හොඳින් ශුද්ධ වෙනවා.

වැවෙන බෙහෙත් වර්ග වලට ආයුර්වේදය තුළ තිබෙන ප‍්‍රබල ඖෂධ වර්ගයක් තමයි ශාර කියලා තියන්නේ. පත්තු වර්ග / තෙල් වර්ග / චුර්ණ වර්ග / එළගි තෙලින් නිෂ්පාදිත ඖෂධ භාවිත කරනවා. එකම ඖෂධයන් යොදන්නැහැ දිනපතා.

තුවාලය වැවෙද්දී දිවකට සමාන ලක්ෂණ තියනවා. සුදු පැහැති ගැටිති තියනවා. වේදනාව අඩුයි. රෝගියාගේ තුවාලයෙන් රුධිරය ගලනවා. රුධිරය ගැලීම වැඩි වෙනවා. රුධිරය ගැලිම හොඳ ලක්ෂණයක්. හැබැයි අනවශ්‍ය ලෙනස රුධිරය ගැලිම පානය කළ යුතුයි. තුවාලය වේගයෙන් වර්ධනය (වැවෙනවා* පේනවා. ගැඹුර / පළල / තකද වර්ණය අඩුයි. වේදනාව අඩුයි. උණ ගතිය අඩු වී රෝගියාට සහනයක් ලැබි හොඳින් නින්ද යයි. ආහාර රුචිය වැඩිවෙනවා.

මුත‍්‍රා හොඳින් පිටවෙනවා. / සිරුරට පහසුවක් දැනෙනවා. පරණ තුවාලයක් වුණත් හොඳින් සුව වෙනවා.

රෝගී තත්ත්වය ඉක්මණින් සුව කරන්න. නැවත ඇතිවීම වළක්වන්න. පංචකර්ම භාවිත කරනවා. විරේඛන / වමන කර්ම භාවිත කරනවා.

ආයුර්වේදය තුළ කියලා තියනවා. මෙවැනි රෝගියෙකු නිවසේ දී / රෝහලේ දී රෝගියාව වෙනම ස්ථානයක විෂ බීජ වලින් තොරව / සෙනඟ වැඩිපුර නොගැවසෙන / ජල පහසුකම් / සුව නින්ද ලැබෙන පරිසරයක් ඖෂධ ලබා දීමට පහසුකම් තියන / ඖෂධ දුමාරය ඇල්ලීමට පහසු (හ/කොහොඹ/ගුගුල්/ වෙනිවැල් ඖෂධ දුමාරයට යොදා ගන්නවා.) වැනි සුදුසු ස්ථානයක් (වෘණිතාගාරය ) තිබිය යුතුයි.

 

ප‍්‍රතිකාර පමණක් ප‍්‍රමාණවත් ද මේ තත්ත්වයේ දී. නැත්නම් ආහාර හා ජිවන රටාවන් නිවැරදි කර ගැනීම අවශ්‍ය ද ?

තුවාලය වැවෙන්න නම් හොඳින් පෝෂණය අවශ්‍යයි. ඇට වර්ග / පලා වර්ග / (මැල්ලූ‍ම්* පළතුරු / එළවළු වර්ග හොඳින් ලබා ගත යුතුයි.

නරක් වූ තුවාලය පවතින කාලයේ දී අවුරුද්දකට වඩා පැරණි වූ ඇට වර්ග ආහාරයට ගන්න කියලා අපි උපදෙස් ලබා දෙනවා. අලූ‍ත් ඇට වර්ග ආහාරයට ගැනිමෙන් තුවාලය සැරව / මළ වැඩි වෙනවා. ඒ නිසා වියළි / ශුෂ්ක ආහාර ගන්න කියනවා.

තුවාල ශුද්ධ වූ පසු හොඳින් ඇට වර්ග / පළතුරු / එළවළු / පලා / කිරි / මස් / බිත්තර / මාළු ගන්න කියනවා. රුධිරය වඩන්න / මස් වැවෙන්න / සෛල / පටක වැවෙන්න ප්‍රෝටීන් ආහාර ලබා ගැනීම වැදගත්. හොඳින් ජලය පානය කළ යුතුයි. දිනකට 3 ක ක් ජලය පානය කළ යුතුයි.

දිනපතා හොඳින් ස්නානය කළ යුතුයි. පැයක් / පැය භාගයක් පමණ හොඳින් ස්නානය කළ යුතුයි. (දිනපතා ස්නානයට නුසුදුසු රෝගීන් හැරුණු විට) නිදහසේ මානසික සුවයෙන් සිටීම වැදගත්.

ව්‍යායම කිරිමේ දී අධිකව නොකළ යුතුයි. ව්‍යායාම නොකර සිටිමත් යහපත් නැහැ. රුධිර ගමනය නිවැරදි වෙන්න නම් අවශ්‍ය චලනයන් කළ යුතුයි. දවල් නින්ද සුදුසු නැහැ. රාත‍්‍රි ප‍්‍රමාණවත් සුව නින්ද සුදුසුයි. මේ තුළින් රෝගය නැවත මෙවැනි තත්ත්ව ඇතිවීම බොහෝ දුරට වැළකෙනවා. සහ දියවැඩියාව / කොලස්ටරෝල් හොඳ මට්ටමට එනවා.

 

මෙවැනි තුවාල නිසා සිරුරට වෙනත් උපද්‍රව මතුවීමට පුළුවන් ද ?

උපද්‍රව කියන්නේ අතුරු ආබාධ. සමහර වෙලාවට තුවාල සුව නොවීම තුළ පාදයක් / අතක් කපන්න සිදුවන අවස්ථා තියනවාත නැත්නම් අතක / පාදයක ක‍්‍රියාකාරිත්වය නැතිව යනවා.

තුවාලය විශාල ලෙස පැතිරි යාමට පුළුවන්.

හැබැයි නිවැරදි ප‍්‍රතිකාර / නිවැරදි ජීවන රටාව / පෝෂණය සහ ප‍්‍රවේශම් වීම තුළ මෙවැනි අපහසුතා මඟ හැරි යහපත් සුවයට යා හැකියි.


සටහන - මහේෂානී මීගහපොල

 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment