කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?

 

අන්තර් ජාතික කාන්තා දිනය සෑම වසරකම මාර්තු මස අට වැනිදාට සමරනු ලබනවා. කාන්තාවන්ගේ සුබ සිද්ධිය සහ සමානාත්මතාව ප්‍රධාන අරමුණු කොට ගත් කාන්තා දිනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සමරනු ලැබුවේ වර්ෂ 1975 දී. 2023 ලෝක කාන්තා දින සැමරුමේ මෙවර තේමාව කාන්තාව සහ තාක්ෂණය යන්නයි. 


දියුණු සංවර්ධිත රටවලද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සියල්ලද ඒකරාශිව කාන්තා අයිතිවාසිකම් රැක ගැනීම සඳහා එදිනට විශේෂයෙන් හඬක් නගනවා. කාන්තාව සමාජයේ අඩු වරප්‍රසාදලාභී දුර්වල චරිතයක් නොව පුරුෂයන් සමග කරට කර සිටිමින් පවුල තුළ හා සමාජය තුළ ඇගැයීමට ලක්විය යුතු කාර්ය භාරයක නියැළෙන ශක්තිමත් මිනිස් කොට්ඨාසයක් බවට ලොවට හඬ ගා කීම කාන්තා දිනයෙහි තවත් අරමුණක් වෙනවා. වාමාංශික කණ්ඩායම් හා වෘත්තිය සංවිධාන ඒ සඳහා පෙරමුණ ගන්නවා. 


ස්ත්‍රීන්ට සිදුවන මදි පුංචිකම් ඇරැඹෙන්නේ  ළදැරියක ලෙස උපතේ පටන්මයි. ඉන්දියාව වැනි රටවල තවමත් දෑවැදි ප්‍රශ්නය වැනි හේතු මත දැරියන් උපදින්නටත් පෙර ගබ්සා සිදුකර මරණයට පත් කරනවා. දැරියන් පවුලට බරක් මිස යහපතක් නොවන බව සිතන ගෝත්‍රික මිනිසුන් තවමත් ඇතැම් විට අපේ රටේත් ඉන්නවා. පිරිමි දරුවන්ට මුල් තැනදීම පවුල තුළ හොඳම ආහාර කොටස පියා සහ පුතුනට බෙදා දී  මව සහ දූවරුන් ඉතිරිය බෙදා ගැනීම තවමත් අපේ රටේ බොහෝ පවුල්වල දක්නට ලැබෙනවා. අධ්‍යාපනය ලබා දීමේදී බොහෝ විට ගැහැනු ළමයින්ටත් සමාන අවස්ථා හිමි වුවත් රැකියා ලබා ගැනීමේදී තවමත් අපේ රටේ පිරිමින්ට හොඳම සහ මූලිකව අවස්ථා ලැබෙනවා. රැකියාවලට බඳවා ගැනීමේදි ප්‍රසූත නිවාඩු ලබාගැනීම, රාත්‍රි වැඩ මුර වැනි හේතු නිසා කාන්තාවන්ට අවස්ථා අහිමිවෙනවා. වගකීම් පැවරීමේදී හා උසස්වීම් ලබාදීමේදී තවමත් අපේ  රටේ ඇතැම් තැනක පිරිමින්ට මුල් තැනක් ලබාදෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හේතුවෙන් සිදුවන මෙවැනි වෙනස්කොට සැලකීම්වලට එරෙහිව හඬ  නැඟීම පක්ෂග්‍රාහීත්වයට එරෙහිවීම ගබ්සා සඳහා සමූහිකව එක්ව පිළියම් සෙවීමත්, පොළෝ මට්ටමේ සිට උසස්ම තත්ත්වය  දක්වා එක  විට සමාන්තරව සිදුවිය  යුතු  බව මෙවර ජාත්‍යන්තර කාන්තා දින සංවිධායකයන් පෙන්වා දෙනවා.


එක් දහස් නවසිය දශකයේ ආණ්ඩුව දක්වාම අන්තර් ජාතික කාන්තා දිනයේ උපත  දිව යනවා. එවකට වර්ෂ 1908 දී ඇමෙරිකාවේ කම්හල්වල සේවය කළ කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩුවෙන් වැටුප් ගෙවීම, උසස් වීම් ලබා නොදීම, දීර්ඝ කාලයක් සේවා මුරවල යෙදවීම මෙන්ම කාන්තාවන්ටත් ඡන්දය ලබා දෙන්නට අයිතියක් ලබා ගැනීම යන කරුණු මුල් කරගෙන වැඩ කරන කාන්තාවන් 15000ක් එකතු වී විරෝධතාවක් පවත්වනු ලැබුවා. ඔවුන් ඉල්ලා සිටියේ වැඩි වැටුපක්, නිවාඩු මෙන්ම ඡන්ද අයිතියයි. ඒ අනුව ඇමරිකාවේ සමාජවාදී පක්ෂය මගින් මුළු මහත් ඇමෙරිකාවටම ඇමෙරිකා කාන්තා දිනය ලෙස පෙබරවාරි මස 28 වැනිදා නම් කරනු ලැබුවා. වසර 1913 දක්වා ඇමෙරිකානු කාන්තාවන් ජාතික  කාන්තා දිනය පෙබරවාරි 28 වැනිදාට සමරනු ලැබුවා.  වසර 1910 දී ජර්මානු සමූහාණ්ඩුවේ ඩිමොක්‍රටික් පක්ෂ කාර්යාලයේ නායිකාව වූ (Ciava zetkin) ක්ලාරා සෙටිකින්ගේ මූලිකත්වයෙන් කෝපන්හේගන් නුවර දී දෙවැනිවරට අන්තර් ජාතික වැඩ කරන කාන්තාවන්ගේ සම්මේලනය පැවැත්වුණා. එහි අරමුණ වූයේ කාන්තාවන් ගේ සුබ සිද්ධිය උදෙසා කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කර ගැනීමයි. මේ සඳහා ලෝකයේ රටවල් 17කින් කාන්තාවන් 100කට අධික පිරිසක් සහභාගී වුණා. ඔවුන් විසින් කාන්තා සංවිධාන, සමාජවාදී පක්ෂ සහ සංගම් නියෝජනය කරනු ලැබුවා.


අමෙරිකානුවන් අඛණ්ඩවම කාන්තා දිනය සැමරුවේ පෙබරවාරි මාසයේ අවසාන ඉරු දිනයේදී. 1913 දී රුසියාව ජුලියානු කැලැන්ඩරයට අනුව පළමු වරට පෙබරවාරි මාසයේ අවසාන සෙනසුරාදා සමරනු ලැබුවා. කොරියානු කැලැන්ඩරයට අනුව එය යෙදී තිබුණේ මාර්තු මස අට වැනිදාවකයි. කෙසේ වෙතත් 1914 මාර්තු 8 වැනිදා ජර්මනිය පළමුවරට කාන්තා දිනය සමරනු ලැබුවා. 


වසර 1965 දී රුසියාව කාන්තා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මහජන චීන සමූහාණ්ඩුව පත් වූ පසුව මාර්තු අටවැනිදා කාර්යාලයීය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර කාන්තාවන්ට වරුවක නිවාඩුවක් ලබා දුන්නා.


කාන්තාවන් සඳහා සම අයිතීන් ඉල්ලා ලොව පුරා කතුන්, වාමාංශික ව්‍යාපාර හා කම්කරු සංවිධාන සමග සම්බන්ධ වෙමින් අරගල කරන්නට පටන් ගත්තේ නවසිය 70-80 දශකවලදී කාන්තාවන්ටත් පිරිමින්ට සමාන වැටුප් තල සමාන ආර්ථික අවස්ථා, සමාන නීතිමය අයිතිය ළමයින් සඳහා සහනාධාර ලබා ගැනීම මෙන්ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම වැනි ඉල්ලීම් දිනා ගැනීම ඔවුන් ගේ කාන්තා දින සැමරුම්වල මූලික පරමාර්ථයක් වුණා. 


වසර 1977 පැවැති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී මාර්තු අට වැනිදා එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස සලකා ඒ දිනය කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හා ලෝක සාමය දිනා ගැනීම සඳහා කටයුතු කරන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.


ලෝකයේ බොහොමයක් රටවල් කාන්තා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහෙත් ලංකාවේ එදින වැඩ කරන දිනයක්. චීනයේ කාන්තාවන්ට පමණක් එදිනට නිවාඩු ලැබෙනවා. කාන්තාවන් ගේ අයිතිවාසිකම් උදෙසා හඬක් නගන්නට කාන්තාවන් සඳහා නිසි තැන ලබා ගන්නට අවධානය යොමු විය යුත්තන්ගේ අවධානය ඒ සඳහා යොදා ගැනීම සඳහාත් කාන්තාවන් සවි බල ගැන්වීම සඳහාත් මං පෙත් විවර කරන්නට ක්‍රියාශීලිව කටයුතු කළ යුතු කාර්යක්ෂම උද්යෝගීමත් දිනයක් ලෙස අන්තර්ජාතික කාන්තා දිනය සැමරීම වඩා සුදුසුබව ලෝකයේ බොහෝ රටවල තීරණය වී තිබෙනවා.

සාගරිකා දිසානායක ජයසිංහ  


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment