කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන  
කාලෝ ගච්චති ධීමතඃ
ව්‍යසනේනච මුර්ඛානම් 
නිද්‍රයා කාලහේනවා...
“පණ්ඩිත වියතුන් සාහිත්‍ය, කාව්‍ය ශාස්ත්‍රය සහ කලාව සමග විනෝදයෙන් කාලය ගතකරනවා වගේම මෝඩයින් නූගතුන් කලහ කිරීමෙන් සහ නිදා ගැනීමෙන් කල් ගෙවනවා” කියලයි මේ පඬි වදනින් අර්ථ ගැනෙන්නේ. ජීවිතේට අලුත් ආලෝකයක් එකතු කරන්න පොතපත මොනතරම් වැදගත්දැයි තේරුම් ගන්න එයම ඇති.  නූතන සමාජයේ පඬිවරු සාහිත්‍ය පොතපත සහ කලාව ඇතුළෙ ජීවිතේ විවේකය, විනෝදය හෙව්වත් වර්තමානයේ පවතින කාර්යබහුල, අර්බුදකාරී ජීවිතත් එක්ක හුඟක් දෙනකුට සාහිත්‍යය සහ කලාව එක්ක විනෝද වෙන්න කාලයක් නැහැ. 

එහෙම නේද ඔබ හිතන්නේ? 
එහෙම හිතන ඔබට ජංගම දුරකථනය ඇතුළෙත් සාහිත්‍ය කලා කෘති රසවිඳින්න පු`ඵවන් අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. කියවීම ජීවිතයට නුහුරු ඔබට පු`ඵවන් මේ ආරම්භ වූ සාහිත්‍ය මාසයේ ඒ වෙනුවෙන් ජීවිතයට අලුත් ආරම්භයක් ගන්න. මොකද පොතපතට ආදරය කරන ඔබට ඒ පිටු ඇතුළෙ නිසැකවම ජීවිතය මුණ ගැසෙන්න පු`ඵවන්. පොතපතේ ඇති වටිනාකම සහ දරුවන්,  මවුපියන් ඇතුළු සියලු දෙනා සාහිත්‍ය පොතපතට නැඹුරුවීමේ වැදගත්කම ගැනයි අපි මේ කතා කරන්නේ, ඒ සඳහා හොඳම මොහොත මේ සාහිත්‍ය මාසය යි. 
සාහිත්‍ය කරුවන්ට විශේෂිත මාසයක්...
සාහිත්‍යය වෙනුවෙන් වෙන් වූ මේ මාසය සාහිත්‍යකරුවන්ට විශේෂිත මාසයක්. සාහිත්‍ය කරුවන් කියන්නේ පොත් ලියන, පොත් කියවන, සහ පොත් අගය කරන අයටයි. පොත් ප්‍රදර්ශන, හොඳම පොත් කතුවරුන් තෝරාගැනීමේ අවස්ථා මේ කාලයේ ක්‍රියාත්මක වෙන අතර එය පාඨකයින්ට සේම පොත් කතුවරුන්ටත්, පොත් ප්‍රකාශකයින්ටත් ඉතා හොඳ  අවස්ථා රැසක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම ඉතා සාරවත් කෘති රැසක් මේ මාසයේ පාඨකයින් අතට පත්වීම අගය කළ යුතුමයි. මේ කාලයේ පැවැත්වෙන හොඳම කෘති තේරීමේ තරගවලින් ජය ලබන සහ ඒ සඳහා නිර්දේශිත වන කෘති පාඨකයින්ට හොඳ පොතක් කියැවීමේ අවස්ථාව උදා කර දෙනවා. 
පොත් කියවන්න ඉඩක් දෙන්න 
පොත් ඇතුළෙ තියෙන්නේ දැනුම, ඒ දැනුම ඇතුළෙ ජීවිතේට හුඟක් දේවල් එකතු කරගන්න පුළුවන්. පොතපතට ආදරය කරන දරුවන් ඇතුළෙ සංවේදී කලාකරුවන් බිහිවෙනවා. මනුස්සකම, අනුකම්පාව, කරුණාව, ළෙංගතුකම දරුවෙකුගේ ජීවිතයට ළංවෙන්න ඕනෑ කුඩා කාලයේදීමයි. තවත් කෙනකුගේ වේදනාව දැනෙන්නෙ සංවේදී හදවතක් තිබෙන දරුවෙකුටයි. පිරුණු කළේ දිය නොසැලේ යැයි කතාවක් තිබෙන්නා සේ පොත පත කියවන දරුවන් බුද්ධිමත්වීම වළක්වන්න බැහැ. අපට ඕනෑ උගත් වගේම බුද්ධිමත් සහ සංවේදී දරුවන්. ඔවුන් නිර්මාණය කර ගැනීමට පොතපත විශාල පිටුවහලක්. එවැනි දරුවන් සමාජයේ ඉහළට පැමිණි විට ඔවුන්ව වෙනම කැපීපෙනෙනවා. පොතපතින් ලැබෙන ජීවිත ආලෝකයත් එක්ක පළිගැනීම, කලහකාරී හැසිරීම, හිස්බව වෙනුවට දරුවන්ගේ ජීවිතයට ඉවසීම, දරාගැනීම, කුඩාකාලයේදී ම හුරුවෙනවා. රොබෝවරුන් වැනි දරුවන් වෙනුවට අලුතින් හිතන, තැනට සුදුසු තීරණ ගන්නා නිර්මාණශීලී, දරුවන් බිහිවෙන්නේ අලුත්වෙන දැනුමත් සමගයි. 
උපන් දිනයට පොතක් 
එහෙත් හුඟක් මවුපියන් දරුවන්ට පොතපත ගෙනත් දෙනවා වෙනුවට කරන්නේ ඔවුන්ගේ උපන්දිනය දවසට විශාල කේක් ගෙඩියක් ගෙනැවිත් කැපීමයි. මේ සාදයේ දරුවාට වඩා සතුටුවෙන්නේ නිවෙසේ අනෙක් සාමාජිකයින්. උපන්දිනයට පමණක් නොවෙයි විශේෂ ඕනෑම අවස්ථාවක ඔවුන්ට දෙන්න හොඳම තෑග්ග පොත්. ඒ පොත්වලින් ඔබ දරුවන්ට දෙන්නේ ජීවිතේ. දරුවන් කුඩා කල සිට පියවරින් පියවර පොතට හුරුකරවන කියවීමේ ආසාව ඇතිකරවන පොතපත ඕනෑතරම් තිබෙනවා.  
පොත් තියෙන්නේ 
වඳින්න නෙවෙයි කියවන්න 
එදා ඉඳන්ම අපේ අධ්‍යාපනයේ අරමුණ වුණේ දැනුම ලබාදීම. ඒ තුළ අනිවාර්යයෙන් තිබුණ දෙයක් තමයි ගණිතය, ලිවීම සහ කියවීම. එය හඳුන්වන්නේ ත්‍රී ආර් කන්සෙප්ට් කියලයි. ඒ කියන්නේ  රු්ාසබටල අරසඑසබට ්බා ්රසඑයපැඑසජ (කියවීම, ලිවීම සහ අංක ගණිතය) සුදු ජාතිකයෝ කියන්නේ මේක අනිවාර්යයෙන් ප්‍රගුණ කළ යුතුයි කියලයි. ළමයගේ වැඩීමට මේ දැනුම දෙන්න ඕනෑ. එදා වගේ නෙවෙයි අද ජීවත් වෙන්නේ දැනුමෙන් පිරුණු ලෝකයක. ඉතින් දරුවෙකුගේ සමාජ වැඩීමට අනිවාර්යයෙන් මේ දැනුම ලබාදිය යුතුමයි. ඉස්සර අච්චු කන්තෝරු එන්න කලින් පත්තරයක් වත් තිබුණේ නැහැ. පන්සලේ පොත් ටිකක් විතරක් තිබුණා. හැබැයි ඒත් සමහර පොත් බලන්න දෙන්නෙත් නැහැ. පූජාවලිය, අමාවතුර වගේ පොත්පත් පන්සල්වල තිබුණා. සැදැහැවතියෝ ගිහින් මේවට මල් පූජා කරලා එනවා පමණයි. ඒ පොත් එළියට ගන්නේ නැහැ. නමුත් පොත්පත් තියෙන්නේ වැඳ වැඳ ඉන්න නෙවෙයි කියවන්න. උදේ පාන්දර පොත් මේසේ ළඟට ගිහින් පොත්වලට වැඳලා හරියන්නෙ නෑ. වැදගත්ම දේ මේ පොත් කියවීමයි. කියවන පුද්ගලයෙකුට අලුත් අදහස් එනවා. ඒ ඇතුළෙ තව තව අලුත් දේවල් හිතන්න පෙලඹෙනවා. අලුත් දැනුම ගන්න නම් පොතපත ජීවිතේට නැතිවම බැරි කොටසක් කරගන්න ඕනෑ. 
අම්මලා පොත් කියවන්න ඕනෑ නැද්ද? 
මවුපියෝ දරුවන්ට නිතර බලකරනවා පොත්පත් කියවන්න. එහෙත් මවුපියන් ඒ කාර්යයට ඒ තරම් නැඹුරු නැහැ. දරුවන්ට පොතපත කියවන්න දෙන්න කලින් මවුපියන් ඒ පොත් පරිහරණය කරන්න ඕනෑ.  පිරිත් කියනවා වගේ පොත් කටපාඩම් කරලා වැඩක් නැහැ. අවුරුදු කාලෙට ඇඳුම් ගන්න හුඟක් අය මහරගම පැත්තේ පොරකනවා වගේ පොත් ප්‍රදර්ශනවලටත් එන සෙනඟෙන් නම් අඩුවක් නැහැ. එහෙත් හුඟක් මවුවරු මේ පොත් ප්‍රදර්ශනවලින් වැඩිපුර ගන්නේ අකුරු නැති පොත්. පොත් ප්‍රදර්ශනයකට යන්නේ තනි රූල්, කොටුරූල් පොත් ගන්න නම් ඔබ දරුවට අරන් දෙන දැනුම, සතුට මොකක්ද? 
‘කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනවා’ යන වැකිය පරණ වුණාට අදටත් ඒ විදියටම වලංගුයි. ඒ නිසා කියවීම මවුපියන්ට වගේම දරුවන්ට දැනුම දෙන ගුරුවරුන්ටත් වැදගත්. සමස්ත සමාජයක් සාහිත්‍යයෙන්, කලාවෙන් පෝෂණයවීම රටක දියුණුවට මං සැදීමක්. 

අදහස් දැක්වීම : 
මහාචාර්ය  ජේ.බී දිසානායක
 

  • නයනා උදයංගනී

The Next Face Read Previous

The Next Face

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Next

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

Realted Post

Leave a comment