ළමා ක්ෂය රෝගයෙන් දරුවා බේරාගන්න

 

ළමා ක්ෂය රෝගය අපට එතරම් හුරු පුරුදු රෝගයක් නොවේ. ඒ මෙම රෝගය ගැන එතරම් වාර්තා නොවන නිසාය. එහෙත් පරිසරයේ මෙම රෝග කාරක විෂ බීජය බෙහෙවින් තිබෙනබව ඔබ දන්නවාද? කෙසේ වුවද අලුත උපන් දරුවාට එන්නත්කරණය ආරම්භ කරන්නේ ක්ෂය රෝගයෙන් බේරීම සඳහා B.C.G. එන්නත ලබා දීමෙනි. එහෙත් රෝගියෙකු හා ඇසුරෙන් කුඩා වියේදීත් දරුවන්ට මෙම රෝගය වැලඳිය හැකිය. ඒ ගැන පසුගිය ලිපියෙන් ඔබට පැහැදිලි කළෙමු.

 

උපදෙස් -: බොරැල්ල රිජ්වේ ආර්යා  ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් 
චන්න ද සිල්වා

මෙවර පහදා දෙන්නේ කුඩා දරුවාට මෙම රෝගය බෝවෙන ක්‍රම හා රෝගීබව හඳුනාගත් පසු ප්‍රතිකාර ලබා දෙන ආකාරය පිළිබඳවය.


කුඩා දරුවන්ට මෙම රෝගය වැලඳෙන්නේ බොහෝදුරට වැඩිහිටියන්ගෙනි. ඒ විශේෂයෙන්ම නිවස තුළදීමය. බොහෝ විට නිවසේ ක්ෂය රෝගය වැලඳී තිබෙන බවට හඳුනා නොගත් වැඩිහිටියන් සිටිය හැකිය. එසේ හඳුනා නොගත් රෝගියෙකුගෙන් ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම මෙම රෝගය වැලඳෙයි. කුඩා දරුවාටද එසේමය.


ඉහත හේතුවට අමතරව පාසලෙන්, පෙර පාසලෙන් මෙම රෝගය බෝ විය හැකිය. එහෙත් එවැනි අවස්ථා බොහෝදුරට අඩුය.


මේ නිසා නිවසේ සිටින වැඩිහිටියෙකුට අසාමාන්‍ය කැස්සක් දිගටම පවතී නම්, රෝගියා කෙට්ටු වෙයි නම් ළය චිකිත්සාගාරයකින් පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් ය. එසේම කුඩා දරුවන්ද ළඟම තිබෙන ළය චිකිත්සාගාරයට රැගෙන ගොස් පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් ය.

 


එක්වරම හැදෙන්නේ නෑ 
මෙම ක්ෂය රෝගී බැක්ටීරියාවේ විශේෂත්වයක් තිබේ. මෙම බැක්ටීරියාව කෙනෙකුට ශරීරගත වූ පසු රෝගයේ ලක්ෂණ කිසිවක් සති කිහිපයක් යනතෙක් හෝ මාස කිහිපයක් යනතෙක් මතුවන්නේ නැත. බැක්ටීරියාව අඩපණ වූ තත්ත්වයෙන් එහෙත් සජීවි තත්ත්වයෙන් ශරීරය තුළ තිබේ. මෙසේ තිබීම ඉතාමත්ම භයානක ය. මෙසේ ශරීරගත වී තිබීමෙන් මාස කිහිපයකින් හෝ අවුරුදු කිහිපයකින් රෝගය මතුවිය හැකිය.

 


දරුවාට සිදුවෙන බලපෑම
අවුරුදු පහට අඩු කුඩා දරුවෙකුට නිවසේදී නොදැනුවත්වම ක්ෂය රෝග විෂබීජය ශරීරගත වීමෙන් එම බැක්ටීරියාව සැඟවී තිබිය හැකිය. එහෙත් පසුකාලීනව ඔවුන්ට රෝගයේ ලක්ෂණ මතු වේ. එහෙත් ඒ අවස්ථාව වන විට මෙම රෝග කාරක විෂබීජය ශරීරය පුරා පැතිර ගොස්ය. මෙය විශේෂයෙන් මොළයට බලපායි. ඒ නිසා දරුවා සිටින නිවසේ වැඩිහිටියෙකු හෝ වෙනත් කෙනෙකු ක්ෂය රෝගී තත්ත්වයෙන් පෙළෙයි නම්, විශේෂයෙන් එම රෝගියා පෙණහැල්ලේ ක්ෂය රෝග තත්ත්වයට ගොදුරුව සිටී නම් නිවසේ සිටින සියලුම දෙනා ළය රෝග සායනයකට ගොස් පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වේ.

 


ප්‍රතිකාර මොනවාද?
අවුරුදු පහට අඩු දරුවෙකුට මෙම රෝගය බවට සැක සහිත නම් එක්ස් කිරණ පරීක්ෂණ මගින් රෝගය හඳුනාගත හැකි ය. මෙම පරීක්ෂාවේදී දැනට රෝගය නැති බවට තහවුරු වුවහොත් මාස හයක් ඖෂධ නියම කරයි. ඒ රෝගය ඇතිවීම වැළැක්වීම සඳහාය.
එහෙත් දරුවා සිටින නිවසේ මෙම රෝගියෙකු සිටියේ නම් දරුවාටත් එම විෂබීජය ශරීරගත වී පසුකාලීනව රෝගය මතුවිය හැකිය. එසේම සංකූලතා ද ඇති වේ.  විශේෂයෙන් දීර්ඝකාලීන සහ ස්නායු පද්ධතියට බලපෑම් ඇති වේ. 


මේ නිසා අවුරුදු පහට අඩු සැම දරුවෙක්ම ක්ෂය රෝගය තිබෙන පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් වුවහොත් රෝගය වැලඳීම වැළැක්වීම සඳහා මාස හයක් ඖෂධ දීම ඉතාම වැදගත් වේ. එවිට රෝගය මතුවීම වළක්වයි. සැඟවී තිබෙන බැක්ටීරියාව විනාශ වෙයි.

 


රෝග ලක්ෂණ මතු වුවහොත්
* යම් දරුවෙකුට දිගටම ළා උණ තත්ත්වය පවතී නම්,
* කෑම අරූචිය පවතී නම්,
* දරුවාගේ ක්‍රියාශීලිබව අඩු නම්,
* බර වැඩි නොවේ නම්,
* දිගටම බර අඩු වන්නේ නම්, 


වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම වැදගත් වේ. මෙසේ වන්නේ නම් ළඟම තිබෙන ළය රෝග සායනයට හෝ ළඟම තිබෙන රෝහලේ ළමා ශ්වසන රෝග සායනයට දරුවා යොමු කළ යුතුයි.
මෙවැනි අවස්ථාවට දරුවන්ටත් වැඩිහිටියන්ට මෙන් මාස හයක ප්‍රතිකාරය ලබා දෙයි. එවිට මාස දෙකක් ඖෂධ වර්ග තුනක් හෝ හතරක් ලබා දෙයි. අනෙක් මාස හතරට ඖෂධ වර්ග දෙකක් නියම කරයි.

 


B.C.G. එන්නත දුන්නත් රෝගය වැලඳෙනවාද?
ක්ෂය රෝගය වැළැක්වීමට ඊක්‍ඨ එන්නත දරුවා ඉපදී  උපන් පළමු පැය 24 තුළ රජයේ හෝ සෑම පෞද්ගලික රෝහලකින්ම ලබා දෙයි. මෙමගින් ආරක්ෂාව ලැබෙන්නේ අවුරුදුු 05 ට අඩු දරුවන්ට ය. ඒ ශරීරය පුරා පැතිර යන ක්ෂය රෝගී තත්ත්වය හා මොළය ආශ්‍රිතව ක්ෂය රෝග තත්ත්වය වැළැක්වීම සඳහාය. මෙයින් අවුරුදු පහට අඩු දරුවන්ටත් ආරක්ෂාව ලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය නිවැරැදිව වර්ධනය වී නොමැති නිසාය. එහෙත් පවුලේ මෙම රෝගියෙකු සිටියහොත් පහට අඩු හෝ වැඩි දරුවන්ටත් මෙම රෝගය වැලඳිය හැකිය. 


B.C.G. එන්නතින් සියයම සියයක්ම ආරක්ෂාව නොලැබේ. ඒ නිසා නිවෙසේ රෝගියකු සිටී නම් දරුවා පරෙස්සම් කරගත යුතුය. සංකූලතා ඇති වුවහොත් පමා නොකර වෛද්‍ය උපදෙස් ගත යුතු වේ. 
රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ට ඖෂධ ලබා දීමෙන් ඔවුන්ට කිසිදු ගැටලුවක් ඇති නොවී රෝගය යටපත් වේ. එහෙත් ඖෂධ පටන් ගත් මුල් දින කීපයේ වමනය වැනි දෑ ඇති විය හැකිය. එහෙත් ප්‍රතිශක්ති එන්නත දුන්නා කියා කුඩා දරුවන් ක්ෂය රෝගීන් ඇසුරට දැමීම සුදුසු නැත.


එන්නත දී ඇති නිසා රෝගය වැලඳෙන්නේ නැතැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු නොවුණොත් හෝ ක්ෂය රෝගය විනිශ්චය පමා වී නිසි ප්‍රතිකාර පමා වී ඇතැම් විට දරුවාට දිගුකාලීන ගැටලු ඇති විය හැකිය. එනම් පෙණහැල්ල විනාශවීම එසේම පෙණහැල්ල ඇතුළත කැළැල් වැනි ගැටලු ඇති වේ. එවිට රෝගී දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාව වැනි බරපතළ ගැටලු පවා ඇති විය හැකි ය.

ශිරානි ගල්ලෑල්ල


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment