ජීවිතේ සතුටින් විඳින්න අනෙකාගේ හැඟීම් තේරුම් ගන්න

 

සෑම පුද්ගලයකුටම විවිධාකාර වූ හැඟීම් ඇති වේ. ඒවා අතර සතුට, දයාව, කරුණාව, ආදරය, ඉවසීම වැනි යහපත් හැඟීම් මෙන්ම දුක, බිය, තරහා, ඊර්ෂ්‍යාව, වෛරය වැනි අයහපත් හැඟීම්ද වේ. ඔබට ඇතිවෙන මෙවැනි හැඟීම් සහ ඔබ අවට සිටින අයට ඇතිවෙන මෙවැනි හැඟීම් ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නම් ඒවා සමග බුද්ධිමත් සහ සෞඛ්‍යමත් ලෙස ගනුදෙනු කිරීමට ඔබට හැකි වේ. එසේ වූවා නම් ඔබ ‘හැඟුමෙන්’ බුද්ධිමත් කෙනෙකි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔබ ලබා ගන්නා දැනුම නැතහොත් සාමාන්‍ය බුද්ධිය ඔබව යම්තාක් දුරකට දියුණුව කරා ගෙන යයි. එසේ වුවත් සැබෑ දියුණුවක් ඔබට ලැබෙන්නේ ඔබ ඔබේම හා අනෙක් අයගේ හැඟීම් සමග කටයුතු කරන ආකාරය හොඳින් දැන සිටියොත් පමණි. මෙම ගුණාංගය අන් අය සමග විශ්වසනීය හා ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමටද අත්‍යවශ්‍ය ය.

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


ඒවාගේම අපි විවිධ හේතු මුල්කරගනිමින් ආතති තත්ත්වයට පත්වෙති. මේ අතිශය ආතතිකාරී අවස්ථාවලදී වුවද හැඟීම්වලට වහල් නොවී, ඒවා තම පාලනයට යටත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ තම හැඟීම් හා අනෙක් අයගේ හැඟිම් හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කළහොත් පමණි. 


සමහරු මේ හැකියාව සහජයෙන්ම රැගෙන එති. එසේ වුවත් අප හැමදෙනාටම හැඟුමින් බුද්ධිමත්ව සිටීමට පුරුදු පුහුණු විය හැකිය.


කරන්න ඕනෑ මොනවාද? 
ඔබගේ හැඟීම් ගැන අවබෝධයක් ලබා ගන්න
මුලින්ම ඔබට ඔබගේ ශක්තීන් වගේම දුර්වලතා මොනවාද යන්න පිළිබඳව වැටහීමක් තිබිය යුතුය. එම හැඟීම් තමන්ගේ හැසිරීමට බලපාන බව අවබෝධ කරගත යුතුය. උදාහරණයකින් දක්වතොත්, ඔබට ඉක්මනින් තරහා යනවා නම්, ආවේගකාරී අවස්ථාවකදී ඔබගේ හැසිරීමට එය (ඉක්මනින් තරහා යාම) බලපායි.


එවිට ඔබට ඔබගේ හැඟීම් පාලනය කර ගැනීමට, එම හැඟීම් සෞඛ්‍යමත් ලෙස පිට කිරීමට හැකියාව ලැබෙයි.

 


අනෙකාගේ හැඟීම් දැනගන්න
ඔබ ඔබගේ හැඟීම් ගැන අවබෝධයෙන් කටයුතු කරනවා වගේම අනෙක් පුද්ගලයින්නේ හැඟීම් පිළිබඳවද දැනුවත්වීම වැදගත් වෙයි. ඔබට තවත් පුද්ගලයෙකුගේ හැඟීම් අවබෝධ කර ගැනීමට හැකි නම් ඔබගේ හැඟීම් පිළිබඳ බුද්ධිය වැඩි දියුණු කර ගත හැකිය. එවිට සමාජය තුළ අපහසුවකින් තොරව ජීවත්විය හැකි වේ.

 


දයානුකම්පාව ඇති කරගන්න
මෙයින් කියැවෙන්නේ තමාට මෙන්ම අනෙක් අයටද කරුණාවෙන් සැලකීමයි. වෙනත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගැනීමේදී වගේම ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී තමන්ද එම තත්ත්වයට පත්වුවහොත් තමන්ට කෙසේ දැනේවි දැයි හැමවිටම සිතා බලන්න. එය පුරුද්දක් කරගන්න. 

 


ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මෙතැනදී ඔබ මුලින්ම අනෙක් පුද්ගලයා ඔබට කියන්නට යන දෙයට හොඳින් ඇහුම්කන් දෙන්න. ඒ සඳහා වේලාවක් වෙන් කරගන්න. නම්‍යශීලීවෙන්න. ඔවුන්ගේ හැඟීම් දෙස මැදිහත් සිතින්, විනිශ්චයකින් තොරව බලන්න. එවිට ඔබගේ අයහපත් හැසිරීම් බොහෝදුරට වළක්වා ගත හැකිය.

 

තම අයහපත් ප්‍රතිචාරවල වගකීම බාරගන්න
යම් විදියකින් ඔබට ඔබගේ හැඟීම් පාලනය කර ගත නොහැකි වුවහොත් හා අනෙක් අයගේ හැඟීම් හරි හැටි තේරුම් ගන්නට නොහැකි වුවහොත් ඔබ අනෙක් අයගේ හැඟීම්වලට රිදවීමක් කළා නම් ඒ මොහොතේම සමාව ගන්න. එසේ සමාව ගැනීම ඔබ යටත්වීමක් හෝ ඔබට මදිපුංචිකමක් යැයි නොසිතන්න. එසේ සමාව ගැනීමෙන්  පළුදුවීමට ඉඩ තිබූ සබඳතා නැවත ඔබට සකස් කර ගැනීමට අවස්ථාව සැලසෙයි.


ඔබ රැකියාවක් කරන කෙනෙකු නම්, ඔබ ආයතනයක ප්‍රධානියෙකු නම්, මෙසේ හැඟීම් පිළිබඳ බුද්ධිමත් වීම රැකියා ස්ථානයේ ඵලදායීතාව, කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට උදව් වන සාධකවලින් ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. එපමණක්ද නොවේ, අපගේ ගෘහ ජීවිතය හා සමාජ ජීවිතයට මෙයින් ලැබෙන පිටිවහලද ඉමහත් ය.

 


 සුබෝධිනී පෙරේරා


 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post

Leave a comment