ඊශ්‍රායල් - පලස්තීන සියවසක ගැටුම
හමාස් යනු, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. හමාස් ඊශ්‍රායලය විනාශ කරන බවට දිවුරුම් දී ඇති අතර 2007 වසරේ දී ගාසා තීරයේ බලය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය සමග අවස්ථා කිහිපයකදී යුද වැදී තිබෙනවා.
එම යුද්ධ අතරතුරේ දී එම සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර හෝ වෙනත් කණ්ඩායම්වලට එසේ කිරීමට ඉඩ දී ඇති අතර, වෙනත් මාරාන්තික ප්‍රහාර ද එල්ල කර තිබෙනවා
ඊශ්‍රායලය හමාස් වෙත නැවත නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊජිප්තුව සමග එක්ව, එහි ආරක්ෂාව සඳහායැ යි පවසමින් 2007 සිට ගාසා තීරය අවහිර කර තිබේ.
සමස්තයක් ලෙස හමාස් සංවිධානය, හෝ ඇතැම් අවස්ථාවල එහි සන්නද්ධ අංශය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මෙන් ම අනෙකුත් බලවතුන් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරනු ලැබ තිබුනද මෙම ප්‍රහාරයන් වැලකුණේ නැත.
ගාසා තීරය යනු ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර පිහිටි කිලෝමීටර 41ක් දිග, කිලෝමීටර 10ක් පළල භූමි ප්‍රදේශයක්. එහි මිලියන 2.3ක පමණ ජනතාවක් වෙසෙන අතර එය ලෝකයේ ඉහළ ම ජනගහණ ඝනත්වයක් ඇති ප්‍රදේශවලින් එකක් ලෙස සදහන් කල හැක.
ඊශ්‍රායලය ගාසා තීරයේ වෙරළ තීරය සහ ගුවන් අවකාශය පාලනය කරන අතර එහි දේශසීමා හරහා ඇතුළුවීමට සහ පිටතට යාමට අවසර දෙන්නේ කාට ද සහ මොනවාට ද යන්න සීමා කරයි. ඒ හා සමානව, ඊජිප්තුව ගාසා තීරයේ මායිම හරහා ඇතුළු වන සහ පිටවන පිරිස් පාලනය කරයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නිරන්තරයෙන් ආතතියම තත්වයක් පැවතුණ ද පසුගිය දා එම සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය අනතුරු ඇඟවීමකින් තොරව සිදුවිය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කළ අතර සටන්කාමීහු විශාල ගණනක් දේශසීමා හරහා අනවසරයෙන් ඇතුළු වී ඊශ්‍රායල ගම්මාන ආක්‍රමණය කර සිවිල් වැසියන් රැසක් මරා දමා තවත් පිරිසක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත්හ.
ගාසා තීරයේ සටන්කාමීන්ගේ කඳවුරු ඉලක්කකර ගත් බව පවසමින් ඊශ්‍රායලය වහා ගුවන් ප්‍රහාර දියත් කළේ ය.
හමාස් සංවිධානය මෙතෙක් ගාසා තීරයෙන් දියත්කර ඇති වඩාත්ම අභියෝගත්මක ම මෙහෙයුම වන අතර ඊශ්‍රායලය වසර 30කට අධික කාලයකට පමණ පසු මුහුණ දුන් දරුණුතම දේශසීමා ප්‍රහාරය එය විය.
සටන්කාමීහු ගාසා තීරය ඊශ්‍රායලයෙන් වෙන් කෙරන කම්බි වැට ස්ථාන කිහිපයක දී සිදුරු කර ඇති අතර මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය එල්ල වූයේ, දරුණු මැද පෙරදිග යුද්ධයකට මඟ විවර කරමින් ඊජිප්තුව සහ සිරියාව විසින් 1973 වසරේ දී එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරයේ 50 වන සංවත්සරයෙන් දිනකට පසුව ය. හමාස් නායකත්වයට එම දිනයේ වැදගත්කම මඟහැරුණා විය නොහැක.
පලස්තීන භූමි ප්‍රදේශ ලෙස හඳුන්වන වෙස්ට් බෑන්ක් සහ ගාසා තීරය මෙන් ම නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලය යන සියල්ල ම රෝම යුගයේ සිට 'පලස්තීනය' ලෙස හැඳින්වූ භූමියේ කොටසක් විය.
බයිබලයේ විස්තර කරන පරිදි මේවා ද යුදෙව් රාජධානිවලට අයත් භූමි ප්‍රදේශ වූ අතර එය යුදෙව්වෝ ඔවුන්ගේ පැරණි නිජබිම ලෙස සලකති.
ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතිය පිළිනොගන්නා අය විසින් එම භූමිය තවමත් පලස්තීනය ලෙස හඳුන්වනු ලැබුව ද, ඊශ්‍රායලය 1948 වසරේ දී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පලස්තීනුවන් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම සඳහා පොදු වචනයක් ලෙස 'පලස්තීනය' යන නම භාවිතා කරයි.
ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර එකඟතාවක් ඇති නොවන ගැටලු ගණනාවකි.
පලස්තීන සරණාගතයින්ට කුමක් සිදුවේද, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස එසේ පවතින්නේද නැති නම් ඉවත් කරන්නේද, ජෙරුසලම දෙපාර්ශවය විසින් ම බෙදාහදාගනු ලබන්නේද, සහ වඩාත් දුෂ්කර කරුණ වන ඊශ්‍රායලය පසෙකින් පලස්තීන රාජ්‍යය ගොඩනැගිය යුතුද යන ගැටලු ඒ අතර වේ.
වසර 25 ක් පුරා අතරින් පතර සාම සාකච්ඡා පැවතිය ද අර්බුදය තවමත් විසදී නැත.
කෙටියෙන් පවසතොත්, මෙම තත්ත්වය ඉතා ඉක්මණින් විසඳෙන බවක් පෙනෙන්නට නැත.
වඩාත් මෑත කාලීන සාම සැලසුම සකසනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරය දරන සමයේ දී ය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් එය හඳුන්වනු ලැබුවේ "සියවසේ එකඟතාව" (the deal of the century) ලෙසය. එය ඒක පාර්ශ්වික යැයි පවසමින් පලස්තීනුවන්ගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ එම සැලසුම ක්‍රියාවට නොනැගිණි.
ලෝකය තුළ සිදුවන සෑම සිදුවීමක්ම කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාව කෙරෙහි ද බලපෑමට ඉඩ ඇති බව ඊශ්‍රායල් - හමාස් ගැටුම හේතුවෙන් අද ඇතිව තිබෙන තත්ත්වය පරීක්ෂා කිරීමෙන් වටහා ගැනීමට හැකිවනු ඇත.
ආසන්නතම ප්‍රතිඵලය විය හැක්කේ මෙම අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් එහි බලපෑම ශ්‍රී ලංකාව කෙරෙහි ද දරුණු අන්දමට එල්ල වීමට ඉඩ තිබීමත් ය.
අනාගතයේ මොනයම් හෝ සාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නම්, දෙපාර්ශවයම සංකීර්ණ ගැටලු විසඳාලීමට එකඟ විය යුතුය.
එය ඉටුවන තාක්, අර්බුදය තවත් ඉදිරියට යනු ඇත.
සටහන - කසුනි විජේසිංහ
Leave a comment