ගෙදරින් පිට සතුට සොයන පිරිමි වැරදිද?

 

තමන්ගේ සැමියාට ඕනෑවට වඩා සීමා දාගෙන දැඩිව පාලනය කරගෙන ඉන්න බිරින්දෑවරුන් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. මේ දැඩි සීමාවන් නිසා පීඩනයට ලක්වන පිරිමින් තමන්ගේ බිරිඳව රවට්ටන්න දෙපාරක් හිතන්නේ නැහැ.

 

අවුරුදු දෙකක් තිස්සේ ඔන්ලයින් දේශන කරන නිසා ස්ටාෆ් එකේ අය මුණ ගැහෙන්නේ කලාතුරකින්. ඔන්න ඊයෙත් ඒ වගේ දවසක්. පහුගිය මාස තුන පුරා කරපු ඔන්ලයින් දේශනවල සාර්ථක අසාර්ථක බව සමාලෝචනය කරන්න සමාජීය විද්‍යා පීඨයේ ආචාර්ය මණ්ඩලය දවසක එකතු වුණා. උදේ ඩිපාර්ට්මන්ට් එකට ඇතුළු වෙද්දි අපේ තරුණ කථිකාචාර්යවරයෙක් එයාගෙ ෆෝන් එකේ ස්පීකර් එක ඔන් කරගෙන කෝල් එකක් ගනිමින් හිටියා. අනිත් අය කටවල් අතින් වහගෙන හිනාව හංගා ගන්න ලොකු උත්සාහයක නිරත වෙමින් කෝල් එක ගන්න කෙනා දිහා බලාගෙන හිටියා. ඔහු කෝල් එක ගත්තේ අපේ ස්ටාෆ් එකේම ඉන්න, ඒ වෙලාවෙ එතනට වෙලා අතින් කට වහගෙන හිටපු වෙනත් කථිකාචාර්යවරයෙකුගේ ගෙදරට. දුරකථනයට පිළිතුරු දෙමින් හිටියේ ඔහුගේ බිරිඳ. සංවාදය ගලාගෙන ගියේ මෙහෙමයි.


අපේ කෙනා - හෙලෝ, විශ්ව සර් ඉන්නවද?

කථිකාචාර්ය 
ශාස්ත්‍රපති 
දුලංජලී මුතුවාඩිගේ


බිරිඳ - කැම්පස් එකට ගියානෙ. කවුද මේ කතා කරන්නේ?

අපේ කෙනා - මම ස්ටාෆ් එකේ දුෂාන්. (බොරු නමක්) විශ්වගෙ ෆෝන් එක වැඩ කරන්නේ නෑ ඒකයි මේ ලයින් එකට ගත්තේ.
බිරිඳ - එහෙමද? මොකුත් හදිස්සියක් ද?

අපේ කෙනා - නෑ. නෑ. අද හවස අපි ප්‍රොටෙස්ට් එකක් කරමු කියලා යෝජනාවක් තියනවා. ඒකට සහභාගි වෙන්න බලාගෙන එන්න කියලා කියන්නයි මම ගත්තෙ. මම හිතුවා තාම ගෙදර ඇති කියලා.
බිරිඳ - එයා ගිහින් දැන් පැය බාගයක් විතර ඇති. මොබයිල් එකටම අරගෙන තමයි පණිවිඩේ කියන්න වෙන්නේ.

අපේ කෙනා - කමක් නෑ. මම ආයෙත් ට්‍රයි කරන්නම්. තෑන්ක්ස්.
මේ සංවාදය අතරතුර විශ්ව හිටියේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරගෙන කියලා මම දැක්කේ ඊට විනාඩි 10කට 15 කට විතර පස්සේ ඔහු එය නැවත ක්‍රියාත්මක කරපු වෙලාවෙයි. එය ක්‍රියාත්මක කරලා විනාඩි 5 ක් යන්න වුණේ නෑ ඔහුගේ බිරිඳගෙන් කෝල් එකක් ආවා. අපිට ඇහුණේ විශ්ව දීපු උත්තර විතරයි.

“හෙලෝ... ඔව් මොකක්හරි සිග්නල් ඩ්‍රොප් එකක් තිබුණා. ආ දුෂාන් ද, එයා අපේ ස්ටාෆ් එකේ. අයියෝ එහෙමද?. මුන්ට පිස්සුද මංදා ප්‍රොටෙස්ට් දාගන්න. දැන් ඉතින් ඕකට නොගියොත් ඉන්න හම්බෙන්නෑ. බලමුකො, බලමුකො... යන්නම වුණොත් යනවා. සමහර විට රෑ වෙයි මම එද්දි.”

මේ කතා අහගෙන හිටපු අපේ මැදිවියේ කථිකාචාර්යවරයෙක්, “කෝ අපිට කිව්වෙවත් නෑනෙ ප්‍රොටෙස්ට් එකක් කරනවා කියලා. නියමයිනෙ. කලින් දන්නවා නම් මම යාළුවන්ටත් කියනවා සහභාගි වෙන්න කියලා”
“අයියෝ නෑ සර්, අපි මේ පොඩි බෝලයක් බැස්සුවෙ විශ්වගෙ වයිෆ්ට. අද අපි පොඩි ගමනක් යනවා. ප්‍රොටෙස්ට් එකක් පිටින් දාලා යමු කියලා කතා වුණා. දන්නවනෙ විශ්වගෙ වයිෆ්ගෙ හැටි. මෙයාට බාත්රූම් එකටවත් යන්න දෙන්නේ නැහැනෙ එයාට කියන්නේ නැතුව” දුෂාන් නමින් විශ්වගේ බිරිඳට කතා කරපු මිතුරා කිව්වෙ හැමෝම සිනා ගන්වමින්.

විවාහ වුණාට පස්සේ පිරිමින්ට ජීවිතය එපා කරවන්නේ තමන්ගේ බිරිඳමයි කියලා මම අවස්ථා කීපයකදීම ලියලා තියනවා. මේ සිදුවීමෙදිත් ඒක ඔප්පු වුණා. තමන්ගේ සැමියාට ඕනෙවට වඩා සීමා දාගෙන දැඩිව පාලනය කරගෙන ඉන්න බිරින්දෑවරුන් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. මේ දැඩි සීමාවන් නිසා පීඩනයට ලක්වන පිරිමින් තමන්ගේ බිරිඳව රවට්ටන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ කාරණයෙදි බිරිඳව රවටන නිසා සැමියා තමයි වැරදි කාරයා කියලා මතුපිටින් අපිට පෙනුනත් කතාවෙ ඇතුළට ගිහින් බැලුවොත් ඇත්තටම වැරදිකාරයා කවුද කියලා හොඳින්ම දැක ගන්න පුළුවන්. නිවාඩු දවසට ගෙදරින් එළියටවත් බහින්න ඉඩක් නොදෙන, යාළුවෙක් ඇසුරු කරන්න නොදෙන, දුරකථන ඇමතුමක් එද්දි රවලා බලන, හැම තිස්සේම ෆෝන් එක චෙක් කරන බිරින්දෑවරුන් ඉන්න සැමියන් මුළු ජීවිත කාලය පුරාම ඉන්නේ බිරිඳ ගැනත්, විවාහය ගැනත් කලකිරීමෙන් කියලා ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉන්න අපේ මහාචාර්යවරයෙක් ඉහත සිදුවීමෙන් පස්සේ අපිට කිව්වා. ඒ කතාව සම්පූර්ණයෙන්ම නිවැරදියි කියලා, දෙපාරක් හිතන්නේ නැතිව තරුණ කථිකාචාර්යවරු සියලුම දෙනා ස්ථිර කළා. 


නිවසේ ගත කරන පැය කිහිපය පවා හිතට සැහැල්ලුවක් නැතිව පීඩනයෙන් යුක්තව ගත කරන්න සිද්ධ වෙනවා කියන්නේ පෙර කරපු අකුසලයක් විපාක දීමක්. මේ වගේ පීඩනයෙන් ඉන්න අවස්ථාවක ගෙදර නැති සැහැල්ලුව පිටින් හොයා ගන්න උත්සාහ කරන පිරිමි මේ සමාජයේ ඉන්නවා. සමහර විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන එක, එහෙමත් නැත්නම් කාන්තාවන් ඇසුරු කරන එක මේ වගේ තත්ත්වයන්ගේ ප්‍රතිඵල වෙන්න පුළුවන්. බැරි වෙලාවත් කොහෙන් හරි ඔය කියන සැහැල්ලුව පිරිමියෙකුට ලැබුණොත්, එතන වැරදිකාරයා පිරිමියාමයි කියලා කියන්න බැහැ. කොහේහරි කොනක බිරිඳත් ඉන්නවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගැන සාධාරණව හිතන්නත්, තමන්ගේ නිවස තමන්ගේ සැමියාට ප්‍රීතිය පිරුණු තැනක් බවට පත් කරන්නත් පුළුවන් වෙන්නේ ගැහැනු අපිටම විතරමයි.

 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment