කාන්තාවක් කිසිම විටක තවත් කෙනකුගෙන් යැපෙන්න ඕන නෑ
ලෝකයේ ජීවනාලිය වන කාන්තාව ලෝකයට ජීවය දෙන්නීය. කාන්තාව ලොව සුන්දර කරන නමුත් කාන්තාවන් මුහුණ දෙන දුක්ගැහැට එමටය.
එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි වන පරිදි, තවමත් පොදු ජීවිතයේදී සහ තීරණ ගැනීමේදී කාන්තාවන් නියෝජනය වන්නේ ඉතා අඩුවෙනි. රාජකාරීමය වශයෙන් කාන්තාවන් නායකත්වය දෙන බොහෝ අවස්ථාවල ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇතැයි ද සඳහන් වේ.
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි වූ ශ්‍රී ලංකාවේ ද එදා මෙදාතුර කාලයේ නොයෙක් ආයතනවල මුල්පුටුවලට පැමිණ සාර්ථක ප්‍රතිඵල පෙන්වූ කාන්තාවෝ බොහෝ වෙති. මෙම ලිපිය ද එවන් කාන්තාවක් පිළිබඳවය. ඇය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ මුල්පුටුව හොබවන ලද සභාපතිනිය කේශිලා ජයවර්ධන මහත්මියයි. කාන්තාවක වශයෙන් තිබිය යුතු පෞරුෂත්වය, ආකර්ෂණය මෙන්ම අභියෝගවලට මුහුණදීමේ මනා ශක්තියක් ඇය සතුය. ‘ඇය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිධූරයට පත්වන්නේ බැංකුවක සභාපතිවරියක් වශයෙන් වසර 10 ක පලපුරුද්දක් ඇතිවය. මීට පෙර ඇය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහ කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇති අතර, දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වශයෙන් වසර 14 ක කාලයක් සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරියක් වශයෙන් වසර 3 ක කාලයක් කටයුතු කර ඇත. අනතුරුව ඇය දේශපාලනයෙන් සමුගන්නේ තමන් උගත් හා ඉගැන්වූ දේශපාලන විද්‍යාව ප්‍රායෝගිකව භාවිතා කරන්නට වත්මන් දේශපාලන රටාව තුළ අවස්ථාවක් නොලැබුණු බැවිනි.
“මම ආ මාවත ඉතා සොඳුරු එකක් නෙවෙයි. මම දුක් විඳලා මෙතැනට ආව කෙනෙක්. අදටත් දුක් විඳලා ජීවිතය දිනන්න දඟලන මිනිසුන්ගේ කතා කියවන කොට මගේ ඇස්වලට කඳුළු එනවා. මට මගේ අතීතේ මතක් වෙනවා.” ඇය පවසන්නීය. සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුත් ඇගේ පවුලේ මුදුන්මුල වූයේ පියාය. නමුත් අනපේක්ෂිත මොහොතක ඇගේ පියා ජීවිතයෙන් සමුගන්නේ දරුවන් දස දෙනකුගේ බර ඇගේ මවගේ අත තබමිනි.
“තාත්තා නැතිවෙද්දී අම්මා තනියෙන් පවුලක බර දරන්න හිතපු කෙනෙක් නෙවෙයි. ඒත් ඊට පස්සේ අම්මා ඒ බර කරට ගත්තා. කාන්තාව කිසි විටෙකත් තව කෙනකු මත යැපිය යුතු නැති බව ඇය ඉන්පසු අපට නිතරම කීවා. අම්මා අපට අධ්‍යාපනය ලබාදුන්නේ ස්වාධීනව නැගිටින්න පුළුවන් කෙනෙක් කරන්නයි. මම අම්මා පෙන්වා දුන් පාරේ ගමන් කරමින් කාන්තාවක් ලෙස මට පුළුවන් උපරිම දුර ආවා. මගෙ දුවලා දෙන්නත් මං හැදුවේ එහෙමයි. අද ඒ දෙන්නම හොඳින් අධ්‍යාපනය ලබා බටහිර රටවල්වල ජීවත්වෙනවා.”
තමන් සාමාන්‍ය පෙළ විභාගය තුන් වරක් කළ බව ඇය පවසන්නීය. එදා එක් වරකින් හෝ දෙවරකින් උත්සාහය අත්හැර දැමුවා නම් තමන්ට මෙතෙක් දුර පැමිධෑමට නොහැකි වන බව ඇය පවසන්නේ විභාගය තුන් වරක් කළ බවට වන පසුතැවිල්ලකින් හෝ තොරව බව සිතේ. ඉගෙනීම අත් නොහැර ඉදිරියටයාමට තමාට තිබූ ධෛර්යය ගැන තමන් සතුටු වන බව ඇය පවසයි.
කේශිලා මහත්මිය මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කෑගල්ල යටියන්දර මහා විද්‍යාලයෙනි. පසුව උසස් පෙළ සඳහා ඇගේ මව ඇයව ගලපිටමඩ, වළගම්බා විදුහලට ඇතුළත් කර ඇත්තේ තම දියණිය ඉගෙනීමට දක්වන උනන්දුව නිසාමය. නමුත් නොසිතූ මොහොතක ඇයට යළිත් මුල් පාසලටම යන්නට සිදුවන්නේ මවට දුන් පොරොන්දුවක් කඩකර ඇගේ සිත රිදවීමේ වරදට දඬුවමක් ලෙසිනි.
“ඉගෙන ගන්න තිබුණ ආසාව නිසා මම උදේ හවා කිලෝමීටර් 20 ක් බස් එකේ අලුත් පාසලට ආවා. අම්ම මාව යළිත් පරණ පාසලටම දැම්මේ මම ඇයට දීපු ලොකුම පොරොන්දුව කඩපු නිසා. ඒ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමයි. අලුත් පාසලේදී වැඩිමල් පන්තිවල සිසුන් මට රැග් කරන්න පටන් ගත්තා. මම උස මහත ළමයෙක් නිසා වෙන්න ඇති මට වැඩිපුර රැග් කළා. මාසයක් විතර ඒ රැග් එක තිබුණ. රැග් කරපු කෙනාගේ හොඳම යාළුවා නිමල් චන්ද්‍රතිලක. රැග් කාලෙ ඉවර වුණාට පස්සෙ මම ගෙදර යන්න බස් එකේ නගින්න ඉන්න හැම දවසකම නිමල් හෝල්ට් එක ළඟ බලාගෙන හිටිය. පස්සෙ එයා මගේ බස් එකේම නැඟල අපේ ගමට යන්න පටන් ගත්තා.
ඔහොම මාස ගාණක් ගියා. එක දවසක් ඒ කඩවසම් තරුණයා මගෙන් ඔහුට කැමති ද ඇහුවා. අම්මට මම දීලා තිබුණ පොරොන්දුව නිසා මම නැහැ කිව්වා. හැබැයි ඔහු පස්සෙන් ඒම නැවැත්තුවෙ නැහැ. ඔහොම මාස 4 ක් විතර ගත වෙද්දී මට තවදුරටත් ඔහුට බැහැ කියන්න බැරි වුණා. ඒ නිසා අපි පෙම්වතුන් වුණා.” කේශිලා ජයවර්ධන නම් ඇය පාසල් වියේදීම ප්‍රේමයකට මුල පුරන්නේ එලෙසිනි. පසුව ඇය විවාහ වන්නේ ද පාසල් සමයේ හිත් දිනූ පෙම්වන්තයා සමඟින්මය. “නිමල් ඒ වෙනකොටත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිලා හිටියෙ. සම්බන්ධය පටන්ගත්ත මුල්ම දවසෙම අපේ පවුලේ ආර්ථික අපහසුතා ගැන මම ඔහුට කිව්වා. ආදරය ගැන කතා කරනවා වෙනුවට අපි අපේ අනාගතය, ජීවිත ප්‍රශ්න ගැන කතා කළා. ඔයා හොඳින් විභාගය කරන්න. කැම්පස් යන්න. මම රස්සාවක් කරල ඔයා වෙනුවෙන් වියදම් කරන්නම් කියා ඔහු මට කිව්වා. එ කාලෙම මම නිමල් ගැන අම්මට කිව්වා. අපි දෙන්න පෙනුමෙන් ගැළපෙන්නෙ නැහැ කියා අම්ම විරුද්ධ වුණා. නමුත් අපි ඈත් වුණේ නැහැ. ආදරය නිසා අධ්‍යාපනයට බාධාවක් කරගත්තෙත් නෑ. අම්ම මාව නැවතත් යටියන්දර මහා විද්‍යාලයටම දැම්මත් මම මගේ ගමන නතර කළේ නැහැ. උසස් පෙළ හොඳින් සමත් වුණා. මම යටියන්දර මහා විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයකට තේරුණු පළමු ශිෂ්‍යයාව වුණා.” ඇය පැවසුවාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ උපාධියක් ලබාගත් ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉන්දියාවට යන්නේ විවාහවීමෙන් පසුවය. තමන් කොතරම් ධෛර්යවන්ත කාන්තාවක් වුවත් සැමියා ලබාදුන් සහයෝහය නොවන්නට ජීවිතයේ මෙතරම් දුරක් පැමිධෑමට නොහැකි වන බව ඇය කීවාය. “මට පේරාදෙණියෙ යන්න හැම සතයක්ම වියදම් කළේ නිමල්. ඒ විතරක් නෙවෙයි එයා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරී විදියට සේවය කරමින් අපේ ගෙදර වියහියදම් ඔක්කොමත් දැරුවා. ඒ වගේ කැපවීමක් වෙන කවුරුත් කරන එකක් නැහැ. මම විභාගවලට සූදානම් වෙද්දී ඔහු රෑ 11 ට 12 ටත් අපේ ගෙදරට ඇවිත් මම පාඩම් කරනවද කියල බලල යනවා. මුලින් විරුද්ධ වුණත් පස්සේ අපේ අම්මගෙ හොඳම බෑණ වුණේ නිමල්. අපි විවාහ වෙද්දී අම්මා මට දීපු හැමදෙයක්ම ලියලා දුන්නෙ නිමල්ගෙ නමට. ඒ තරම් ලොකු බැඳීමක් සහ විශ්වාසයක් ඔහු ගොඩනඟා ගෙන තිබුණා.” ඇය පවසන්නේ සැමියා පිළිබඳව ආදරය මෙන්ම ගෞරවයද මුසු හඬකිනි.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර 1985 දී විශ්ව විද්‍යාලයට සමුදෙන කේශලා අනතුරුව උත්සාහ කරන්නේ ඉක්මනින් රැකියාවක් සොයාග ැනීමටය. නමුත් එය සිතූ තරම් ලෙහෙසි වුණේ නැතැයි ඇය පැවසුවාය. “මම අම්මයි නිමලුයි එක්ක සම්මුඛ පරීක්‍ෂණ සඳහා නොගිය තැනක් නැහැ. උසස් මට්ටමින් උපාධිය සම්පූර්ණ කළත් අවුරුදු තුනක් රැකියාවක් නැතිව ගතවුණා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකරණ පුහුණුව සඳහාත් මම එදා අයදුම් කළා. මට එදා ඒ අවස්ථාව ලැබුණෙ නැහැ. නමුත් අවුරුදු 30 කට පස්සෙ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනිය විදියට මට පත්වීම ලැබුණා.”
“ඊට පසුව මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පුහුණු කථිකාචාර්යවරියක් විදියට කටයුතු කරන්න ආරාධනා ලැබුණා. මම විශ්වවිද්‍යාල දරුවන්ට අවුරුදු 14 ක් දේශපාලන විද්‍යාව ඉගැන්වුවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට අයදුම් කිරීමේදී මට අසාධාරණකම් සිද්ධ වුණා. මම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ නඩු කිව්වා. පළවෙනි නඩුවෙන් දිනුවා. දෙවැනි නඩුවේදී බොහෝ දේවල් වෙනස් වුණා. මම දේශපාලනය කරනවා කියලා තමයි මේ ප්‍රශ්න ඇති වුණේ. හැබැයි මම ඒ කාලෙදි කරපු දේශපාලනයක් නෑ.” රාජකාරී ජීවිතයේ පැමිණි බාධක සිහි කරමින් ඇය පැවසුවාය. බාධක හමුවේ වඩාත් සුන්දර වෙමින් ගලායන ගංගාවක් මෙන් සියලු බාධක පරයා ඉදිරියට ගමන් කළ ඇය අද රටේ පිළිගත් චරිතයකි. කාන්තාවක ලෙස ඇය පැමිණි දුර බොහෝයැයි සිතේ. වර්තමානයේ දී වගකීම් සහගත තනතුරක් හෙබවූවත් ඒ සියල්ල මැද තමන් තම පවුල වෙනුවෙන් බිරිඳක, මවක ලෙස තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බව ද ඇය කීවාය.
“අපි විවාහ වුණේ 1987. අපිට දුවලම දෙන්නෙක් ලැබුණා. බිරිඳක්, මවක් විදියට මගේ මහත්තයටත්, දරුවන්ටත් අවශ්‍ය සහයෝගය උපරිමයෙන් මම ලබාදෙනවා. නිවසේදී බිරිඳක් ලෙස මගෙන් විය යුතු සියලු යුතුකම් මා අතින් ඉටුවෙනවා. රාජකාරී ජීවිතයේ මොන තනතුරු දැරුවත් අපේ පවුලේදී මම මුල් තැන දෙන්නේ මගේ මහත්තයාටයි. එදා අපේ අම්මා තාත්තට වැඩට යන්න කලින් වැන්ද වගේ මමත් වැඩට එන්න කලින් මගේ මහත්තයට වඳිනවා. මම මගේ දරුවන්ටත් කියන්නේ කොයිතරම් අලුත් විදියට හිතුවත් එවැනි සිරිත්වලින් ඈත්වෙන්න එපා කියලයි.” “මගේ වැඩිමහල් දියණිය උසස් අධ්‍යාපනය ලැබුවේ කැනඩාවේ. මගේ බාල දියණිය ජීවත් වෙන්නේ නවසීලන්තයේ. බටහිර රටවල්වල හැදුනත් ඔවුන් වයින් වීදුරුවක් වත් බොන්නෙ නැහැ. කොටට ඇඳුමක් අඳින්නේ නැහැ. හොඳ විනයක් ඇතිව මම මගේ දරුවො හැදුවා. ඒ දෙන්නම තාත්තට බොහොම ළෙන්ගතුයි.” ඇය කීවාය.
තම සැමියා තම ගමන පිටුපස සිටි යෝධ සෙවණැල්ල බවත් ඔහු තමන් පැමිණි ගමන දෙස බලලා නිහඬව සතුටුවන අතර තමාටත්, දරුවන්ට අසීමිත ආදරයක්, රැ කවරණයක් ලබාදෙන බව ඇය පවසන්නීය. ඔහු කිසිවිටෙකත් කාන්තාවක ලෙස තමන් ඉදිරියටයාමේදී එම ගමනට බාධා නොකිරීම තම සාර්ථකත්වයේ රහස බව කේශලා ජයවර්ධන මහත්මිය විශ්වාස කරන්නීය. තමන් පැමිණි ගමනේදී මුහුණදුන් බාධක තමන් යටතේ සේවය කරන්නන්ට හා තමන්ගෙන් සේවයක් අපේක්‍ෂා කරන්නන්ට අත්විඳින්නට නොදිය යුතු බව කේශලා මහත්මියගේ අදහසයි.
“මට ඕන බැංකුවට එන යන මාව හමුවෙන්න එන අයට කටපුරා හිනාවෙලා කතා කරන්න. ඒක වචනයක් දෙකක් වෙන්න පුළුවන්. නමුත් ඒ හිනාව, වචනය දෙක ඒ අයට බොහෝ ඒත් මේ මාස්ක් එක ඒ හැමදෙයකටම හරස් වෙනවදෝ කියලත් හිතෙන තැන් තිබෙනවා. එදා මට රස්සාවක් නැතිව විඳින්න වූ දුක දැන් දරුවන්ට වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ. අපට ලැබෙන අයදුම්පත් වෙන වෙනම ගොණුවක එකතු කර තබා අවශ්‍ය වෙලාවෙදී ප්‍රයෝජනයට ගන්න කටයුතු කරනවා.” “කෙනෙකුගේ දක්ෂතාවලට මව්පියන්ගේ රැකියා, තරාතිරම බාධාවක් වෙන්න බැහැ.. අපට හයිය හිතක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මම ජීවිතය ජයගත්තේ හයිය හිතක් තිබූ නිසයි. මට මගේ රැකියාව තුළ පැවරී ඇති වගකීම් ද නිසි ආකාරයෙන් ඉටුකර රට වෙනුවෙන් මගෙන් විය යුතු සේවය ලබාදීම අද මගේ ලොකුම අරමුණ වී තිබෙනවා.”
සටහන - ඩයනා උදයංගනී විතාන
Leave a comment