කැලණි කතාව අමාරිස් අයියා දුටු හැටි - චන්දන කියයි

සමාජ මාධ්‍ය තුළ  මේ දිනවල එක්තරා භික්ෂූන් වහන්සේ නමක් දං ගෙඩියට රැගෙන යමින් තිබේ. එයට හේතුව උන්වහන්සේ කිසියම් නාළිකාවක සිට කරන ලද ප්‍රකාශයකි.  උන්වහන්සේ කියා ඇත්තේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැති බවය. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියා ද නැද්ද කියා හරියටම කියන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා දැයි සැක සහිතය. කොහොම වෙතත් ලංකාව තුළ මේ වගේ ප්‍රකාශ කෙළවර වෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳව අවධානයෙන් පසු විය යුතුය. අප අසා ඇති විදිහට බුදුහාමුදුරුවෝ තුන් වරක් ලංකාවට වැඩම කර තිබේ. ඉන් තුන්වෙනි අවස්ථාවේ වැඩම කළේ කැලණියටයි. ඒ වෙසක් පොහොය දවසකය. 

ඒ නිසා බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නැතැයි කියන්නේ නම් එය කැලණියේ අපට දැඩි ලෙස බලපායි. එහෙම කතාවකින් සිදු වන්නේ කැලණියේ ජනතාව මෙතෙක් පවත්වාගෙන ආ අභිමානය බින්දුවට වැටීමයි. වැඩියෙන්ම බලපාන්නේ කැලණි විහාරය අවට ව්‍යාපාරික ප්‍රජාවටය. කැලණියේ ඉඩම් මිල ගණන්වලටත් එය බලපාන්නට පුළුවන. 
කතාවේ හැටියට බුදුහාමුදුරුවෝ කැලණියට වැඩියේ චූලෝදර සහ මහෝදර දෙපැත්තට බෙදී කළ යුද්ධය අවසන් කරන්නටය. යුද්ධය පැවැතියේ මැණික් පුටුවක් මුල්කරගෙනය. 
කොහොම හරි කවරෙක් හෝ බුදුහාමුදුරුවො වැඩියෙ නැතැයි කියා කියනවා නම් චූලෝදරලා මහෝදරලා එක පැත්තක් ගෙන එම ප්‍රකාශයට එරෙහිව පෙළ ගැසෙන්නට ඉඩ තිබේ. සමහර විට එය තවත් ඡන්දයකින් කෙළවර වන්නක් වෙන්නට ද පුළුවන. 
කැලණිය තිබෙන්නේ දැන් තිබෙන කැලණියේ නොව කතරගම ප්‍රදේශයේ බව එක් පිරිසක් කියා තිබේ. ලංකාවේ ඉතාමත් ප්‍රකට පුරාවිද්‍යා මහාචාර්යවරයකු ඇතුලු පිරිසක් එම මතවාදය තහවුරු කිරීම පිණිස ශාස්ත්‍රිය කරුණු රැසක් ගෙනහැර පා තිබේ. 
මේ මතය ප්‍රබල ලෙස සමාජගත වන්නට ඇතැයි සිතෙන කාරණාවක් මට පසු කලෙක සොයා ගැනීමට හැකි විය. 
මගේ ජනමාධ්ය ජීවිතයේ පළමු වන කාර්යාලයෙන් බැහැර කටයුත්ත "කතරගම ගම් උදාවයි." 
කතරගම ගම් උදා භූමියේ පසෙකින් ඉදිකර ඇත්තේ කැලණි විහාරයේ ආකෘතියකි. එමෙන්ම ඒ ආශ්‍රිතව ඉදි කළ "චන්දන ගම" මේ පුරාවෘත්තය හා සම්බන්ධය 
විහාර මහා දේවිය කාවන්තිස්ස රජුට හමුවුයේ කිරින්දෙනි. එතුමිය මුහුදට පා කර හැරී "කැලණිය" ඒ ආසන්නයේම තිබිය යුතු බවට ඇතැම් අය ඒ කාලේ මත පල කළේය.
ඒ අවශ්‍ය බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කොහාටද? උන්වහන්සේ උපන්නේ කොහේද?, එසේ නැතහොත් දන් වැළඳුවේ පාත්තරයකද, පිඟානක ද යන්න සැබෑ බෞද්ධයින්ට අවශ්ය කාරණා නොවේ. 
ඔවුනට අවශ්ය වන්නේ බුදුන් දෙසූ දහමයි. ධර්මය දකින්නා තමන් දකින බව බුදුන් වහන්සේ දේශනා කලහ. 
ගුවන් විදුලි විනෝද සමය මේ ප්‍රශ්නයට පිවිසියේ වෙනත් කෝණයකිනි. 
අමාරිස් අයියා යන්ත්ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව හා කට්ටඩි වැඩ පිළිබඳවත් දන්නා කෙනෙකි. ඔහුගේ නිවසට කීප දෙනෙකු විසින් "උගත් පුද්ගලයකු" රැගෙන එනු ලබයි.මේ උගතා ශාස්ත්රීය පර්යේෂකයෙකි. එම චරිතය රඟපෑවේ ඇනස්ලි ඩයස් මහතාය. 
අමාරිස් අයියාගේ නිවසට මුලින් පැමිණි දෙදෙනා මෙම අපූරු උගතාගේ කියමන් පිළිබඳව අමාරිස් ආයියාට පැමිණිලි කරයි. 
"අරන් වරෙල්ලකො මිනිහව බලන්න" අභියෝගයට මුහුණ දෙන්නට අමාරිස් අයියා සූදානම්ය. උගතා රැගෙන එන්නේ ඉන් අනතුරුවයි. 
උගතා මුහුණ පුරා රැවුල වවාගත් අපිළිෙවළ හිස කෙස් සහිත දුර්වර්ණ ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකි.
"මේ මිනිස්සු මෝඩයි. මේ මිනිස්සුන්ට මං කියන දේ තේරෙන්නේ නෑ. මේ මිනිස්සු හිතන්නේ නෑ.හිතන්න පුළුවන්කමකුත් නෑ. " 
උගතා අමාරිස් අයියා දෙස බලන්නේ යටත් පිරිසෙයින් ඔහුවත් තමන් කියන දේ වටහා ගනු ඇතැයි සිතාය. 
"හරි, මොකක්ද දැන් මහත්තයා කියන්නේනේ?" 
"මම කියන්නේ මේ කැලණිය තියෙන්නේ දැන් තියෙන තැන නෙවෙයි. මේක තියෙන්නේ කතරගම."
" අම්මපා ඇත්ත නේන්නං....හහ් හහ් හහ්.... මටත් තේරුණේ දැනුයි. හරියට හරි මහත්තයගෙ කතාව”
අමාරිස් අයියා ඔහුට එකඟවීම පිළිබඳව අනෙක් අය නොසතුටිනි. 
"කාවද ඉඳලද මහත්තයට ඔහොම හිතෙන්න ගත්තෙ.?"
"කවදා ඉඳලද කියන්නේ? මම නිතරම කියවනවා. ස්ටඩි කරනවා. නිකන් ඉන්න මිනිහෙක් නෙමෙයි. මම හිතනවා. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ හිතන්නෙ නෑ. ඔහේ බකං නිලං ඉන්නවා."
"අම්මපා ඇත්ත...මහත්තයගෙ කටේ දාන්න වටිනවා පඩික්කමක්." 
අමාරිස් අයියා තම සගයන් දෙස හැරෙයි. 
ගැට ගහපන් මෙන්න මේක, පුටුවට තියලා.
උගතා පුටුවක තබා ගැටගසනු ලබයි. ඔහු එයට විරෝධය පායි.නමුත් කිසිවෙක් එය ගණන් ගන්නේ නැත.
අමාරිස් අයියා කිසියම් ඖෂධයක් තනයි. අනතුරුව එය උගතාගේ හිසට දමයි. 
"මේ හිස කුඩිච්චිය දැම්මහම ඕක හරියනවා."
උගතාගේ හිසේ අත තබා ගනිමින් අමාරිස් අයියා මන්තරයක් කියයි. 
"ආ මහත්තයා දැන් කියන්න බලන්ඩ කොහේද කැලණිය. ?
"කැලණිය තියෙන්නෙ කතරගම ඕයි. මම කිව්වානේ. ලෙහෙනවා මේක තමුසෙලට පිස්සුද?"
"ඔන්න ඔය බෝතලෙන් තෙල් ටිකක් දාපන් ඔලුවට."
සගයෙක් උගතාගේ හිසට තෙල් දමන බව පෙන්වයි. අමාරිස් අයියා යළිත් මන්තරයක් ජප කරයි..
"දැන් කොහෙද කැලණිය"
"කැලණිය තියෙන්නේ හම්බන්තොට අයිසේ"
"ආන්න හරි තව දාපන් තෙල් ටිකක්."යළිත් මතුරයි . 
"දැන් කොහෙද කැලණිය"
"මම කිව්වනේ කැලණිය තියෙන්නේ මාතර අයිසේ"
"දාපන් තෙල් ටිකක්.....දැන් කොහෙද කැලණිය"
"කැලණිය තියෙන්නෙ ගාල්ලේ"
"තව ටිකක් දාපන්"යළිත් හෙමිහිට මන්තරයක් කියයි. 
"දැන් කොහෙද කැලණිය"
"කැලණිය තියෙන්නේ අම්බලන්ගොඩ"
"ආන්න හරි.. තව තෙල් ටිකක් දාපන් වැඩි වෙන්න"
"දැන් කොහෙද කැලණිය" . 
"කළුතර”
"දාපන් තව තෙල් ටිකක් හොඳට අත පුරවලා." 
අමාරිස් අයියා උස් හඬින් යළි මන්තරයක් ජප කරයි.. 
"දැන් කොහෙද කැලණිය" 
"බියගම"
" අප්පච්චියේ පාර මාරු කළා නේද" අනෙකා අසයි.
"බයවෙන්න කාරණාවක් නෑ. තව දාපන් ටිකක්."
"දැන් කොහේද කැලණිය"
"කැලණිය තියෙන්නෙ බොල්ලෑගල." 
තව දාපන් තෙල් ඩිංගිත්තක්. චූට්ටක්
නා ගහමුල හන්දියේ.”
එතැන සිට කැලණි විහාරයට කිලෝමීටර තුනක් පමණි.
"තව දාපන් තෙල්.. .චූ ඌ..ඌ .ට්ටක්"
"දැන් කොහෙද කැලණිය ."
කැලණිය තියෙන්නෙ කැලණියෙ අයිසේ... ඇයි මොකක්ද ප්රශ්නේ? 
අමාරිස් අයියා ඇතුළු පිරිස උස් හඬින් සිනා සෙති.
"ප්‍රශ්නයක් නෑ.. දැන් මහත්තයා ගිහිල්ල හොඳට නා ගන්න " 
'මෙම විනෝද සමය ප්‍රචාරය වීමත් සමගම වාදය අවසන් වී තිබේ. 
අනතුරුව කැලණිය කැලණියේම නතර විය. 
(මාධ්‍ය කෙතරම් ප්‍රබලද)
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි චන්දන තිලකරත්න  මහතා සමග කතා බහකි)

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය Read Previous

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය

කටට බ්‍රේක් තියාගන්න Read Next

කටට බ්‍රේක් තියාගන්න

Realted Post

Leave a comment