ජීවත්වීම අරගලයක් වූ ජාතියකට නිදහසක් කොහෙන්ද?
නිදහස ගැන අලුතින් හිතමු...
මේ වෙද්දී මුළු සමාජය පුරාම ඇත්තේ ජීවත්වීමේ අරගලයයි. ජීවත්වීමේ නිදහස අහිමිවීමයි. මෙය ජාතියක්, කුලයක්, ආගමක් විසින් ඇතිකරගත් දෙයක් නොවේ. කිසියම් කොටසක් විසින් ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට දියත් කළ දෙයකි.
සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මිදී හැත්තෑපස් වසරක් ගෙවී අවසන් ය. එනම් 1948 පෙබරවාරි 4 දා සිටය. එතැන් සිට ගෙවී ගිය දීර්ඝ කාලය තුළ රටද, සමාජයද කෝටි ගණනකට අධික ජනතාවක් ලෙස නිදහස අත්වින්දා දැයි නැවත ආපසු හැරී බැලිය යුතු කාලය එළැඹී ඇත.
මුලින්ම යටත් වුණේ ඉන්දියාවටද?
අදහස් දැක්වීම ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හංසමාලා රිටිගහපොළ |
අපේ රට සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත්ව තිබී නිදහස ලැබෙන්නේ 1948 වසරේ පෙබරවාරි 4 වැනිදාය. ඊට පෙර බටහිර ජාතීන් තුනකට අපේ රට යටත්ව තිබූ අතර යටත්වීමට ප්‍රධාන හේතුව වන්නේද මෙහි තිබූ සශ්‍රීකත්වයයි. මේ මහ පොළොවේ ඇති වටිනාකම මැනවින් හඳුනා ගන්නා අන් ජාතීන් අපේ රට යටත් කර එහි පාලනය නතු කර ගත්හ.
1815 දී අපේ රට නිල වශයෙන් ඉංග්‍රීසීන්ට යටත් වුවත් ඊට පෙර විවිධ අවස්ථාවන්හිදී යටත් වීමට සිදුවිණි. අනුරාධපුර රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීම තුළද ඇත්තේ නිදහස අහිමිවීමයි.
මහාවංශයට අනුව අප රටේ ප්‍රථම රජු ලෙස විජය රජතුමා හැඳින්වුවද විජයද ආක්‍රමණිකයෙකි. එයට හේතුව වන්නේද අප අසල්වැසි රාජ්‍යය වූ ඉන්දියාව නිසාය. එම නිසා අපට ආගම, කලා ශිල්ප, සාහිත්‍ය, සංස්කෘතිය මේ සියල්ල ඇරුණු කොට සාහිත්‍යය තුළ සංදේශ, ප්‍රශස්ති, කාව්‍ය විරිත්, ජ්‍යෙතිෂ්‍ය ආදී මෙකී නොකී සියල්ලටම උරුමකම් කියන්නේ අසල්වැසි ඉන්දීය රාජ්‍යයයි. මේ තුළින් පැහැදිලිවම පෙනෙන්නේ අපේ රට එදා සිටම කවුරුන් හෝ යටත්කර ගැනීමට බලා සිටි බවයි. එම අවදානමට මේ රට ඉතිහාසය පුරාම මුහුණ දී ඇත. අපේ සිංහල රාජවංශය අවසන් වන්නේ නරේන්ද්‍රසිංහ රජුගෙනි. ඉන්පසු රාජ්‍යත්වයට භාරගන්නේ ඉන්දීය රජෙකි. නමුත් එය අපේ ජාතික ප්‍රශ්නයක් කරගත්තේ නැත. එය සියල්ලෝම පිළිගත්හ.
ලංකාව පාලනයට කළ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍යත්වයට පත්වන තැනම අපේ නිදහස අහිමි වී තිබුණි. නමුත් එම නිදහස බෙදා හදා ගැනීමක් සිදුවූයේ සියල්ල පැමිණියේ අසල්වැසි ඉන්දියාව හා සමග වීමය. පොලොන්නරු රාජධානිය තුළ සඳකඩ පහනින් ගවයා ඉවත් වන්නේද මේ බැඳීමය. ඉන්දියාවට ගැතිවීමය.
ඉන්දියාව හා විවාහ ගනුදෙනු ඇතිවීමත් සමග මහනුවර යුගයේදී පන්සලට දේවාල සංකල්පයද එක්විය. එයට හේතුවූයේ රජතුමා පන්සලට යද්දී බිසෝවරුන්ට කෝවිල වන්දනා කිරීමට පන්සල ඇතුළතම කෝවිල ඉදිවීමයි. ඉන්දියානු දේවතා මණ්ලය අපට හිමිවන්නේ එතැනිනි. අප දිගින් දිගටම බෙදා හදා ගත්තේ මේ සම්බන්ධතාවයි.
මෙය දේශපාලනික උපක්‍රමයකි. මන්ද රජතුමාට සිංහල බිසෝවරු නොසිටියාම නොවේ. නමුත් ඉන්දීය රාජ්‍ය තුළින් අග්‍ර මහේෂිකාව කැඳවා ගන්නේ දේශපාලනික වශයෙන් සතුරු කරදර ඇති නොවීමටය. මේ අනුව අප හැමවිටම නිදහස වෙනුවෙන් විවිධ ක්‍රමෝපායන් අත්හදා සිට ඇති බව පැහැදිලිය.
සම්පූර්ණයෙන්ම නිදහස අහිමි වුණු හැටි
මේ සියල්ල අත්විඳි රටේ ජනතාව නිදහසේ වෙනස දකින්නේ ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි පාලන සමය තුළය. මන්ද ඔවුන් තමන්ගේ ආගම, සංස්කෘතිය රට තුළ ව්‍යාප්ත කළහ. ඉන්දීය සංස්කෘතිය රට තුළ යම් ප්‍රමාණයකින් හෝ ගැබ්ව තිබූ නිසා එය ලාංකිකයන් වැලඳ ගත්තද බටහිර ජාතීන් ඔවුන්ගේ සංස්කෘතිය, සිරිත් විරිත් ආදී සියල්ල අලුතෙන්ම අපේ රටට හඳුන්වාදීම තුළ අප සම්පූර්ණයෙන්ම අපරදිගට යටත්වීම සිදුවිය. අපේ ජාතියට නිදහස අහිමි වී යැයි දරාගැනීමට නොහැකි වන්නේ මෙතැනිනි.
මන්ද ඉන්දියාවෙන් සිදු වූ ආක්‍රමණ තුළ යම් අපේකමක් තිබිණි. විජය රජු පැමිණෙන්නේ ඉන්දියාවෙනි. බුදු දහම ලැබෙන්නේ ඉන්දියාවෙනි. මේ ගනු දෙනුව නිසා ඉන්දියාව තුළට යම් නැඹුරුවීමක් තිබුණද බටහිර ජාතියකට යටත්වීම අසීරු කාරණාවක් බවට පත්විය. ඔවුන්ගේ භාෂාව, හමේ පැහැය, සංස්කෘතිය මේ සියල්ල නුහුරු වූ බැවින් එම ආක්‍රමණය තදින් බලපෑවේය.
ඕනෑම තත්ත්වයකට අනුගතවෙන ජාතියක්
විශේෂයෙන් බටහිර ජාතීන් අපේ ජන විඥානය හඳුනාගෙන තිබුණි. අපේ ජාතිය තුළ නිරන්තරයෙන් තිබුණු රජ කුමාරයද රජකමට පත් කර ගන්නා න්‍යාය ඔවුන් හඳුනාගෙන තිබුණි. රට ගොඩගන්නා මිනිසකු රජ කරවිය යුතුය යන හැඟීම අපේ ජනතාව තුළ තිබුණේ නැත. රාජ්‍යයන් රජ කරවීමේ දැඩි කැමැත්ත බටහිර ජාතියට අපේ රටේ බලය අල්ලා ගැනීමට පිටුවහලක් විය.
අපේ ජාතියට නිදහස අහිමිවූයේ අනුගතවීම තුළිනි. අප බටහිර ජාතියට රට අල්ලා ගැනීමට වඩා පහසු මාර්ගයක් විය. ඕනෑම දේශපාලන පක්ෂයක් බලයට පත් වුවත් අප ජාතියක් ලෙස එයට මුහුවීමට උත්සාහ ගනී. එහි මොන වැරදි තිබුණද එය හොඳයැයි අනුගත වෙයි.
පසුගිය කාල සිමාව තුළ රටේ තිබූ ප්‍රධාන ගැටලුවක් වූයේ පෙට්‍රල් හිඟකමයි. එහිදී අපට ලබා දුන්නේ ඉතා අඩු ප්‍රමාණයකි. එහෙත් පෝලිම්වල දවස් ගණන් නිදිවරා එම ලබාදෙන ප්‍රමාණයෙන් සෑහීමකට පත්වී එයට අනුගත වීම සිදුවිය. මේ කාරණාව ජාතියක් ලෙස අතීතයේ සිටම අප තුළ ්දක්නට ලැබුණි. ඕනෑම රටක්, ඕනෑම වෙලාවක පැමිණ අපේ රට ආක්‍රමණය කළත් එයට අනුගතවීම අප තුළ දක්නට ලැබුණි. අපේ රට අන් ජාතීන්ට නතුවීමේ ප්‍රධානම ගැටලුව එයයි.
ලැබුණ නිදහස රැකගත්තාද?
අපේ ජනතාවට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවට පත්වන්නේ කවුද? මොන ජාතියේ පිරිස්ද, මොන කුලයේ අයද මිසක් රටක් ලෙස අප් ස්වදේශිකයන් ලෙසට සිතන හැඟීම තිබුණේ නැත.
බටහිර ජාතියට අපේ රට, ජනතාව නතුකර ගැනීමට හේතු වූයේද මේ කාරණයයි.
අපේ ජාතික කොඩියේ සිට ජාතීන් වශයෙන් බෙදීම් ඇත. එම බෙදීම, ජාතිවාදයට කෙනෙකු උපදින විටම එන්නත් වී ඇත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලෙස වර්ග කිරීම් මිසක එක ජාතියක් ලෙස නොසිතයි. කවුරුන් හෝ වෙනුවෙන් පෙනී සිටීමට වඩා බලය තහවුරු කර ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරයි. නිදහස කියා මවා පෑමේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රමය පමණි.
සමාජයක් ලෙස පතන නිදහස
සමාජයම ඉල්ලා සිටින්නේ මිනිසකුට ගෞරවාන්විතව ජීවත්වීමේ නිදහසයි. වහලන් ලෙස නොවේ. තවත් ටික කලක් ගතවද්දී මිනිසකුට නිදහසේ තම නිවසේ ජීවත්වීමට ඉඩකඩ පවා අහිමි වීමට ඉඩ ඇත. නිදහසේ නිදා ගැනීමට පවා ඇති ඉඩකඩ අහිමි වේ. මෙයට හේතුව හොරුන් බිහිවීමයි.
හොරු බිහිවන්නේ ජීවත්වීමට ආර්ථික ශක්තිය අහිමි වීම නිසාය. සැමගේම ආර්ථික මට්ටම තුළ යම් සමානමක් ඇතිනම් සමාජයක් තුළ හොරුන් බිහි නොවේ.
මේ වෙද්දී මුළු සමාජය පුරාම ඇත්තේ ජීවත්වීමේ අරගලයයි. ජීවත්වීමේ නිදහස අහිමිවීමයි. මෙය ජාතියක්, කුලයක්, ආගමක් විසින් ඇතිකරගත් දෙයක් නොවේ. කිසියම් කොටසක් විසින් ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට දියත් කළ දෙයකි.
මිනිස්සු කවදත් සිටියේ සමගියෙන්
අපේ රටට සිංහල, දෙමළ යුද්ධයක අවශ්‍යතාවක් තිබුණේ නැත. පාස්කු ප්‍රහාර වැනි දෑ සාමාන්‍ය මිනිසුන්ගේ අවශ්‍යතා මත සිදුවූයේ නැත. සාමාන්‍ය ජනතාව නිරන්තරයෙන් පතන්නේ සහයෝගිතාවයි. එයට හොඳම උදාහරණය වනුයේ ඉන්දීය බිසෝවරුන්ගේ ලංකා ගමනය මත පන්සලට දේවාල එක්වීමයි. සිංහල ජාතිය සහයෝගිතාව වෙනුවෙන් එවැනි ක්‍රියාවකට පෙළඹුණු ජාතියකි. එය මොන තරම් ආශ්චර්යයක්ද? අදටත් විවිධ ජාතීන් අතර විවාහ සිදුවෙයි.
දවසින් දවස අහිමිවෙන නිදහස
මෙම සියලු ගැටලු නිර්මාණය කරන්නේ එක්තරා කොට්ඨාසයකි. අපට අහිමිවූ නිදහස ඇතුළත සිතීමේ, කතා කිරීමේ, හුස්ම ගැනීමේ නිදහසද ක්‍රමයෙන් අහිමි වී යයි. එතැනදි ගැහැනු, පිරිමි, වැඩිහිටි, ළමා යනුවෙන් අදාළ නොවේ. හැමෝම එයට යටත ්වේ. අනාගතය තුළ නිවෙසක සතකු සෑදීමටවත් නිදහසක් නැතිවන යුගයක් උදාවනු ඇත. එනම් ඔවුන්ට කෑම, බීම ආදිය ලබාදීමට ඇති නොහැකියාවයි. සැබැවින්ම එය අවාසනාවකි. සතකුට කෑමට යමක් දීමටවත් නොහැකි මිනිසුන් බවට අප පත්වනු ඇත.
මෙලොව ඉපදෙන සෑම දරුවකුම තම ළමා කාලය නිසි ලෙස ගත කිරීමට නිදහස අවශ්‍යය. අධ්‍යාපනය ලැබීමට නිදහස අවශ්‍යය. මේ වෙද්දි ඒ සියල්ල අහිමි වෙමින් පවතී. මවුපියන්ට තම දරුවන්ට ඉගැන්වීමට පවා නොහැකි වී ඇත. නිදහස් අධ්‍යාපනය ක්‍රමයෙන් අහෝසි වෙමින් පවතී. පොත පත පවා මිලදී ගැනීමට නොහැකි වී ඇත. පහළම පන්තියට අධ්‍යාපනය පවා මඟ හැරී ඇත.
එදා නිදහස නොලැබුණා නම්
එදා නිදහස ලැබෙද්දී අද වන විට සිදුවන දෑ වේ යැයි කිසිවකු සිතන්නේ නැත. එදා නිදහස ලැබෙන කාලයේ බටහිර ජාතිය බලසම්පන්න ය. අපද බලසම්පන්න ජාතියක ලෙස කටයුතු කර ඇත. බොහෝ රටවලට විශිෂ්ට ඉතිහාසයක් නොතිබුණද අප රටට විශිෂ්ට ඉතිහාසයක් තිබුණි. අදටද අප යැපෙන්නේ අතීතයෙ සිදුවීම් මතය. අප අතීතයේද බලවත් ජාතියකි. එදා අපට නිදහස දිනා ගැනීමේ හැකියාව තිබුණි. එය විශ්වාස කළේය. අනාගතය තුළ මෙවැනි පසුබිමක් උදාවේයැයි සිතුවේ නැත. බලවත්ම ජාතීන් වන්නේ ඉංග්‍රීසි කතා කරන මිනිසුන් යැයි එදා නොසිතුනේ ස්වදේශිකයන් ලෙස අභිමානවත්ව කටයුතු කළ බැවිනි.
මේ මොහොත තුළ අප අනාගතය දිනවිය යුතුය. ප්‍රධාන වන්නේ එයයි. අනාගතය තුළද අප චීනයට යටත්වනවාද ඉන්දියාවට යටත් වනවාද අන් රටකට යටත් වනවාද කියා තීරණය කළ නොහැකිය.
සැබෑ නිදහස දරුවන්ට දෙන්න
අනෙක් රටවල කාන්තාවන් හා සැසඳීමේදී අපේ රටේ කාන්තාවන්ට යම් නිදහසක් ඇතැයි පැවසිය හැකිය. එහෙත්එ ය කාටත් සමානව නැත. කාන්තාවට යුවතියට නිදහසක් තිබුණා නම් විශ්වවිද්‍යාල සිසුවියක් ගෙල කපා ඝාතනය කරන්නේ නැත. අපේ රට තුළ යුවතියකට ආදරය ප්‍රතික්ෂේප කිරීමේවත් නිදහස නැත. අප සමාජය තුළ ගැටුම්, මතවාද ඇතිවන්නේ ගැහැනු, පිරිමි දෙකොට්ඨාසය තුළ පමණි. හැම පිරිමියකුම කාගේ හෝ කතකගේ දරුවෙකි. එහෙත් එම හැඟීම පිරිමියා තුළ තවමත් ඇති වී නැත. මවකගේ ගුරුවරියකගේ වගකීම වනුයේ තම දරුවාට ගැහැනියට ගෞරව කිරීමට කියාදීමයි. එය දරුවාට ළමා වියේ සිටම අවබෝධ කර දුන්නේ නම් පිරිමියා විසින් ගැහැනියට සමස්ත සමාජය තුළ නිසි ඇගැයීමක් පිරිනමයි. මෙහි සම්පූර්ණ වගකීම ගත යුත්තේ මවුපියන් සහ ගුරුවරුන්ය. කුඩා කල දරුවන්ට වඳින්නට පුරුදු පුහුණු කළද වැඳිය යුත්තේ කාටදැයි අවබෝධයක් ලබා දී නොමැත. අද මළ පොතේ අකුරක්වත් බැරි දේශපාලනඥයන්ට වැඳීමට බොහෝ දෙනා පෙළඹී ඇත්තේ වැඳීමේ ආදීනව කුඩා කල සිට අවබෝධයක් නැති කමිනි.
සුජිත් ප්‍රසංග
Leave a comment