කාන්තාවන් සහ දරුවන්ගේ ජීවිතේ අඳුරු පැතිකඩක් ගැන එක්සත් ජාතීන්ගෙන් හෙළිදරව්වක්
ලිංගික ප්‍රචණ්ඩත්වය අද අපේ රටේ කාන්තාවන් හා ළමයින් මුහුණපාමින් සිටින බරපතළ කායික ,මානසික හා සමාජයීය ගැටලුවක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත. එහි සඳහන් වන ආකාරයට අපේ රටේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලයේ කවර අවස්ථාවකදී හෝ ලිංගික හිංසනයකට හෝ බලහත්කාර ක්‍රියාවකට ලක් වී ඇත.
අද අපේ රටේ පවතින ආර්ථික දුෂ්කරතා අධ්‍යාපන අවස්ථා අහිමිවීම, විරැකියාව, ඉන්ධන හිඟය, ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම විදුලි අර්බුදය පවා ස්ත්‍රීන් හා ළමයින්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම කෙරෙහි බලපා ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි.
මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළහොත් අනාගතයේදී මේ තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවද එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට අපේ රටේ කාන්තාවන්ගෙන් හතරෙන් එක් අයෙක් (24.9%) සිය ජිවිත කාලය තුළ සිය සැමියා අතින් හෝ වෙනත් පිරිමියෙකු අතින් ශාරීරික හිංසනයට හෝ ලිංගික හිංසනයට ලක් වී තිබේ. ඒවාගේම සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු (39.8%) සිය සහකරුගේ ශාරීරික, ලිංගික, මානසික හිංසනයට, දරදඬු පාලනයට හෝ ආර්ථික හිංසනයට ලක් වී තිබේ. උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම පොදුවේ රට පුරාමත් ආර්ථික තත්ත්වයෙන් හා සමාජ මට්ටමෙන් පහත් දිළිඳු පවුල්වල කාන්තාවන්ට මෙන්ම දරුවන්ට රැකියාවල නිරත වීමට සිදු වෙයි. පිරිමි දරුවන් පවා සූරාකෑමට ලක්වීම හා ශාරීරික මෙන්ම ලිංගික හිංසනයට ලක්වීම අනාගතයේදී බරපතළ සමාජ ගැටලුවකට හේතු වනු ඇත. කුඩා දරුවන් හිංසනයට ලක්වීම ඔවුන්ගේ කායික හා මානසික වර්ධනයට බොහෝ සෘණ ප්‍රතිඵල ලබා දීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකියි. පවුලේ ආර්ථිකයට සහාය වීම සඳහා මවුවරුන් විදෙස් ගතවීම, පවුලෙන් ඈත් වීම, බීමත් පියවරුන් හා සමීප නෑදෑ පිරිමින් හා මත්ද්‍රව්‍ය හේතු කොටගෙන ලිංගික හිංසනයට ගොදුරුවන ගැහැනු දරුවන් ගැබිනියන් බවට පත්වීමට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. අද අපේ රටේ පවතින මත් උවදුරට දැන් දැන් ගොදුරුවෙන යෞවනියන්ගේ සංඛ්‍යාවද වර්ධනය වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. ඒවාගේම පියා, සහෝදරයා, මාමා, බාප්පා, ඥාති සහෝදරයාගේ බලහත්කාරයට ගොදුරු වෙන දරුවන් අද දිළිඳු පවුල්වලින් පමණක් නොව සමාජයේ ධනවල් පවුල්වලින්ද වාර්තා වෙයි.
ශාරීරික හෝ මානසික හිංසනයට ගොදුරු වෙන කවර හෝ තරාතිරමක දරුවෙකුගේ කායික පීඩාව ඉමහත්ය. ළමා ගර්භිණීභාවය මවට මෙන්ම දරුවාට අතිභයානක කායික හා මනෝ සංවර්ධන ගැම්ම ඇතිකරවන බරපතළ සෞඛ්‍ය හා සමාජයීය ගැටලුවක් බවට පත් ව තිබේ.
තම සැමියාගේ, සොහොයුරාගේ තාඩන පීඩනවලට ලක්වීම ලාංකිය කාන්තාවන්ගේ උරුමයක් ලෙස සැලකීමට පුරුදු වූ පවුල් ද වෙති. ගැහැනු පිරිමි යනු සමාජභාවය හේතුවෙන් හා මානව අයිතිවාසිකම්වලින් සමාන වන දෙපිරිසක් වන බව කුඩා කාලයේ සිටම වටහාදීම වැදගත් වේ.
ශාරීරික හිංසනයට බඳුන්වන කාන්තාවන් අතරින් 82.9% ක්ම සිය සහකරුගේ පීඩනයට ලක් වන අතරම ගැටුම අවසානයේ ඔවුන් අතරින් තුවාල සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වූ කාන්තාවන්ගේ ප්‍රතිශතය 18.7% කි. බොහෝ විට මෙම කාන්තාවෝ වරකට වඩා ඇතැම් විට ජීවිත කාලය පුරාම වරින් වර මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වූවෝය. ඒවාගේම සහකරුවා හෝ වෙනත් පුද්ගලයෙකු අතින් ලිංගික අතවරවලට ලක් වූ කාන්තාවන් අතරින් සෑම තිදෙනෙකුගෙන් ම එක් අයෙක් ( 35.7%) සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ. හිංසනයට ගොදුරුවෙන කාන්තාවන්ගෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් 9.2% ක් ම සිය රැකියාවට නිසි පරිදි අවධානය යොමු කළ නොහැකිවීම වැනි මානසික ගැටලුවලට මුහුණ පා සිටියි. මෙම ගැටලුව විසඳීම සඳහා පවුල තුළ පාසල මෙන්ම රැකියා ස්ථානයද මඟතොටද දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු වන ලෙස කටයුතු කිරීමට රජය මෙන්ම අදාළ බලධාරීන්ගේද අවධානය දැනට වඩා වැඩියෙන් යොමු විය යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවරද කඩිනමින් ගතයුතු බවද එම වාර්තා පෙන්වා දෙයි.
කාන්තාවන්ගේ අධ්‍යාපන පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථිකය සවිමත් කිරීම සඳහා රැකියා සැපයුම ස්වයං රැකියා සඳහා කුසලතා සංවර්ධනය, බිය, සැකයෙන් තොරව ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථා හා සුරක්ෂා මධ්‍යස්ථාන වැඩි කිරීම, ඒවා වෙත ළඟා වීමේ පහසුකම් වර්ධනය කිරීම සහ මනෝ කායික නිරෝගීබව සඳහා උපදේශනය සහ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට කාන්තාවන්ට සහ ළමයින්ට වැඩි පහසුකම් සලසාදීම වැනි යෝජනා බොහොමයක්ද ඒ අතර වෙයි.
සාගරිකා දිසානායක
Leave a comment