ක්ලීන් ශ්‍රී ලංකාවක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය . 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (01) පැවති උත්සවයට එක් වෙමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපි විශ්වාස කරනවා 2024 අවසන් වෙලා 2025 වසරට මේ පය තබන මොහොතේ ඒ කියන්නේ නව වසරක ආරම්භය අලුත් අවුරුද්දක උදාව. නමුත් දශක ගණනාවක් අප රටේ මෙවැනි වසරවල් උදා වූවාට අපි හොඳ දේ වෙනුවෙන් අලුත් වෙන්න සමත් වුණාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ගත වුණ වසරක් වසරක් පාසා අපි යහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් ඉදිරියට ගියාද?, එහෙම නැත්තං අයහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් අපි අතීතයටම ගියාද? කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ඒ නිසා අපිට ස්ථිර අධිෂ්ඨානයක් තිබෙනවා මෙම උදා වූ අලුත් වසරත් සමඟ අපේ රට නව අලුත් පරිවර්තනයකට ලක් කිරීමට. ඒ අභියෝගය සහ වගකීම අප සතුව තිබෙනවා. 


එය ඉටුකිරීම සඳහා මාත් මාගේ අමාත්‍ය මණ්ඩලයත් නියෝජ්‍ය අමාත්‍යවරුනුත් ඇතුළු මුළු දේශපාලන අධිකාරයම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කැප වී සිටිනවා. 

අපේ රටට මේ වසර උදාවෙන්නේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භයත් එක්ක. අපි මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන පදනම සකස් කරමින් තිබෙනවා. දේශපාලන සංස්කෘතිය,  නාස්තිය, පවුල්වාදය බලය අසීමිත ලෙස ජනතාවට එරෙහිව උපයෝගී කර ගැනීම, ජනතාවට උඩින් ඉන්න දේශපාලකයෙක් නිර්මාණය වී තිබීම මේ සියල්ල අහෝසි කර ජනතාවගේ වුවමනාවන් පෙරදැරි කර ගත් ඒ වුවමනාවන් එක්ක පෙළ ගැසුණු නව දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කොට තිබෙනවා,  මේ නව වසරේ අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. ඒ වගේම අපේ ආර්ථිකය, අපි දන්නවා පසුගිය වසර කිහිපයක් ඉතාමත් බංකොලොත් අඩියකට අපේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවර භාවයක් අපි නිර්මාණය කොට තිබෙනවා. පසුගිය වසරේ අවසාන භාගයේදී නිල වශයෙන් අපිට බංකොලොත්භාවයෙන් මිදීමට හැකියාව ලැබුණා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු නිලධාරීන් දේශපාලන අධිකාරිය විශාල වෙහෙසක් විශාල කාර්යයක් ඉටු කරනු ලැබුවා. මා හිතනවා ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවරභාවයක් අපි නිර්මාණය කොට තිබෙනවා. හැබැයි මේ වසරේ එය ප්‍රමාණවත් නැහැ. 

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ අපි ක්‍රියාත්මක කරන්නට සූදානම්. ඒ වගේම අපේ රට විවිධ අවස්ථාවල විවිධ පන්නයේ ආරක්ෂක තර්ජනයන්ට මුහුණ දීපු රටක්. එහෙත් අපිට ඉතාමත් සතුටින් සහ ස්ථාවරව කියන්න පුළුවන් අපේ රටේ ආරක්ෂාව ඉතාම හොඳින් තහවුරු කරන්න අපි සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පසුගිය අවුරුද්දේ ආරුගම්බේ කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. අපේ පොලිසිය, අපේ බුද්ධි සේවාවන්, අපේ ත්‍රිවිධ හමුදාව ඉතාමත් සක්‍රීය වැඩ කොටසක් සිදු කර රටේ ආරක්ෂාව පිළිබඳව ස්ථාවරය විශ්වාසය තහවුරු කරන්න සමත් වී තිබෙනවා. ඒ වගේම අපි ක්‍රමානුකූලව නීතියේ විධානයේ ආධිපත්‍යය යළි අපේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා අපි ශක්තිමත්ව වැඩ ආරම්භ කරලා තිබෙනවා. 

අපේ රටේ දීර්ඝ කාලයක් නීතියේ ආධිපත්‍යය නොසලකා හරින කාරණයක් බවට පත්වෙලා තිබුණා. විශේෂයෙන්ම අපරාධකරුවන් නීතියේ උඩින් ඉන්නවා. දූෂිතයන් නීතියට වඩා උඩින් ඉන්නවා. දේශපාලන අධිකාරීන් තමන්ට අවශ්‍ය හිතු හිතු පරිදි නීතිය උල්ලංඝනය කරනවා, ව්‍යවස්ථාව කඩනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාවේ නීති කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී තිබෙනවා. රටේ ඉහළම පුරවැසියා ව්‍යවස්ථාව කඩන රාජ්‍යයක නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන කවර කතාද? කියා මම ඔබගෙන් අසනවා.  ඒ නිසා අපි මේ නීතියේ විධානයේ ආධිපත්‍යය යළිත් සහ තහවුරු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ රාජ්‍ය දේහයත් දේශපාලන දේහයත් මුළු සමාජයත් පුරා විශාල වශයෙන් අල්ලස, දූෂණය, වංචාව හා නාස්තිය පැතිරී තිබෙනවා. එය අපේ රටේ මුළු රාජ්‍යය පුරාම පිළිකාවක් වගේ පැතිරිලා තිබෙනවා. අපට විශාල වෙහෙසක් දැරිය යුතුව තිබෙනවා මේ දූෂණය හා වංචාව නතර කරන්න. මා හිතනවා එහිදී අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් තිබෙනවා. 

මා හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා තමන්ට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය වන සහාය ලබා දෙයි කියලා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණ පද්ධතියට යළි අපේ රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් තිබෙනවා. 

 

 


ඔවුන් මේ සඳහා කැපවී කටයුතු කරනු ඇතැ’යි කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද දේශපාලන අධිකාරිය වන අපි ආදර්ශයෙනුත් ක්‍රියාවෙනුත් මේ දූෂණය නතර කරන්නත්, වංචාව නතර කරන්නත් අපි ආදර්ශය සපයනවා. හැබැයි දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, ඊට අදාළ වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් අරගෙන ඒ වෙනස්වීම සඳහා දායකත්වය සහාය ලබා දුන්නේ නැත්නම්. ඒ නිසා මා ඒ අදාළ ආයතනයන්ගෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ අවශ්‍ය වන සහාය අවශ්‍යයි. මොකද ඕනෑම ශක්තිමත් ගොඩනැගිල්ලක් ගොඩනඟන්න, ඕනෑම ශක්තිමත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉතාමත් ශක්තිමත් පදනමක් අවශ්‍යයි අත්තිවාරමක් අවශ්‍යයි. අපේ ජාතිය අපේ රට අත්තිවාරම අහිමි වූ රටක්. පදනම් අහිමි වූ රටක්. 

ඒ නිසා අපේ මූලික ප්‍රවේශය අපි සැලකිය යුතු ප්‍රමාණයෙන් සාර්ථකව නිමා කරමින් තිබෙනවා මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය වන අත්තිවාරම, පදනම අපි සකස් කරලා තිබෙනවා. දේශපාලන අධිකාරිය රාජ්‍ය යාන්ත්‍රණය නීතියේ විධානයේ ආධිපත්‍යය ඒ වගේම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දූෂණය අල්ලස පිටුදැකීම, මේ අත්තිවාරම අපිට අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙනයන්න. අපි ඉතාමත් වේගයෙන් සැලසුම් සහගතව මේ අත්තිවාරම ගොඩනඟාගෙන යනවා. අපේ පුරවැසියන්ට ඒ ගොඩනැඟී තිබෙන අත්තිවාරම මත ගොඩනැඟෙන මහා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යා යුතුයි. ඒ නිසා අපි අපේ රාජ්‍යය, අපේ ආණ්ඩුව, අපි  ප්‍රධාන ව්‍යාපෘති තුනක්, ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කර ගෙන මෙහෙය වනවා. ඒ ප්‍රධාන එක අරමුණක් තමයි අපේ රටත් අපේ රටේ පුරවැසියන්වත් මුදවා ගැනීම.

ගමේ ජනතාව දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා ගෙන යාමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සකස් කිරීම, ආර්ථිකය ඉතා කුඩා කණ්ඩායමක් මත සංකේන්ද්‍රණය වී තිබීම සමාජයකට කවදාවත් ස්ථාවරත්වයක් ගෙනත් දෙන්නේ නැහැ. ආර්ථිකය කුඩා කණ්ඩායමක් මත ඒකරාශී වී තිබීම රටකත් ජනතාවගේත් අස්ථාවරත්වය නිර්මාණය කරනවා. ඒ නිසා ආර්ථිකයේ ස්ථාවරත්වය නිර්මාණය කරන්න නම් එහි ග්‍රාමීය ජනතාව දක්වා ආර්ථිකය ප්‍රතිලාභ ගලා ගෙන යා යුතුයි. ඒ නිසා අපි එළඹෙන අයවැය ලේඛනයෙන් අපේ රටේ දුප්පත්භාවය  තුරන් කිරීම ඉලක්ක කරගත් දිශාවකට මෙහෙය වන ආර්ථික වැඩපිළිවෙළක ආරම්භය බවට පත්කරන්න අපි සූදානම්. අපේ දෙවැනි ඉලක්කය අපි මේ රට ඩිජිටල් කරන එකට භාජනය කළ යුතුයි. කාර්යක්ෂමතාව, නාස්තිය අවම කිරීම වංචා දූෂණ අවම කිරීම පුරවැසියන්ට ඉතාමත් පහසුවෙන් රාජ්‍ය හා තමන් අතර තියෙන බැඳීම සක්‍රීයව ඉටු කර ගැනීම සඳහා ඩිජිටල් කරණයක් අවශ්‍ය වන පදනමක් අපි නිර්මාණය කරනවා. ඊළඟ අපේ ප්‍රධාන වැඩ කටයුත්ත තමයි Clean Sri Lanka ව්‍යාපෘතිය. මෙය සාමාන්‍යයෙන් පරිසර පද්ධතිය පිරිසුදු කිරීම පිළිබඳව පමණක් නොවෙයි.  මෙය සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු මේ සමාජ දේහය මේ අසරණභාවයට පත් වුණු අපේ මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සෑම අංශයක් විසින්ම සිදු කරනු ලබන පිරිසිදුභාවයක් ඇති කිරීම තමයි අපේ අපේක්ෂාව. 

මා ඔබට කරුණු කීපයක් පෙන්නුම් කරන්නම් ඒ මොන තරම් වැදගත් ක්ෂේත්‍රයක්ද කියා ඔබ තේරුම් ගනීවි. විශේෂයෙන්ම අපේ රටේ ඉතාමත් අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක් තිබෙනවා. අපේ රටේ ඉතා වැදගත් පිහිටීමක් අපට තිබෙනවා. ඕනෑම විදේශිකයෙක් අපි හමුවුණාම ඔවුන් කියන්නේ ලස්සන ශ්‍රී ලංකාවක් ඔබට තිබෙනවා කියලයි. එහෙත් මේ ශ්‍රී ලංකාව තුළ අද මොකක්ද සිදු වී තිබෙන්නේ? මේ යහපත් පරිසර පද්ධතියක් තිබෙන රට ඇතුළේ 2023 වසරේ අලි මිනිස් ගැටුමින් මිනිසුන් එකසිය අසූ එකක් මරා දමා තිබෙනවා. ඒ වගේම 2023 වසරේ මිනිසුන් විසින් අලි 484ක් ඝාතනය කොට තිබෙනවා. හොඳ සෞන්දර්යාත්මක අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක් 

 

 

 

තිබුණත් වසරකට අලි 484 ක් මිය යන රටක් අපිට තියෙන්නේ. අලි විසින්  මිනිස්සු ඝාතනය කොට තිබෙනවා 182ක්. ඒ වගේම ගංවතුර නාය යෑම්වලින් විශාල ප්‍රමාණයක් අවතැන් වෙනවා ජීවිත හානි වෙනවා, ආර්ථිකය විශාල සෝදාපාළුවකට ලක්වෙනවා. ඒ නිසා අපි යළි මේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම Clean Sri Lanka වැඩසටහනෙන් එක් ප්‍රධානම වැඩ කොටසක් ලෙස අප සලකන්නට ඕනේ. 

අපේ රටට, අපේ රටේ පුරවැසියන්ට අවශ්‍යයි නව වටිනාකම්. නව හර පද්ධතියක් අවශ්‍යයි. අපි ඉතාමත් වැරදි දේ වටිනාකම් ලෙස තේරුම් අරන් තිබෙනවා. ඉතාමත් වැරදි දේ සමාජයේ මූලික හර පද්ධති ලෙස තේරුම් අරන් තිබෙනවා. අද අපිට අවශ්‍යයි මේ සමාජයට අලුත් වටිනාකම් පද්ධතියක් නිර්මාණය කිරීම. කොතනින්ද පටන් ගන්නේ? පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වටිනාකමක් අවශ්‍යයි. මා හිතනවා අපේ රටේ බොහෝ පුරවැසියන්ට තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වටිනාකමක් නැහැ කියලා. ඇයි මම එහෙම කියන්නේ? ගිය වසරේ පන්සිය අනූපහක් මිය ගොස් තිබෙනවා. එක්කෝ මුහුදේ එක්කෝ ජලාශවල එක්කො ළිඳක එක්කෝ පොකුණක. මිනිසුන් පන්සිය අනූපහක් ජලයේ ගිලීම නිසා මියගොස් තිබෙනවා ඒ කියන්නේ මොකක්ද? වාහන අනතුරුවලින් ගිය වසරේ  2321ක් මියගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට හත් දෙනෙක් වාහන අනතුරු නිසා මිය යන රටක් නිර්මාණය වී තිබෙනවා. 

2025  නව වසර Read Previous

2025 නව වසර

ක්ලීන් ශ්‍රී ලංකාවක් Read Next

ක්ලීන් ශ්‍රී ලංකාවක්

Realted Post

Leave a comment