කටු අත්තක වැහුවම ඉගිළිලා යන්න බැරිද?

 
දෙදෙනකුගේ ආදරයේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ විවාහයයි. මොනතරම් ආදරය කර විවාහ ජීවිතයට ඇතුළු වුවත්, යෝජිත විවාහයක් සිදුවුවත් විවාහ ජීවිතය තුළ එකට සිටින්නට බැරි තරම්  නොගැළපීම් තිබෙනවා නම් ඒ පිළිබඳව හොඳම තීරණය ගැනීමේ ශක්තිය සෑම අයෙකුටම තිබිය යුතුය.
 
 
විවාහයකදී හැමදේම ගැළපෙන්න ඕනැද?
ආදරය කර විවාහ වුණත්, යෝජිතව  විවාහයක් වුණත් දෙදෙනා අතර නොගැළපීම් මතුවන්නේ එක වහලක් යටට ගියාට පසුවය. මෙතැනදී කෙතරම් බාධක, ගැටලු පැමිණියත් ඒ සියල්ල විසඳාගෙන යහපත්ව පවුල් ජීවිත ගත කරන පවුල් මේ සමාජය තුළ ඕනෑතරම් ඇත. එකිනෙකාගේ නොගැළපීම් මනාව හඳුනාගෙන දෙදෙනාම හොඳින් කතාබහ කර එකටම උසාවියට පැමිණ අවබෝධයෙන් වෙන්ව යන පිරිස්ද සිටිති. ඒවාගේම ලෝකයට හොඳට ජීවත්වෙන බව අඟවා ඇතුළතින් විඳවන බොහෝ දෙනාගේ හැඟීම් සියල්ල එළියට එන්නේ වෙනත් සබඳතාවක් ඇරඹීමෙනි. 
 
 
ජීවිත රැසක් වැනසෙන තැනක්

අදහස් දැක්වීම: 
නීතිවේදිනී,  
මනෝජි ගුණවර්ධන

 

 

බොහෝ දෙනකු අනියම් ඇසුරේ බරපතළකම අවබෝධ කරගන්නා විට  බොහෝ දේ සිදු වී අවසාන ය. ඇතැම් විට ජීවිත ගණනාවක් අමාරුවේ වැටී අවසන්ය. විශේෂයෙන් මෙහිදී වඩාත් අසරණ වන්නේ දරුවන් ය. බොහෝ අනියම් සබඳතාවල අවසන් ප්‍රතිඵලය පොලිස් පොතේ ලියැවෙන්නේ අපරාධමය සිද්ධියකිනි. 
 
දික්කසාදයකින් පසු විශේෂයෙන් අපේ රටේ හුඟක් කාන්තාවෝ තමන් අවලංගු කාසියක් ලෙස දකිමින්  තමන් දෙස සමාජය බලන විදිය ගැන සිතින් පසුතැවෙමින් ජීවත් වේ. ජීවත්වීමට කිසිදු පිළිසරණක් නැති තැන්වලදිි පිරිමියෙකුගේ ග්‍රහණයට නතු වී ඔවුන්ගේ මුදල් මත ඔවුන්ට යටත්ව තම තරුණුවිය දිය කර හරින ගැහැනු මේ සමාජය තුළ ඕනෑ තරම් සිටිති.
 
 
ආර්ථික අතින් ශක්තිමත් වෙන්න
සෑම ගැහැනියක්ම ආර්ථිකය අතින් ශක්තිමත් විය යුතු ය. උසස් අධ්‍යාපනය ලබා රජයේ හෝ පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නියැළීමට සෑම කාන්තාවකටම නොහැකි වුවත් උත්සාහය, උනන්දුව තිබේ නම් තම ආර්ථිකය ස්ථාවර කරගැනීමට කාන්තාවකට පුළුවන. එසේම ජීවිතය තනිවම ජයගත් කතුන් අප අතර ඕනෑ තරම් ඇත. අවශ්‍ය කැපවීම පමණි. පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ දෑත අහිමිව සිටියදීත් උසස් පෙළ විභාගයට මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ දියණිය, සදාකාලිකවම රෝද පුටුව උරුම වුවත් තම සිහිනය අත් නොහැර වෛද්‍යවරියක වී රටට සේවය කරන සමිතා සමන්මලී, වෛද්‍යවරුන්ගේ වරදකින් අතක් අහිමිවුවත් නීතිවේදිනියක වූ සොයුරිය වැනි කාන්තාවන්ගේ ධෛර්යය දෙස බලන්න. 
 
දික්කසාද වුවද තවත් අයෙකුගෙන් යැපෙන්නේ නැතිව ස්වාධීනව තම ජීවිතය හැඩගසා ගැනීමට උත්සාහය, උනන්දුව සපිරි සෑම කාන්තාවකටම පුළුවන. ආර්ථික ස්වාධීනත්වය කාන්තාවක් ලෙස ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වන්නේ තමා විවාහ වුවත් අවිවාහක වුවත් දරුවන් සිටියත් නැතත් ඇයට ආත්ම අභිමානයකින් ජීවිතයට මුහුණ දීම සදහා නීති විරෝධී නොවන ඕනෑම ක්‍රමයක් ඒ සදහා භාවිතා කළ හැකිය.
 
 
ලිවින්ග් ටු ගෙදර අපිට නොගැළපෙන හේතු 
බටහිර රටවල ඉතා ජනප්‍රිය මේ සංකල්පය අපේ රටට නොගැළපෙන්නේ එය ඇතැම් පිරිමින්ට පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වැනි කාරණාවක් වන නිසාය. ආසියාතික රටවලට වඩා බටහිර රටවල මිනිසුන් ජීවිතය දෙස බලන්නේ අලුත් හැඟීම්වලිනි. ඔවුහු තමන්ගේ නිසි වයස, සමාජීය අවබෝධය ලැබූ විට තමන්ට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක සමග එකට ජීවිතය අරඹති. ඒ කාලය තුළ තමන් එකට ජීවත්වීමට සුදුසුද නැතිද කියා ඔවුනොවුන් හඳුනා ගනියි.  මෙතැනදී ගැහැනිය වුවත් පිරිමියා වුවත් ඔවුන් දෙදෙනා පිළිබඳව කටයුතු කරන්නේ අවබෝධයෙන් වගේම ගෞරවයෙනි. ඔවුන් දෙදෙනා විවාහය ලියාපදිංචි කරන්නේ ගැළපෙනවා නම් පමණි. 
මේ සංකල්පය අපේ රටට නොගැළපෙන්නේ ඇතැම් පිරිමින් ඒ තුළින් වෙනත් ප්‍රයෝජන ගැනීමට ඉඩකඩ වැඩි නිසා වගේම අපේ බොහෝ කාන්තාවන් තවමත් ආර්ථික අතින් ස්වාධීන නොවන නිසාය. ඒවාගේම විවිධ සංස්කෘතික හේතු මත විවාහ නොවී එකට විසීම සමාජීය වශයෙන් බරපතළ කාරණයක් වන නිසාය. එහෙත් කසාදය ලියාපදිංචි කර ලෝකය සතුටු කරමින් දුක් විඳින පවුල් ඒකක රැසක් සමාජයේ ඇත.
 
මෙහිදී කාන්තාවක් ලෙස වැදගත් වන්නේ තම විවාහයට එළඹෙන පුද්ගලයා සමග එක්ව ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගෙවා දැමිය හැකිද නැද්ද යන්න පිළිබඳ අවබෝධයක් ඇතිව විවාහයට එළඹීමයි. එය හුදු ශාරීරික අවශ්‍යතාවක් පමණක් නොවන බව වටහා ගැනීමයි.
 
 
පාසල් වියේදීම ලිංගික අධ්‍යාපනය 
බොහෝ අඹුසැමි වෙන්වීම්වලට හේතු කාරණය වන්නේ ලිංගික දැනුම පිළිබඳව ඇති නොදැනුවත්කම සේම නොගැළපීමයි. මෙයට හේතුව නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීමයි. ලිංගික අධ්‍යාපනය ලබා දීමට හොඳම තැන පාසලයි. ඒ තුළින් නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් සමාජය තුළ දක්නට ලැබෙන අතවර, පීඩා බොහෝදුරට පාලනය වෙයි. එනම් ඒ පිළිබදව නිසි අවබෝධයක් ලබා තිබීම හේතුවෙනි.
යොවුන්වියට එළඹෙත්ම ඕනෑම අයකුට කුතුහලය ඇතිවීම සාමාන්‍යය. ඒ පිළිබඳව අවබෝධය ගුරුවරුන් වැඩිහිටියන් නිරන්තරයෙන් ලබා දෙන්නේ නම් බොහෝ ජීවිත සුරැකෙයි. ලිංගිකත්වය පිළිබඳ  විධිමත් අධ්‍යාපනයක් දෙන්නේ නම් එය සමාජයේ පවතින අපරාධ රැසකට හේතුවන අසහනකාරී ස්වභාවයද තුරුන් කළ හැකිවනවා මෙන්ම නව යොවුන් වියේ දරුවන් ඒ පිළිබඳ කුතුහලය නිසා වැරදි පුද්ගලයන්ගේ ගොදුරුබවට පත්වීමද අවම වේ.
 
 
ආදරයක් අනියම් වෙන්නේ කොහොමද? 
ගැහැනුන් මිනිසුන් අතර බැඳීම් ඇතිවීම සාමාන්‍යය. එයට විවාහක අවිවාහකබව බලපාන්නේ නැත. 
 
මෙසේ ඇතිවෙන මානුෂික බැඳීම් කෙළවර වන්නේ ජීවිත රැසක් වැනසී, දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළා නම් එයට කිසිසේත්ම ආදරණීය බැඳීම් හා අනුගත නොවේ. ඒ අනුව මෙවැනි සම්බන්ධතා අනියම් හෝ නියම වන්නේ ඒ තුළින් ඒ සම්බන්ධතාව තුළ සිටින එක් පාර්ශ්වයක් හෝ පීඩාවට, අසීරුවට, බියගැන්වීමට, මරා දැමීමට නොයනතාක් ය.  එසේ අනෙක් පාර්ශ්වය පීඩාවට පත් කිරීම තුළ කිසිසේත්ම ආදරණීය බැඳීමක් නැත. එය අනිවාර්යයෙන්ම අනියම් බැඳීමක් වන්නේ සමස්ත සමාජයටම වින කරන බැඳීමක් වන නිසාවෙන්ම ය.
 

 සුජිත් ප්‍රසංග

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment