අපේ රටේ පැරණිම තිඹිරිගෙය ද සොයිසා කාන්තා රෝහල

 

පුංචි බොරැල්ලේ ද සොයිසා කාන්තා රෝහල ලංකාවේ ප්‍රථම මාතෘ රෝහලයි. ආසියාවේ දෙවැනි පැරණිතම රෝහලයි. වසර 1879 දෙසැම්බර් 9 දා විවෘත කරන ලද රෝහලේ නිර්මාතෘවරයා වන්නේ ධානපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා ය. වසර 143 ක ඉතිහාසයකට නෑකම් කියන සොයිසා කාන්තා රෝහල මෙම කාලය තුළදී කෙතරම් දරුවන් පිරිසකට තිඹිරිගෙය වූවා දැයි ගණනය කළ නොහැකි තරම්ය.

 

 

කාන්තාවන්ට, මවුවරුන්ට, ළදරුවන්ට සියලු පහසුකම් සහිත රෝහලක්

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ 

සොයිසා කාන්තා රෝහලට මේ වසරට අවුරුදු 143 ක්. මේ කාලය තුළ ඉතා විශාල සේවාවක් මෙම රෝහලෙන් සිදුවී තිබෙනවා.


කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මාතෘ හා කාන්තා රෝග අධ්‍යයන අංශය පිහිටා තිබෙන්නේද මෙම රෝහල තුළයි. ඒ වගේම තමයි සියලු පහසුකම් සපිරි රෝහලක්. අඩු බර උපදින දරුවන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකක, විශේෂ ළදරු ඒකක, මවුකිරි කළමනාකරණ ඒකක ආදී සියල්ලෙන් සමන්විතයි.


මසකට දරු උපත් 800-1000 අතර සංඛ්‍යාවක් මෙහිදී සිදුවන අතර වසරකට දරු උපත් 10,000-12000ක් පමණ සිදුවෙනවා.හුඟක් වෙලාවට වෙනත් රෝහල්වල දරු උපත්වලදී අමාරුවන රෝගීන් මෙම රෝහලට මාරු කර එවනවා. අවදානම් සහිත මව්වරු බලාගැනීම මෙම රෝහල තුළ සිදුවෙනවා. ඒ වගේම තමයි ඉතා දක්ෂ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් රෝහලේ රාජකාරි කටයුතු කරනවා. අපි සෑමවිටම බලන්නේ රෝහලට පැමිණෙන සෑම මවකටම ගුණාත්මක සේවයක් ලබාදෙන්නයි.

 


සමහර මවුවරු දරුවන් රෝහලේ දමා යාම ගැටලුවක් 

ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඩබ්. ඩී.පී.එල්. ජීවන්දර


අභියෝග රැසකට මුහුණ දී ගොඩ නගාගත් ගුණාත්මක අතින් ඉහළ රෝහලක් තමයි සොයිසා කාන්තා රෝහල. දරුවකු බිහිකිරීමට රෝහලට පැමිණෙන මවුවරුන්ට අපේ කාර්ය මණ්ඩලය ඉතාමත් වගකීමෙන් හැම විටකම කටයුතු කරනවා. මොකද ඇත්තටම අතීතයේ තිබුණු මතයක් තමයි දරුවකු ප්‍රසූත කරන්න රෝහලට ගියාම ඒ මවුවරුන්ට බැණ වදිනවා කියන කාරණය. නමුත් අපට 100% ක්ම තහවරු කරන්න පුළුවන් අපේ රෝහලේ ප්‍රතිකාර ගන්නා මවුවරුන්ගේ මනස හදලා ඔවුන්ට වඩා ශක්තිමත් සේවාවක් ඉටු කිරීම ගැන.


ඉස්සර නම් මවක් සිසේරියන් සැත්කමකින් පසුව දවස් කිහිපයක් ඇඳෙන්වත් බස්සන්නේ නැහැ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්. ඒ වගේම තමයි දරුවා ප්‍රසූත කළ පසු කිසිදු රෝගාබාධයක් නැතිනම් පැය 24 ක් ඇතුළත රෝහලෙන් පිටවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි දරු ප්‍රසූතියකදී මවගේ ළඟම ඥාතියකුට සූතිකාගාරයේදී ළඟ ඉන්න පහසුකම් ලබා දී තිබෙනවා.


අපේ රෝහල අනෙක් රෝහල් හා බලද්දි ඉතා කුඩා රෝහලක් වුවත් අපි සෑමදෙනාම කණ්ඩායමක් වශයෙන් වැඩ කරනවා. එයයි වැදගත් වන්නේ.


රෝහල තුළ හැම පහසුකමක්ම තිබුණත් එදාට වඩා අද රෝහලට පැමිණෙන මවුවරුන්ගේ පිරිහීමක් නම් දකින්න තිබෙනවා. ඇතැම් මවුවරු මත්ද්‍රව්‍යවලට පුරුදු වෙලා. සමහර මවුවරු දරුවා රෝහලේ දාලා යනවා. දැනටත් එවැනි දරුවන් හතර දෙනෙක් රෝහලේ සිටිනවා. මේක ඇත්තටම ඛේදවාචකයක්. මොකද ඒ දරුවන් කුඩා නිසා නඩත්තු කරන්නේ රෝහලෙන්. ඒ වගේම තමයි බාල වයස්කාර දැරියන් ගැබිනියන් වීමත් වෙනදාට වඩා වැඩියි. මේ සියලු දේවල්වලට හේතුව අපේ සමාජය පිරිහීමයි. දරුවකු පිළිසිඳගන්නා නිසි වයස ගැන අවබෝධයක් නැති බොහෝ අය සමාජයේ ඉන්නවා. මේ පිළිබඳව අවබෝධයක් විශේෂයෙන් ගැහැනු දරුවන්ට දිය යුතුයි.
ඇත්තටම අපේ රෝහල තුළ ගර්භිණී මවකට පූර්ණ රැකවරණය ලැබෙනවා. බොහෝ පහසුකම් තිබෙනවා. මවකගේ විශ්වාසය සුරකිනවා.

 


අලුත් පදවිය ලබන මවුවරුන්ට අපි සලකන්නේ රෝගීන් ලෙසට නොවෙයි.

හෙද නිලධාරිනී එස්.කේ.කේ. නන්දනී


හෙද නිලධාරිනියක් ලෙස පළමු පත්වීම 1992 වසරේදී ලැබුවේ මෙම රෝහලටමයි. මගේ සේවා කාලය වසර 30කටත් වැඩියි. ඇත්තටම මට නම් මේ රෝහල හරිම සුවිශේෂයි. මේ වගේ දීර්ඝ ඉතිහාසයක් තිබෙන රෝහලක රාජකාරි කිරීමට ලැබීමත් වාසනාවක්.


ද සොයිසා කාන්තා රෝහල ළදරු මිතුරු රෝහලක්. ඒවගේම ශික්ෂණ රෝහලක්. අප ළඟට එන මවුවරුන්ට සලකන්නේ රෝගීන් ලෙස නොවෙයි. මොකද අලුත්  පදවියක් ලබන්න එන කාන්තාවන්  අපට සුවිශේෂී යි. අපි සතුටක් ලබන්නේ එම මවගේත් දරුවාගේත් නිරෝගීබව දැකලා. 


අපේ රෝහලට විවිධ පළාත්වලින් අවදානම් සහිත මවුවරු පැමිණෙනවා. විවිධ රෝගාබාධවලින් අසාධ්‍ය  වූ මවුවරු එනවා. ඔවුන්ට නිසි පරිදි රැකවරණය කණ්ඩායමක් ලෙස අප ලබාදෙනවා.
ඒ වගේම කොරෝනා කාලයේදී වුණත් උපරිම ආකාරයෙන් වෙනම දැඩි සත්කාර ඒකකයක් පිහිටුවා රෝගීන්ට උපස්ථාන කළා.

 

 

 


ප්‍රතිකාර කල් දාන්න බෑ ධානපතීන්ගේ සහයෝගයත් වැදගත්

හෙද නිලධාරිනී එම්.ජී වජිරා


මම මේ රෝහලේ සේවයට පැමිණෙන්නේ 1993 වසරෙදි. එදාට වඩා අද රෝහලේ තත්ත්වය හැම පැත්තෙන්ම වෙනස්. මුල් කාලයේ රෝහල පවත්වාගෙන ගියේ පැරණි ගොඩනැගිල්ලක. පසුව රජය මැදිහත්වීමෙන් විවිධ සංවර්ධන කටයුතු සිදුවුණා. ඒ තුළින් හොඳ සේවාවක් රෝගීන් වෙනුවෙන් ලබාදෙන්න අපට පුළුවන් වුණා.


මේ වෙද්දි රටේ ආර්ථික තත්ත්වය වෙනස්. බොහෝ රෝහල්වල විවිධ අඩුපාඩු දකිනවා. ඇත්තටම අපේ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ සිට සෑම තරාතිරකම අය උත්සාහ කරන්නේ රෝහලේ ඇති අඩුපාඩු අවම කරගන්න. මොකද අපි ළඟට එන මවුවරුන්ගේ රෝග තත්ත්වයන් වෙනුවෙන් කරන ප්‍රතිකාර පස්සට කල් දාන්න බෑ. අපේ කාර්ය මණ්ඩලය සෑම විටකම උත්සාහ කරන්නේ අපි ළඟට එන සෑම මවකටම ගුණාත්මක සේවයක් දෙන්නයි. එය පවත්වාගෙන යන්න ධානපතියන්ගේ සහයෝගයත් මේ වේලාවේ අවශ්‍යයි.

 

 


රැකගතයුතු වටිනා රෝහලක්

රෝහලේ ලේකම්වරිය එච්.පී.කේ.පී.කුමාරි


ඇත්තටම රැකගතයුතු ඉතාම වටිනා රෝහලක් තමයි සොයිසා කාන්තා රෝහල. මෙම රෝහලෙන් ගර්භිණී මාතාවන්ට සිදුවන සේවාව අති විශාලයි. ඒ වගේම තමයි මෙම රෝහලේ නිර්මාතෘවරයා වූ චාල්ස් ද සොයිසා මහතාගේ පවුලේ උදවිය අදටත් මෙම රෝහලේ උන්නතිය වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. රෝහලේ සෑම විශේෂ අවස්ථාවකටම සහභාගී වෙනවා. එය ඇත්තටම රෝහලට කරන ගෞරවයක් ලෙසයි මම දකින්නේ.

 

සුජිත් ප්‍රසංග 
ඡායාරූප : රුෂිරු කොළඹතන්ත්‍රි


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post