ගඟට පැන්නට පස්සේ ජීවත්වෙන්න ලොකු ආසාවක් ඇති වුණා

“ජීවිතය නැති කරගන්න ගඟට පැන්නට පස්සේ ජීවත්වෙන්න ලොකු ආසාවක් ඇති වුණා. වතුර පෙවිලා හුස්ම ගන්න අමාරු වෙනකොට කියන්න බැරි තරම් මහා වේදනාවක් ඇතිවුණා ඒ වේදනාව වචනවලට පෙරළලා කියන්න තරම් හැකියාවක් මට ඇත්තේ නැහැ.” යැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ජීවිතය බේරාගත් විසි තුන් හැවිරිදි තරුණියක පැවසුවාය.


වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා හමුවේ ඇය මේ බව පවසා ඇත.


සියදිවි දිවි නසා ගැනීමේ අරමුණින් නයිනමඩම හන තොටුපළ පාරේ පිහිටි පාලම මතින් ගිං ගඟට පැන්න මෙම තරුණිය දියේ ගිලෙමින් සිටියදී දිවි පරදුවට තබා පොලිස් නිල ඇඳුම් පිටින් ගඟට පැන බලවත් පරිශ්‍රමයක් දරා ඇයගේ ජීවිතය බේරා ගනු ලැබුවේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් ජීවන් ප්‍රනාන්දු (68337) සහ පොලිස් කොස්තාපල් ප්‍රසාද් කුමාර (77156) යන නිලධාරින් විසිනි.


මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු නිවසට යෑමට පෙර මෙම තරුණිය මුලින්ම ගොඩවැදුනේ වෙන්නප්පුව මූලස්ථාන පොලීසියට ය.


“ගඟට පැනලා ජීවිතය නැති කර ගන්න ගිය වෙලාවේ මගේ ජීවිතය බේරා ගත් සර්ලා දෙන්න හම්බෙන්න ආවේ” යැයි තරුණිය එහි සිටි පොලිස් කොස්තාපල්වරියකට පවසා ඇත.ඇය එම නිලධාරීන් දෙදෙනා දුටු අවස්ථාවේ  දණ ගසා  ඔවුන්ගේ කකුල් අල්ලා වැඳ වැටුනාය.


ඉවසන්න බැරි තරම් හිසේ කැක්කුමක් කාලයක ඉඳන් තිබුණා. ඒකට බෙහෙත් කළා. ඒ වෙනකොටත් ඒ කැක්කුම අඩුවුණේ නෑ. ඒ නිසාම මම දිවි නසාගන්න හිතුවා. ඒ තරමටම මගේ හිසේ කැක්කුම ඉවසන්න බෑ.

ගෙදරින් වුණත් මුලදි බෙහෙත් කළාට ඒ තරම් ගණන් ගත්තේ නෑ. අන්තිමට මම දිවි නසාගන්න ගඟට පැන්නා. මම ආයෙත් මේ වගේ මෝඩ වැඩක් කරගන්නේ නැහැ. ජීවිතේක ඇති වටිනාකම මම එදා හොඳටම තේරුම් ගත්තා. මැරෙන එක කොච්චර අමාරු වැඩක්ද කියන එක මට හොඳටම අවබෝධ වුණා.  ජීවිතයක ඇති වටිනාකම මම දැන් හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. මොනම ආකාරයකට හෝ ජීවිතය නැති කරගන්න නම් හදන්න එපා. මරණය කියන එක ඒ තරම්ම වේදනාකාරීයි. ඒ වේදනාව හොඳටම  වින්ද කෙනෙක් නිසයි මම මේ බව කියන්නේ.  ප්‍රශ්නවලට විසඳුම සියදිවි නසා ගැනීම නොවෙයි. සියදිවි නසාගැනීමට හිතන්නවත් එපා” යැයි එම තරුණිය පැවසුවාය.


මූලික ප්‍රථමාධාර ලබාදී කඩිනමින් තරුණිය රෝහල් ගත කිරීමට කටයුතු කළ නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට පහසු වූ බව රෝහල් වෛද්‍යවරයෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා සමග පවසා ඇත.


නයිනමඩම හන තොටුපොළ පාරේ පිහිටි  පාලම මතින් මෙම 23 හැවිරිදි තරුණිය ගිං ගඟට පැන තිබුණාය.


ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරන්නියකි.


සියදිවි නසාගන්නා බවට තරුණිය විසින් ලියන ලද ලියුමක් පාලම අසල තිබූ ඇයගේ අත් බෑගය තුළ තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබීය.


තමාට අයත් සියලු දේපොළ දන් දෙන ලෙස ඇය එම ලියුමේ සඳහන්  කර තිබිණි යැයි පොලීසිය කියයි.


රාජකාරි ගමනක් ගොස් යතුරු පැදියෙන් ආපසු එන අතරවාරයේ ගඟ දෙසින් ශබ්දයක් ඇසුණා. එනිසා අප දෙදෙනා නැවතී ඒ ගැන විපරම් කර බැලුවා. තරුණියක් ගඟේ ගිලෙමින් සිටිනවා අප දුටුවා. ඇය එක්වරම උඩට ඇවිත් යළිත් ගඟේ ගිලී යනවා අප දුටුවා. හිත හිතා ඉන්න වෙලාවක් තිබුණෙ නැහැ මම හිස් වැසුම ගලවා දමා නිල ඇඳුම පිටින්ම ගඟට පැන ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ගොඩට අරගෙන එද්දී මාත් සමග සිටි පොලිස් කොස්තාපල් ප්‍රසාද් කුමාරත් ගඟට පැන ඇය ගොඩබිමට රැගෙන ඒමට සහාය වුණා.  මම විවාහ වෙලා දරුවො තුන්දෙනෙක් ඉන්න පියෙක්. මට ඒ මොහොතේ බිරිඳ හෝ දරුවන්වත් මතක් වුණේ නැහැ. මගේ ඒකායන අරමුණ වී තිබුණෙ තරුණියගේ ජීවිතය බේරා ගැනීමයි. මගෙත් එක්ක ගඟට පැන්න ප්‍රසාද් කුමාර ද විවාහ වූ අයෙක්. ඔහුගේ අරමුණ වී තිබුණෙත් තරුණියගේ ජීවිතය බේරා ගැනීමයි. ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම ගැන අප දෙදෙනා සතුටුවෙනවා. මගේ නිල ඇඳුමේ කලිසමේ සාක්කුවේ දමා ගෙන තිබූ ජංගම දුරකථනය වතුර ගොස් හානි වී තිබුණා.” යැයි ජීවන් මහතා පැවසීය.


මෙම වීර වික්‍රමාන්විත ක්‍රියාව සිදුකර කොස්තාපල්  ජීවන් සහ කොස්තාපල් ප්‍රසාද්  යන මහත්වරුන් පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් ද අත්පත් කර දී ඇත.


ජීවිතයක් බේරා ගැනීමට තම දිවි පරදුවට තබා කටයුතු කළ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා කළ මෙහෙය පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අගය කරන බව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී වසන්ත  කුමාර මහතා පැවසීය.


මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු යොදාගෙන යයි.


පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ජීවිතය බේරා ගත් තරුණිය යළිත් සුපුරුදු රැකියාවේ නිරතව  සිටින්නී ය.

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post