අපට එරෙහිවන අපේ ම හුස්ම

 

පරිසරය විටින් විට වෙනස් වෙයි. වායුගෝලයේ වෙනස්වීම, වායු ගෝලයට විෂ වායු එකතු වීම නොයෙකුත් හේතු නිසා සිදු වෙයි. පසුගිය දින කීපයේ වායුගෝලයට එකතු වූ විෂ වායු වර්ග හේතු කොටගෙන පරිසරයේ නොයෙකුත් වෙනස්වීම් සිදු විය. ඒ එදාට පමණක් සිදු වූ දෙයක් වුවත් පොදුවේ ගත් කල වායු ගෝලයේ නොයෙකුත් විෂ වායු එකතුවීම  මිනිස් ජීවිතයට කුමන ආකාරයෙන් බලපාවිද? මෙයින් මිනිස් ජීවිතයට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කරගන්නේ කෙසේද? ඒ පිළිබඳ දැනුම්වත්වීම වඩාත් වැදගත් වෙයි.


අසාමාන්‍ය ලෙස විෂ වායු හා දූවිලි අංශු වායු ගෝලයට එකතුවීම වායු දූෂණය ලෙස හැඳින්විය හැකිය. වායු දූෂණයට බලපාන විවිධ හේතු තිබේ. මේ වායු දූෂණය ගෘහස්ථ වායු දූෂණය හා බාහිර පරිසරයේ වායු දූෂණය යනුවෙන් වෙන් කළ හැකියි. අද බොහෝ නිවෙස්වල ඉවුම් පිහුම් කටයුතු සඳහා දර භාවිතා කරයි. ඒවාගේම විවිධ ගන ද්‍රව්‍ය නිවෙස් ඇතුළේ දහනයට ලක් කරයි. මෙයින් විශාල වශයෙන් ගෘහස්ථ වායු දූෂණයක් ඇති වෙයි. 

 


වායු දූෂණය මනින්නේ මෙහෙමයි

අදහස් දැක්වීම : - ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිත, 
මාතර මහා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
චන්දන කුලතුංග, 
රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
ශ්‍රියානි සමරවීර 
ජාතික අක්ෂි රෝහලේ, 
අක්ෂි ශල්‍ය වෛද්‍ය 
කපිල බන්දුසේන


ගෘහස්ථ වායු දූෂණයත්, බාහිර වායු දූෂණයත් අද විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වායු තත්ත්ව දර්ශකය තිබිය යුත්තේ 50ට වඩා අඩුවෙනි. එය 50-100 අතර තිබෙනවා නම් අතරමැදි වායු දූෂණය සිදු වී ඇති බව දැක්විය හැකිය. යම් විදියකින් මේ වායු තත්ත්ව දර්ශකය 100 ට වැඩි වුවහොත් එයින් මිනිසාට අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි අතර 100-150 අතර වුවහොත් විශේෂයෙන් සංවේදී පුද්ගලයින්ට අහිතකර බලපෑම් ඇති විය හැකිය. එය 150 ට වඩා වැඩි වුවහොත් අනිවාර්යයෙන්ම මිනිසුන්ට අහිතකර ප්‍රතිඵල ඇති වෙයි. මේ වායු තත්ත්ව දර්ශකය පසුගිය කාලයේ 200-250 ට ආසන්නව පැමිණි නමුත් එය තාවකාලිකව ඇති වූ දෙයක් ලෙස සඳහන් කළ හැකිය. කෙසේ නමුත් වායුගෝලයේ ගුණාත්මකබව පහළ වැටුණහොත් එයින් මිනිසාගේ සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි බව අමතක නොකළ යුතුය.


වායු දූෂණය නිසා මිනිසාගේ සෞඛ්‍යයට ඇතිවෙන බලපෑම ඉතාමත්ම භයානක නොවන රෝගාබාධ තත්ත්වයන්ගේ සිට භයානක රෝගාබාධ තත්ත්ව දක්වා වර්ධනය විය හැකිය. විශේෂයෙන් පෙණහලු ආශ්‍රිත රෝග ඇති විය හැකිය.


අවට ඇති වායුවේ ගුණාත්මකභාවය පහත වැටුණහොත් අපට ආශ්වාස කරන්නට සිදුවන්නේ විෂ වායු හා දූවිලි අංශුය. එවිට රෝගී තත්ත්ව බොහොමයකට අප ගොදුරු විය හැකිය. විශේෂයෙන් කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි තත්ත්ව ඇති විය හැකිය. මේ ආකාරයට භයානක රෝග තත්ත්වයන්ගෙන් ආරම්භ වී නියුමෝනියාව වැනි භයානක තත්ත්වයන්ට වර්ධනය විය හැකිය. 


විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු නිදන්ගත පෙණහලු රෝග ඇති රෝගීන්ට මේ නියුමෝනියා තත්ත්වය ඇති වුවහොත් ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වී ඔවුන්ට භයානක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. ඒවාගේම දූවිලි අංශු කාබන්මොනොක්සයිඩ් වැනි වායු වර්ගවලට දීර්ඝකාලීනව මුහුණ දීමට සිදු වුවහොත් හෘදයාබාධ ඇති විය හැකිය. ඊට හේතුව මේ දූවිලි අංශුවලට පෙණහැල්ල තුළින් ලේවලට ඇතුළුවීමට හැකියාව තිබීමයි. ඊට අමතරව අංශභාගය වැනි තත්ත්වද ඇති විය හැකිය. 

 


මේ අයට අවදානම වැඩියි 
වාතයේ ගුණාත්මකභාවය අඩු වී වායු දූෂණය ඇති වුවහොත් වැඩියෙන් අසනීපවලට ගොදුරු වන අවදානම් කණ්ඩායම් වශයෙන් කුඩා දරුවන්, වයෝවෘද්ධ අය, නිදන්ගත පෙණහලු රෝගීන්, හෘද රෝගීන්, ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්, ගර්භිණී මවුවරුන් සඳහන් කළ  හැකියි. 

 


අහිතකර බලපෑම අවම කරගන්න හැටි 
මේ අහිතකර බලපෑම අවම කර ගැනීමට නම් ඔබට කළ හැකි ප්‍රධානම දේ වන්නේ මුහුණු ආවරණයක් හෝ හොඳින් ආවරණය වන මුඛ ආවරණයක් පැලඳීමයි. එයින් විෂ දූවිලි අංශුවලින් වගේම නොයෙකුත් විෂබීජ වර්ගවලින් ආරක්ෂාව ලබා ගත හැකියි. විශේෂයෙන් මේ කාලයේ සෙනඟ අතර ගැවසෙද්දී හෝ ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණයක් හෝ මුඛ ආවරණයක් පලඳින්න. ඒවාගේම පාසල් දරුවන්ට වුවත් මේ කාලයේ පාසල් යද්දී හෝ එළිමහනේ ඇවිදිද්දී මුඛ ආවරණයක් පලඳින්නට සලස්වන්න.  

 


වායු දූෂණයෙන් සමට මොකද වෙන්නේ
පරිසරය සමග කෙළින්ම ගැටෙන ශරීරයේ විශාලම අවයවය වන්නේ සමයි. ඒ නිසා වායු දූෂණයේ ඇතිවෙන බලපෑම සමට බලපෑ හැකිය. ඒවා කෙටිකාලීන හෝ දීර්ඝකාලීන විය හැකිය. කෙසේ හෝ වායු දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් සමේ වියළි ගතිය වැඩි විය හැකිය. සමේ ලප කැළැල් ඇති විය හැකිය. යම් කෙනෙක් සමේ රෝගී තත්ත්වයන්ගෙන්  පෙලෙයි නම් ඒ රෝගී තත්ත්ව වැඩිවීමට පුළුවන. විෂ දූවිලි අංශු සමේ තැන්පත් වී දහඩිය ග්‍රන්ථි අවහිරවීමෙන් සමේ කුරුලෑ වැනි තත්ත්ව ඇති විය හැකියි. ඒවාගේම සමට ඇතුළුවන අහිතකර ද්‍රව්‍ය නිසා සමේ පිළිකා තත්ත්ව ඇති විය හැකිය. මේ බලපෑම ඇතිවෙන්නේ දීර්ඝකාලීනවය. 

 


සම ආරක්ෂා කරගන්න
* සම නිතර පිරිසුදු කරන්න. අඩුම තරමින් දිනකට දෙවරක්වත් (උදේ සවස) ශරීරය පිරිසුදු කරන්න. 
* සම ආරක්ෂා වෙන ආකාරයේ ඇඳුම් අඳින්න. 
* පරිසරයේ වියළිබව නිසා සමේ තෙතමනය නැති විය හැකියි. ඒ නිසා සමේ තෙතමනය ආරක්ෂා  වන ආකාරයට මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් දිනකට දෙවරක්  භාවිතා කරන්න. 
* වෛද්‍ය උපදෙස් මත මුහුණටද මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිතා කරන්න.  

 


වායු දූෂණයෙන් ඇසට මොකද වෙන්නේ
දැනට වසර කීපයක සිට ඇස් රතුවීම, ඇස් කැසීම වැනි තත්ත්වයන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. මේ වායු දූෂණයත් සමගම මේ තත්ත්වය තවත් වැඩි විය හැකිය. 
කඳුළු යනු අපේ ඇස ආරක්ෂා කරන්නකි. කඳුළු ගැලීමෙන් එක්තරා ආකාරයකට වායු දූෂක ද්‍රව්‍ය ඇසෙන් ඉවත් කිරීමක් ද සිදු වෙයි. සමහර විට වායු දූෂණයේ බලපෑමක් නිසා මේ තත්ත්වය දරුණු තත්ත්වයට පත් විය හැකිය. එනම් ඇස් වියළෙන්නට පුළුවනි. එයින් ඇසේ අසාත්මිකතාවක් ඇති විය හැකිය. ඇසේ අසාත්මිකතාවක් ඇති වුවහොත් ඇස කෙවෙන ගතියක් ඇති වේ. ඇස රතු වෙයි. ඉදිමෙයි. තදබල ලෙස කැසීමකට ලක්වෙයි.

 


ඇස් ආරක්ෂා කරගන්නේ කොහොමද?
* ඇස ආරක්ෂා කර ගැනීමට උපැස් යුවළක් පලඳින්න. වෛද්‍ය උපදෙස් මත අව් කණ්ණාඩියක් පලඳින්න.
* නිතර හොඳින් අත් සෝදා පිරිසුදු කර ගන්න. ඊට හේතුව අපි නිතරම අතින් ඇස් අල්ලයි. එසේ ඇස් ඇල්ලීමෙන් මේ තත්ත්වය වැඩි විය හැකියි. 
* ඇසේ වියළිබව නැති කර ගැනීමට වෛද්‍ය උපදෙස් මත කෘත්‍රිම කඳුළු භාවිතා කරන්න. 
ඇසේ රතුවීම හෝ ඉදිමීම තදබල ලෙස ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ගන්න.

 

සුබෝධිනී පෙරේරා


 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment