හද කකියන වේදනාව ඇන්ජයිනාද?
හෘදයාබාධ හෝ හෘදයාබාධයකට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම බොහෝ දෙනා ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ලෙස වරදවා වටහා ගන්නා අවස්ථා තිබේ. මේ නිසා ගැස්ට්‍රයිටිස් සඳහා කරන ප්‍රතිකාර, ප්‍රථමාධාර සඳහා යොමුවීමෙන් අකල් මරණ සිදුවන අවස්ථාද අසන්නට ලැබේ. ඒ නිසා ගැස්ට්‍රයිටිස් ලෙස වරදවා වටහා ගන්නා ඇන්ජයිනා කැක්කුම ගැන හරි හැටි දැනුවත්වීම වැදගත් වේ. මෙම ඇන්ජයිනා කැක්කුම පුද්ගලයෙකුට හාදයාබාධයක් ගැන ඉඟි කරන තත්ත්වයකි. ඒ නිසා මේ ගැන නිසි අවබෝධයක් තිබිය යුතුමය.
කැක්කුම ඇති වෙන හැටි
මෙය බොහෝ විට ඇති වන්නේ පපුවේ හරි මැද හිරවීමක් වැනි කැක්කුමක් ලෙසටය. එසේම මෙම වේදනාව පපුව උඩ ලොකු බරක් තැබුවා මෙන් කෙනෙකුට දැනීමට පුළුවනි.
පපුවේ වේදනාවක් විටින් විට ඇතිවන විට එය ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා හෝ වාතය නිසා යැයි බොහෝ දෙනා සිතති. එසේ සිතා නොයෙකුත් තාවකාලික පිළියම් සොයති. එහෙත් කෙනෙකුට වරින් වර පපුවේ වේදනාවක් ඇති වන්නේ නම් එය හෘදයාබාධයක් ඇති වීමට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම විය හැකිය. මේ නිසා එසේ වරින් වර ඇතිවෙන පපුවේ කැක්කුම නොසලකා හැරීම භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු විය හැකි හේතුවක්වීමට පුළුවන.
මොකක්ද මේ ඇන්ජයිනා
උපදෙස් :- කොතලාවල වෛද්‍ය පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වේරහැර කොතලාවල රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
නාමල් විජයසිංහ |
ඇන්ජයිනා (Angina) කැක්කුම යනු කිරීටක ධමනි අවහිරතාව (Coranary artery disease) ඇති රෝගීන්ට බහුලව ඇතිවෙන තත්ත්වයකි. මෙය බොහෝ විට ඇති වන්නේ පපුවේ හරි මැද හිරවීමක් ලෙසටය. නැතහොත් පපුව මැද ලොකු බරක් තැබුවා ලෙස දැනෙන වේදනාවකි. මෙම වේදනාව බෙල්ලට හෝ වම් හෝ දකුණු උරහිස්වලට සහ බාහුවලට ගමන් කරයි. රෝගියා විවේකීව සිටියොත් හෝ දිව යට පෙත්ත තබාගතහොත් එම වේදනාව කෙමෙන් අඩු වී යයි.
එහෙත් ඇතැම් රෝගීන්ට ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ ඉහත සඳහන් කළ සාමාන්‍යයෙන් ඇතිවෙන වේදනාවට වඩා වෙනස් ආකාරයටය. එහිදී පපුවේ කැක්කුම හරි මැද නොව පපුවේ වෙනත් ස්ථානයක ඇති විය හැකියි. සමහරුන්ට කැක්කුම පපුවේ ඇති නොවී බෙල්ලේ, හණුවේ හෝ දකුණු බාහුවල ඇති විය හැකිය. මේ ආකාරයට ඒ ඒ තැනැත්තා සඳහා කැක්කුම ඇති වන ආකාරය වෙනස් වන අතර මෙම කැක්කුම ඔවුන්ට නැවත සෑදෙන්නේ මුලදී වූ ආකාරයටමය.
ආමාශ ප්‍රදාහය හෙවත් ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා පපුවේ හා බඩේ දැවිල්ලක් ඇති වීම සුලබ තත්ත්වයකි. මෙසේ ඇතිවෙන දැවිල්ලක් ඇන්ජයිනා කැක්කුමක් සමග ඇතැම් විට වෙන්කර හඳුනා ගැනීම රෝගියාට පමණක් නොව වෛද්‍යවරුන්ට පවා අපහසු වේ. මේ නිසා නිතර ඇතිවෙන ගැස්ට්‍රයීටීස් වේදනාව සමහර විට ඇන්ජයිනා කැක්කුම සමග පැටලීමට පුළුවන. එයින් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට ඉඩ තිබේ.
කැක්කුම ඇතිවෙන අවස්ථා
ඇන්ජයිනා කැක්කුම වැඩි වශයෙන් ඇතිවන්නේ මහන්සි වී වැඩක් කරන විට හෝ බියට පත් වූ විට, හදිසි කෝලාහලයකට පත් වූ විට හෝ සිත කලබල වූ විට වැනි අවස්ථාවලදීය.
මේ හැර අධික සීතල කාලගුණික තත්ත්වයකදීත් ඇති විය හැකිය. එහෙත් ඇතැම් රෝගීන්ට විවේකීව සිටින විට පවා මෙම කැක්කුම ඇති වීමට පුළුවනි.
කැක්කුමට හේතු
ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නේ හාදයේ කිරීටක ධමනිවල රුධිර ගමනාගමනයට අවහිරතා ඇති වීම නිසා හෘදයේ රුධිර සැපයුම අඩාල වූ විටය. ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම නිසා සමහර තැන් එසේ අවහිරවීමට පුළුවන. හෘදයේ ක්‍රියාකාරිත්වය සඳහා හෘද පේශීයට වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය විටෙක, කිරීටක ධමනිවල අවහිරතාව නිසා රුධිර සැපයුම අඩාල වන විට ඇන්ජයිනා කැක්කුම ඇති වේ. කිරීටක ධමනි ඉතා තදබල ලෙස අවහිර වී ඇති අවස්ථාවක ඉතා සුළු වෙහෙසවීමකදී හෝ විවේකීව සිටින අවස්ථාවලදී පවා මෙලෙස ඇන්ජයිනා කැක්කුම ඇති වේ.
හඳුනාගන්නා පරීක්ෂණ
මෙවැනි රෝග තත්ත්වයක් හඳුනා ගැනීමට මූලිකවම කරන පරීක්ෂණය ECG පරීක්ෂණයයි. මෙම පරීක්ෂාව කරන පටියේ දක්නට ලැබෙන වෙනස්කම්වලින් යම් පුද්ගලයෙකුගේ පපුවේ කැක්කුම කිරීටක ධමනි අවහිරතාව නිසා ඇති වන කැක්කුමක් ද යන්න හඳුනා ගැනීමට පුළුවනි.
එහෙත් ඇන්ජයිනා කැක්කුම තිබෙන සෑම රෝගියෙකුටම එම තත්ත්වය ECG පරීක්ෂාවෙන් හෙළි නොවන අවස්ථාද තිබේ. දරුණු කිරීටක ධමනි අවහිරතාවක් තිබෙන රෝගියෙකුගේ වුවත් විවේකයෙන් සිටින අවස්ථාවක ECG පටියේ කිසිදු වෙනස්කමක් සටහන් නොවී තිබීමට පුළුවනි. ඒ නිසා ඇන්ජයිනා කැක්කුමක් හඳුනා ගැනීමට කළ හැකි වැදගත්ම පරීක්ෂණයක් වන්නේ ව්‍යායාම ECG පරීක්ෂාවයි. මෙම පරීක්ෂණයේදී රෝගී තත්ත්වයක් ඇතැයි සිතන අයෙකු ඇවිදීමේ යන්ත්‍රයක් මත ඇවිදීමට සලස්වා ඇවිදීමේ වේගය වැඩි කිරීම මගින් රෝගියාගේ හෘද ස්පන්දන වාර ගණන ක්‍රම ක්‍රමයෙන් වැඩි කරයි. රෝගියාගේ කිරීටක ධමනි අවහිරතාවක් තිබේ නම් එවිට හෘද පේශියට අවශ්‍ය රුධිර ප්‍රමාණය නොලැබීමේ හේතුවෙන් ඇන්ජයිනා කැක්කුම ඇති වේ. ඒ නිසා මෙසේ ඇතිවෙන පපුවේ කැක්කුම කිරීටක ධමනි අවහිරතාවක් නිසා ඇති වන ඇන්ජයිනා කැක්කුමක්ද? නැත්නම් ගැස්ට්‍රයිටීස් හෝ පේශිවල වේදනාවක්ද යන්න නිශ්චිතව හඳුනාගත හැකි වැදගත්ම පරීක්ෂාව ව්‍යායාම ECG පරීක්ෂාව බව පැහැදිලිව සඳහන් කළ හැකියි.
මීළඟට
ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාව කරන්නේ කුමන තත්ත්වයකදීද?
ශිරානි ගල්ලෑල්ල
Leave a comment