අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

දරදඬු තීරණ තුළ සීතල කඳුළක උරුමක්කාරයෙකු වී සෙනෙහස පුද කළ එකම පිරිමියා තාත්තාය. හුඟක් වෙලාවට  කාන්තාවකට පවුලක් තුළ අම්මා හා  තාත්තා චරිත දෙකෙන්ම පෙනී සිටීමට හැකිය.  එහෙත් පිරිමි⁣යෙකුට නම් එය විශාල අභියෝගයකි. ඇයගේ තාත්තා තම දරුවන් වෙනුවෙන් ඒ යුතුකම හරියටම ඉටු කළ පුද්ගලයෙකි.

මේ  සෙනෙහෙවන්ත පියා ගැන අපට කීවේ ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක වන සීනත් බොන්සෝය. ඔහු ප්‍රවීණ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයකු වන ෆයිසල් බොන්සෝය.
මේ අකුරු වන්නේ තම පියා ගැන ඇයගේ හැඟීම් ය. 

  • තාත්තා අපි දෙන්නව හැදුවෙ තනිවම            

‘‘ මගේ තාත්තා  කොළඹ ඉසිපතන සහ කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.  ඒ වගේම තාත්තා ක්‍රීඩාවටද ගොඩක් කැමතියි. මලල ක්‍රීඩා සඳහා මාවත් යොමු කළේ ඔහුයි.  තාත්තා මුලින්ම මිනිසුන් අතරට ගියේ කොරින් ආන්ටි  සමග ගීතයක් ගායනා කරලා. තාත්තට හරි ලස්සන කටහඬක් තිබෙනවා. ඒ වගේම තාත්තා සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් සේවය කළා. නමුත් තාත්තාගේ මූලික තැන වුණේ මාධ්‍ය ජීවිතය. මට  වයස අවුරුදු අටේදි තාත්තයි අම්මයි නීතියෙන් වෙන් වුණා. ඒ වන විට මල්ලිට වයස අවුරුදු 6යි. ඒ කාලේ තාත්තගෙ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වුණා. අපි දෙදෙනාගේම වගකීම පැවරුණේ තාත්තට. ඉතින් තාත්තා අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. අපේ හැමදේකටම තාත්තා අපිත් සමග සිටියා. පාසල් වැඩ කටයුතුවලදී බාහිර වැඩ කටයුතුවලදී ඒ සෑම දෙයක්ම තාත්තා අපි වෙනුවෙන් නොපිරිහෙලා  ඉෂ්ට කළා. යාළුවෝ වගේ තාත්තා සමග වැඩ කරන්න පුළුවන් වුණා. අපි අතර කිසිම රහසක් තිබුණේ නැහැ. 

  • අපිට ලස්සන ළමාවියක් දෙන්න  හුඟක් කැපකිරීම් කළා

අපේ කුඩා කාලයේ ගොඩක් ලස්සන මතක තිබුණේ නැහැ. මොකද අම්මගේ තාත්තගෙ වෙන්වීම නිසා. මට වයස අවුරුදු 13 වන තෙක්ම ගොඩක් ප්‍රශ්න සමගයි ජීවත්වුණේ.  නමුත් තාත්තා ඒ ප්‍රශ්නවලින් අපට බලපෑම් වෙන්න ඉඩදුන්නේ නැහැ.  සමහර දවස්වලට තාත්තා වැඩ ඉවර වෙලා පාන්දර එන්නේ.  ඒ ඇවිත් අපිව පාසලට රැගෙන යනවා. අපේ අනිත් වැඩ කටයුතුත් කරනවා. 

  • කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි  විතරයි

අපි පොඩි කාලේ තාත්තා News Script ගෙදර අරන් එනවා. ඒ ඇවිත් මටයි මල්ලිටයි ඒක කියවන්න දෙනවා. අපේ තාත්තට ඉංග්‍රීසි භාෂාව නිවැරදිව තියෙන්න ඕනෑ. එක වචනයක් වැරදුනොත් බණිනවා. ගෙදරදිත් ඉංග්‍රීසි භාෂාව  කතා කරන්න අනිවාර්ය කරලයි තිබුණෙ. දවසක් තාත්තා Show එකකට ගිහින්  ගෙදර එනකොට මමයි මල්ලියි  ආච්චියි (තාත්තාගේ ලොකු අම්මා)  සිංහලෙන් කතා කරමින් ඉන්නවා හොරෙන් අහගෙන ඉඳලා. ඊට පස්සේ අපි දෙන්නට බැන්නා ගෙදරින් එළියට යන තරමටම. ඒ දවසින් පසුව අපි හැමදාම කතා කළේ ඉංග්‍රීසියෙන් විතරයි. අදටත් මමයි මල්ලියි මුණගැසුනාම ඉංග්‍රීසියෙන් විතරයි  කතා කරන්නේ. තාත්තා කවදාවත් අපිට ගහලා නැහැ. නමුත් තාත්තාගේ ඒ හඬ පෞරුෂයට අපි බයයි.

  • අපි දෙන්නාගෙන් ලෝක වාර්තාවක්

තාත්තයි මමයි එකම ලයින් එකේ ප්‍රවෘත්ති කියපු දවස අපේ ජීවිතවල තවත් එක් සුන්දර මතකයක්. එදා නම් මම ගොඩක් බය වෙලා හිටියේ. මොකද මගේ අනෙක්පස තාත්තා හිටිය නිසා. ඒ දවස ලෝක වාර්තාවක් ලෙස සඳහන් කර තිබුණා. ලෝකයේ ප්‍රථම වතාවට තාත්තයි දුවයි එකම ලයින් එකේ ප්‍රවෘත්ති කියපු දවස. මේ ගැන ඉදිරියට ගෙනා හරේන්ද්‍ර අයියට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

  • තාත්තා මගේ සැමියගේ හොඳ රසිකයෙක්

ඒ වගේම මගේ විවාහය සිදුවන්නේ  පුදුම සහගත විදිහට. මගේ මහත්තයගෙ රසිකයෙක් තමයි මගේ තාත්තා. ඒ දවස්වල මගේ මහත්තයා සහභාගි වුණු රියැලිටි ෂෝ එක නොකඩවාම නරඹන්න තාත්ත පුරුදු වෙලා හිටියා. ඒ දවස්වල ගෙදර නම් ස්ටුඩියෝ එකක් හා සමානවයි තිබුණෙ. ඒ තරමට තාත්තා රූපවාහිනියෙ ශබ්දය වැඩි කරනවා. කොහොම හරි ෆයිනල් එක දවසේ තමයි මගේ මහත්තයව මුලින්ම මම අඳුනගත්තේ. තාත්තයි මගේ මහත්තයයි යාළුවෝ වගේ ආශ්‍රය කරන්නෙ.
මගේ තාත්තා රාජකාරියේදි එය තමන්ගෙම කරගෙන වැඩ කරනවා. රාජකාරියෙන් පිට ජීවිතයේ තාත්තා හරිම විනෝදකාමී,  මිනිසුන්ට කුලුපග චරිතයක්.  ඒ වගේම තාත්තා කවදාවත් තාත්තගෙ තනතුරු භාවිත කරලා අපේ අවශ්‍යතා ඉෂ්ට කරලා දීලා නැහැ. රූපවාහිනියෙ සම්මුඛ පරීක්ෂණය දවසෙත් තාත්තගෙ හැඳුනුම්කමින් නෙමෙයි මාව තෝරාගත්තෙ. තාත්තා විනිශ්චය මණ්ඩලයේ සිටින තරගවලට මම සහභාගි වෙලා නැහැ.  අනෙක් අයට ආදර්ශයක් වෙන විදියට ජීවත්වෙන්න කියා තාත්තා හැමවිටම අපිට කියා දී තිබෙනවා. 

  • මම හරිම වාසනාවන්තයි

අපි කුඩා කාලයේ සිටම  අද වනතෙක්ම අපි වෙනුවෙන්මයි තාත්තා කැපවුණේ. ගැහැනු දරුවෙකුට තාත්තා කියන්නේ වීරයෙක්. තාත්තා මගෙ රෝල් මොඩ්ල් එක. 
මම හරිම වාසනාවන්තයි. මේ වගේ තාත්තා කෙනෙක් ලැබීම මට ආශිර්වාදයක්. මමයි මල්ලියි මේ වනවිට හොඳ චරිත ලෙස සමාජයට දායාද කරන්න තාත්තා ගොඩක් කැප කිරීම් කළා. අද අපි දෙන්නා සමාජයේ ගෞරවනීය ලෙස ජීවත්වෙනවා.  
තාත්තා තමයි මගේ ජීවිතයේ පළමුවැනියා. ඔහු කරපු නිහඬ කැපකිරීමට මම සදා ණයගැතියි.

St Peter’s College Old Boys Dinner Dance Read Previous

St Peter’s College Old Boys Dinner Dance

ARTRA’s Art Experiential Festival Read Next

ARTRA’s Art Experiential Festival

Realted Post

Leave a comment