උසස් පෙළ විභාගයට හොඳින් ලියන්න මෙහෙම සූදානම් වෙන්න
අපේ රටේ දරුවන්ගෙ ජීවිත පිළිබඳව බොහෝ වෙලාවට තීන්දු තීරණ ගන්නෙ විභාගයි. පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විභාග තුන අධ්‍යාපනය ලබන කාල සීමාවේදී කඩඉම් ලෙස සැලකෙයි. ඒ අතරින් පාසල් අධ්‍යාපනය අවසන් කරන, උසස් අධ්‍යාපනයට දොර හරින උසස් පෙළ විභාගය බොහෝ දරුවන්ගේ හෙට දවස තීරණය කරයි.
මෙවර උසස් පෙළ විභාගය මාස කිහිපයක්ම ආපස්සට ගොස් මාර්තු මාසයේදී පැවැත්වෙනබව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නද තවමත් දරුවන් ඉන්නේ දෙගිඩියාවෙනි. එහෙත් ඒ සියලු අභියෝග ජයගෙන දරුවන් විභාගයට මුහුණ දිය යුතුය.
ඕනෑම දරුවකුට විභාගයක් ළඟ ඇති විට යම් බියක් සිතට දැනේ. එය මනෝ විද්‍යාවේදී පවා තහවුරු වන අතර එවැනි බියක් දැනීමෙන් සාර්ථකබවක් ද හිමි වේ. එහෙත් අද වනවිට විභාගයට මුහුණ දීමට සුදානම්ව සිටින දරුවන් තුළ ඇත්තේ බියකට වඩා අවිනිශ්චිතබවකි. එයට හේතුව වරින් වර විභාගය කල් යාමයි. මේ තුළින් දරුවන්ගේ මානසික මට්ටම බිඳ වැටෙයි.
මෙම වසර දෙක තුළ පාසල් පවත්වා ඇත්තේ අවම දින ගණනකි. පාසල් ගුරුවරුන්ට ඇති ලොකුම ගැටලුව වන්නේ විෂය නිර්දේශ ආවරණය කිරීමට කාලය නොලැබීමය. මෙම කාරණාවද බලපාන්නේ දරුවන්ටය.
ගුරුවරුන්ට කළ හැකි දේ බොහොමයි
අදහස් දැක්වීම : ප්‍රවීණ සිංහල දේශක |
රටේ ඇතිවූ විවිධ අර්බුද සමග විභාගයට මුහුණදෙන දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් ගනිමින් විෂය නිර්දේශ ආවරණය කිරීම ගුරුවරයාගේ වගකීමකි. වෙනත් රටවල මේ වයස්වල පසුවන දරුවන් මේ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන මට්ටමට ළඟා වුවද අපේ දරුවෝ තවම උසස් පෙළ විභාගයට සූදානම් වෙති. එයද විටෙන් විට කල් යයි. මේ ගතවන්නේ දරුවන්ගේ කාලය බැවින් ඒ ගැන සිතා ඔවුන් මානසික ඇද වැටීමට ලක්විය හැකිය. එය වළක්වාගත හැක්කේ ගුරුවරයාටය.
“ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්”
“මේ වගේ දේවල් ලෝකෙ ඕනම තැනක ඕනම වෙලාවක වෙන්න පුළුවන්”
මේක පොඩි ප්‍රමාදයක් විතරයි. අනිත් අයට වඩා ඔබට වැඩි කාලයක් විභාගයට සූදානම් වීමට ලැබෙනවා” යනුවෙන් පැවසීම තුළින් දරුවන්ගේ සිත තුළ ඇති අනිසි පීඩනය අඩු කළ හැකිය.
මන්ද මේ කාලය දරුවන් තම මවුපියන්ගෙන් ගිලිහෙන්නට බලන කාලයකි. යෞවත්වයෙන් තාරුණ්‍යයට පය තබන මෙම කාලසීමාවේදී දරුවන් යම් තරමකින් මවුපියන්ගෙන් ඈත් වුවද ගුරුවරයාට ළං වේ. බොහෝවිට තම අනාගත සැලසුම් පිළිබඳව තීරණ ගන්නේද ගුරුවරයා සමගිනි. එනයින් දරුවන් වෙනුවෙන් ගුරුවරයාට මේ කාල සීමාව තුළ විශේෂ කාර්යයක් සිදු කළ හැකිය.
දවස් දෙකක්වත් නිදහසේ ඉන්න
විභාගයට මුහුණදිය යුත්තේ අලුත් ජවයකින් සහ අලුත් ශක්තියකිනි. ඒ සඳහා අඩුම තරමේ විභාගයට සතියකට කලින්වත් දරුවන් නිදහසේ කාලය ගත කළ යුතුය. දරුවන් විවිධාකාරය. ඇතැම් දරුවෝ අන්තිම තත්පරයේද වැඩ කරති. විභාග ශාලාවට ගොස් නවයට විභාගය අරඹයි නම් 8.30 වනතුරුම පාඩම් කරති. බස් එකේ, දුම්රියේ පාඩම් කරති. ඔවුන්ගේ මතකයේ රැඳෙන්නේ අවසන් මොහොතේ පාඩම් කළ දෑ වීමට පුළුවන.
තවත් පිරිසක් සතියක් තිබියදී පාඩම් වැඩ නතර කරති. නිදහසේ සිටිති. එක එක දරුවන් විවිධාකාරය. මේ ගතවන කාලය තුළ සතියක් පමණ පාඩම් වැඩ අවසන් කර නිදහසේ සිටීම අමාරු කාර්යයකි. ඒ නිසා අඩුම තරමේ දවස් දෙකක්වත් විභාගයට ප්‍රථම නිදහසේ සිටිය යුතු වේ.
උත්තර හරි වැරදි බලන්න එපා
විභාගයේ විෂයක් අවසානයේ එහි හරි වැරදි බැලීමට ඇතැම් දරුවෝ පුරුද්දක් කරගෙන සිටිති. යහළුවන් එක්ක හෝ තනි තනිව තමා ලියූ පිළිතුරු නිවැරදි දැයි විෂය අවසානයේ බලති. සැබැවින්ම එය වැරදි සහගත ක්‍රියාවකි. නිසි පිළිතුරු මග හැරී ඇත්නම් මානසිකව පසුබාන අවස්ථා ඇත. මන්ද බොහෝ දරුවන් විභාගවලට මුහුණ දෙන්නේ බියෙනි. ඒ බය සේම කලබලකාරීබව නිසා ඇතැම් දරුවන්ට යම් ලකුණු ප්‍රමාණයක් ඉබේම අහිමි වේ. පිළිතුරු ප්‍රශ්න අගැයීමට අවශ්‍යම නම් සම්පූර්ණ විභාගය අවසන් වූ පසු උත්තර පත්‍ර පරීක්ෂා කළ හැකිය.
විභාග සමත් කරන්න දෙවියන්ට පුළුවන්ද?
විභාගයක් ළඟ එනවිට බොහෝ මවුපියවරු පන්සල්, දේවාල, කෝවිල් යාම සාමාන්‍ය ය. ඔවුන් එය කරන්නේ තම දරුවා විභාග කටයුතුවලින් සමත් කිරීමටය. දරුවකු ජීවම් කරන ලද පෑනකින් විභාගය ලියන්නේ නම් එය බැහැර කළ නොහැක. එය මිත්‍යාවක් වුවද පෑන ලියැවෙනවා නම් එහි වරදක් නොවේ. දරුවාද විභාගය ලියන්නේ ඒ ධනාත්මක සිතුවිල්ල මතය. දරුවාට එය මානසික ශක්තියකි.
නමුදු මෙම කාලය තුළ එවැනි වැඩ සඳහා දුර බැහැර ප්‍රදේශවලට නොයා යුතුය. අවදානම් ක්‍රියා නොකළ යුතුය. හැකිතරම් පරෙස්සම් විය යුතුය. මන්ද යම් අනතුරක් මෙම කාලය තුළ සිදුවුවහොත් ඒ පාඩුව ද දරුවන්ටමය.
සරසවි වරම් අහිමි වුණොත්
උසස් පෙළ හදාරන වසර දෙක දරුවන්ට වාගේම උසස් පෙළ ගුරුවරුන්ටද දැවැන්ත වසර දෙකකි. ඇතැම් ටියුෂන් ගුරුවරු තම ගොඩ වැඩිකරගැනීම සඳහා බොරු ආටෝප තම දරුවන් අතරේ බෙදාහරිති. නියම ගුරුවරයාගේ වගකීම වන්නේ උසස් පෙළ විභාගය පිළිබඳව නිසි අවබෝධයක් දරුවන්ට ලබාදීමය.
විභාගයට මුහුණ දෙන සෑම දරුවකුටම සරසවි වරම් හිමි නොවේ. උසස් පෙළ ආරම්භයේදීම ඒ අවබෝධය දරුවන්ට දිය යුතුය.
මුල් කාලය තුළ දරුවන් පිළිබඳව ගුරුවරයාට අවබෝධයක් නොමැති වුවද කාලය ගතවෙද්දී සරසවි වරම් ලබන්නේ කවුරුදැයි යම් තාක් දුරකට හෝ අවබෝධ වේ. එතැනදී ගුරුවරයා කළ යුත්තේ එතැනට යාමට නොහැකිවන දරුවන්ට වැඩි අවධානයක් යොමු කිරීමය. ඔවුන් ඊළඟ අභියෝගයට සූදානම් කිරීමය. විභාගය සමත්වන සෑම දරුවකුටම විශ්ව විද්‍යාලයට යාමට නොහැකිබව අවබෝධ කරදීම සහ එසේ නොයන දරුවන්ගේ ජීවිත අසාර්ථක නොවනබව පැහැදිවම අවබෝධ කර දිය යුත්තේ ගුරුවරයා ය.
සරසවි වරම් නොලබන අයගේ ජීවිත අසාර්ථක නොවන බවත් සරසවි වරම් ලද බොහෝ අයගේ ජීවිත සාර්ථක නැති බවත් මුල සිටම කියා දිය යුතුය. සරසවි වරම් නොලද දරුවන්ට ඉදිරියට යා හැකි මාර්ග හඳුන්වාදීම කළ යුතුය. තමන්ගේ ටියුෂන් පන්තියට එන සැමටම සරසවි වරම් ලැබේ යැයි බොරු නොකිය යුතුය. සරසවි සිහිනයෙන් දරුවන් මුළා නොකළ යුතුය. ප්‍රතිඵල ලැබීමෙන් පසු දිවි නසා ගැනීම්, මානසික ඇදවැටීම් වාර්තා වන්නේ මුල සිටම ගුරුවරුන් විසින් නිසි අවබෝධය නොදීම හේතුවෙනි.
බොහෝ මවුපියවරුද තමන්ට යා නොහැකි වූ ඉලක්ක වෙත දරුවන් යොමු කිරීමට පොරකති. එහි අවසන් ප්‍රතිඵලය ඉතා ඛේදනීය ලෙස අවසන් වූ අවස්ථා නැත්තේ නොවේ. විභාගය සමත් වූ දරුවන් සිපගනිද්දී අසමත් වූ දරුවන් වැලඳගන්නට හැකි නම් දරුවන්ගේ ලෝකය මීට වඩා වෙනස් විය හැකිය.
සටහන : සුජිත් ප්‍රසංග
Leave a comment