අලුත් ලෝකෙට දරුවො හදන්නේ කොහොමද?

 

අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට පවතින්නේ වෙනස්ම සමාජ වටපිටාවක්. 


“දැන් ඉන්න දරුවෝ බැලුවොත් ඉන්ටර්නෙට් එකේ, අපේ කාලේ නම් ඉතින් මේ වගේ දේවල් තිබුණේ නැහැ, අපි කියන දේවල් මේ අය අහන්නෙත් නෑ” 


දරුවන් සමග සිටින හුඟක් වැඩිහිටියන්ට තිබෙන ගැටලුවක් තමයි මේ. සමහර වෙලාවට මේ යුග ගැටුම නිසාම දරුවන්ට වැඩිහිටියන් කෙරෙහි තිබෙන විශ්වාසය, ගෞරවය ගිලිහිලා ගිහින්. ඒ නිසාම දරුවන්, මවුපියන්, වැඩිහිටියන් අතරේ නිතරම ගැටුම්. මේ සියල්ල අස්සේ වැඩිහිටියන් දරුවන්ගෙන් තමන්ට නොලැබෙන ගෞරවය ලබා ගැනීමට සටන් කරනවා. තමන් බලාපොරොත්තුවන ලෝකයට ඔවුන්ව තල්ලු කරන්න උත්සාහ කරනවා. එහෙත් අනාගතයට ඵලදායී, වැඩිහිටියන්ට ගරු කරන උගත් දරුවෙකු බිහි කිරීමට නම් මේ නව වසරේ සිට හෝ තමන් සිතන, පතන, ක්‍රියා කරන විදිය අවබෝධයකින් වෙනස් කරගන්න සිදුවෙනවා. එසේ නැතිව මවුපියන් බලාපොරොත්තුවන ගෞරවය හිමිකර ගැනීමත්, මානසික නිදහස ඇති උගත් පරම්පරාවක් බිහි කර ගැනීමත් පහසු වෙන්නේ නැහැ. 

 


ඔබේ කුඩා අවදියේ දැනුම සොයා ගැනීමට මූලික වුණේ පොත්පත් සහ ගුරුවරු. ඒ නිසා ඒ කාලයේ දැනුම තිබුණු පිරිස ළඟ බලයක් තිබුණා. ඒ නිසා ඒ දැනුම ගත් පුද්ගලයාට විශාල ගෞරවයක් හිමිවුණා. එහෙත් අද ලෝකය ඊට වඩා හාත්පසින්ම වෙනස්.
 

දරවො දැනුම හොයන ක්‍රම වෙනස්වෙලා
හොඳ උගත් බුද්ධිමත් සමාජශීලී දරුවෙක් හදන්න වැඩිහිටි ඔබ දරන උත්සාහය නිවැරදි ද? ඒ ක්‍රමය නිවැරදි නැතිනම් මේ අලුත් වසරක ආරම්භයේ දී හෝ එයට ඉඩක් ලබා ගැනීම වැඩිහිටියෝ කළ යුතු කාර්යයක්. බොහෝ වැඩිහිටියන් දරුවන්ගේ ලෝකය දකින්නේ තමන්ගේ ළමා අවදියත් සමගයි. එනම් ඔබ සිතන්නේ ළමා කාලය ගැන සිතන්නේ මීට වසර පහළොවකට හෝ විස්සකට එහා තිබූ අතීතයත් සමගයි. ඔබ තමන්ගේ දරුවාට ඔබේ අතීතයේ අත්දැකීම් එකතු කරද්දි දරුවන් එය ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල දකින්නට ලැබෙන්නේ තවත් වසර විස්සකට පමණ පසුවයි. එසේ නම් ඔබ දරුවාගේ ජීවිතයට එකතු කරන දේවල් නිවැරදි ද යන්න ගැටලුවක්.

ඔබේ කුඩා අවදියේ දැනුම සොයා ගැනීමට මූලික  වුණේ පොත්පත් සහ ගුරුවරු. ඒ නිසා ඒ කාලයේ දැනුම තිබුණු පිරිස ළඟ බලයක් තිබුණා. ඒ නිසා ඒ දැනුම ගත් පුද්ගලයාට විශාල ගෞරවයක් හිමිවුණා. එහෙත් අද ලෝකය ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙලා. ඔබ කැමති වුණත් අකමැති වුණත් තාක්ෂණය අතින් විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා දැන් ඉස්සර වගේ නොවෙයි දරුවන්ට දැනුම සොයා ගැනීමට ඕනෑ තරම් මාධ්‍ය බිහි වී තිබෙනවා. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ දරුවන් ඔවුන්ට අවශ්‍ය දැනුම සොයාගන්නවා. ඒ නිසා දරුවන් බලයට අවනත වන්නේ නැහැ. වැඩිහිටියන් ලෙස ඔබ එම ගෞරවය බලාපොරොත්තු වීමෙන් ඵලක් වන්නේ ද නැහැ.

 

 

අත්දැකීම් ගැන කියාදෙන්න 
එසේ නම් ඔබ දරුවන්ගෙන් ගෞරවය හිමි කර ගැනීමට සියුම්ව අවබෝධයෙන් පාව්ච්චි කළ යුත්තේ දැනුමට වඩා ඔබේ අත්දැකීම්. දැනුම ඕනෑ තරම් ඔවුන්ට එකතු කරගැනීමේ ක්‍රම තිබෙන නමුත් ඔබේ වයස් කාලය තුළ ඔබ ජීවිතයට එකතු කරගත් අත්දැකීම් ඔවුන්ට ඇත්තේ නැහැ. ඔබ මිල කළ යුත්තේ එයයි. දරුවන්ට පහසුවෙන් ලබා ගැනීමට නොහැකි දේත් එයයි. එසේ නම් දරුවන්ගේ විශ්වාසය රැකෙන ලෙස ඔබේ අත්දැකීම් ඔවුන් හා බෙදාගැනීමෙන් දරුවන් තුළ නිතැතින්ම වැඩිහිටියන් කෙරේ ගරුත්වයක් නිර්මාණය වෙනවා. 

 

අදහස් දැක්වීම මනෝවිද්‍යාඥ 
සමිතා ඇතුල්දොරආරච්චි

මවුපියන්ගේ සිතුම් පැතුම් දරුවන්ට බලපාන හැටි 
දරුවන් සිතන පතන දේවල් සහ චර්යාවන් නිර්මාණය වන්නේ මවුපියන්ගේ සිතුම් පැතුම් සහ වටාපිටාවත් සමගයි.
බොහෝ වෙලාවට අපේ වැහිටියන් දරුවන්ගේ ලෝකය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ වැඩිහිටි ඔබ ජීවත් වූ වසර විසි පහකට පමණ පරණ සමාජ වටපිටාවකට අනුවයි එහෙත් දැන් පවතින්නේ ඒ සමාජය නොවනබව ඔබ අවබෝධ කරගන්න ඕනෑ. එදා ඔබ සිටි අපහසුතා රැසක් තිබුණු සමාජ පන්තියට වඩා අද දරුවන් සැප පහසුකම් හුඟක් භුක්ති විදිනවා. එහෙනම් පහසුකම් තියෙද්දිත් ඔවුන්ට ඕනෑවට වඩා දුක හුරුකරන්න යනවා නම් එතැනදී දරුවන් සහ වැඩිහිටියන් අතර විශ්වාසය බිඳ වැටීමක් සිදුවෙනවා. ඒ තුළ දරුවන් නිරායාසයෙන් මවුපියන්ගෙන් ඈත්වෙනවා.


හුඟක් වැඩිහිටියන්ට නොහැකි වී තිබෙන්නේ දරුවන්ට හොඳ වටපිටාවක් නිර්මාණය කිරීමයි. මූලිකම දේ දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් අනුකරණයෙන්. වැඩිහිටියන් සොරකම් කරනවා නම් දරුවොත් ඊට හුරුවෙනවා. දරුවෝ යම් යම් චර්යා තේරුම් ගන්නේ කුඩා කාලයේ සිටමයි. විශේෂයෙන් මවුපියන්ගෙන් ලැබෙන සම්බන්ධතා හරහායි. නව සමාජ පන්තියක සිටින වැඩිහිටියන් විදියට ඔබ දැන් පවතින සමාජ වටපිටාවට අනුව හැඩ ගැසෙන්නේ නැතිනම්, සමාජය ගැන ඔබට තිබෙන්නේ අවිනිශ්චිත බවක්, අවිශ්වාසයක්  හෝ ලෝකය පිලිබඳ ඇත්තේ සැකයක් නම්, දරුවන් ලෝකයට එළඹෙන්නේම සැකය, සහ අවිශ්වාසයත් සමගයි. ලෝකය කෙතරම් තාක්ෂණය අතින් දියුණු වුවත් ඔබ ඒ තුළ රැඳී සිටින්නේ අවිනිශ්චිත බවකින් නම් ඒ වටපිටාව දරුවාට යහපතක් කරන්නේ නැහැ. එයට හේතුව දරුවන් ලෝකය තුළින් ආචාර ධර්ම, නීතී, සදාචාරය ඉගෙන ගන්න කලින් මුලින්ම ඔවුන් ඒ ගැන දැනුවත් වන්නේ මවුපියන් හරහායි. එසේ නැතිව අවවාද හරහා නොවෙයි. සම්පූර්ණයෙන්ම ඔබ හැසිරෙන කටයුතු කරන සහ කියන කරන දේවල් හරහායි. එසේ නම් වැඩිහිටියන් ලෙස ඔබ මේ සමාජය ගැන අවිනිශ්චිත බවකින් පසුවීම බලපාන්නේ දරුවන්ටයි. අවවාදවලින් ඔවුන් වෙනස් කළ නොහැකි බව එය මේ පවතින සමාජයට නොගැළපෙන බව වැඩිහිටියන් ලෙස ඔබ මේ වන විට අවබෝධ කරගත යුතුයි. සෑම විටම අවවාදයට වඩා ආදර්ශය උතුම් වන්නේ ඒ නිසයි. 


දරුවන්ට හරි දේ උගන්වනවාට වඩා ඔබ හරි විදියට ජීවත් වීමයි කළ යුත්තේ. උදාහරණයක් ලෙස ඔබ වාහනයක් ගන්නේ ඔබට ඇති වත්කමේ ප්‍රමාණයට වඩා තමන් අවට සිටින අයට පෙන්වීමට නම් ළමයාගේ ආකල්ප දියුණු වන්නේද එවැනි සිතුවිලි හරහායි. ඔබ අන්තර්ජාලය භාවිතා කරන්නේ ඕපාදූප බැලීමට හෝ අනවශ්‍ය වීඩියෝ නරඹමින් කාලය කා දැමීමට නම් දරුවන්ද සිදු කරන්නේ එයයි. ඔබ නිවැරදි දේ කරනවා නම්, අලුත් ලෝකයට ගැළපෙන නිවැරදි ආචාර ධර්ම පද්ධතියක සිටිනවා නම් දරුවන් ඔබෙන් ඈත් වන්නේ නැහැ. ඔවුන් ඔබව විශ්වාස කරාවි.

නයනා උදයංගනී  



   

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment